සිංහල හින්දු අලුත් අවුරුදු සංස්කෘතික තරග අතර අභාවයට යමින් පවතින ‘තිරික්කල ධාවන තරග’ සඳහා සුදුසු නීතිරීති හඳුන්වාදී පුහුණු කළ සතුන් ඒ සඳහා යොදා ගනිමින් තරග පැවැත්වීමට අවස්ථාව ලබාදෙන ලෙස බලධාරින්ගෙන් ඉල්ලා තිරික්කල හිමියන් සහ ධාවකයන් කඩුවෙල බෝමිරිය කෙතේවත්ත ප්‍රදේශයේදී උද්ඝෝෂණයක නිරත විය. සමස්ත ලංකා තිරික්කල හිමිකරුවන් සහ ධාවකයන්ගේ සංගමය සංවිධාන කර තිබූ අතර එය පසුගියදා (31)පැවැත්විණි.
උද්ඝෝෂණයට සංගමයේ සභාපති සරණපාල පෙරේරා, ලේකම් බී.උජිත හා භාණ්ඩාගාරික බන්දුල විතාන මහත්වරුන් හා සාමාජිකයන් අසූවක් පමණ සහභාගි වූහ.
කඩුවෙල රන්කඩු පත්තිනි දේවාලයේ කුලරත්න විජේතුංග, කොරතොට දේවාලයේ ඇක්මන් විජේතුංග සහ තල්වත්ත දේවාලයේ ප්‍රියදර්ශන කාරියප්පෙරුම යන කපු මහත්වරු මෙයට සහාය පළ කරමින් එක්ව සිටියහ.
මෙහිදී කඩුවෙල රන්කඩු පත්තිනි දේවාලයේ කුලරත්න විජේතුංග ප්‍රධාන කපු මහතා මෙසේ පැවසීය.
‘‘වසර 43ක් මා දේවාලය කරනවා. ඒ කාලසීමාවේ දේවාලයේ ප්‍රධාන පෙරහරට පෙර පවත්වන ගොන්පිට පෙරහරට මේ අය සතුන් ලබා දෙමින් සහභාගි වෙනවා. අඹතලේ සිට තිරික්කල මඟින් දේවාලය දක්වා පැමිණ පෙරහරට පෙර සංඥාවක් ලබා දෙනවා. මේ සියලු කටයුතුවලට කිසිම දිනක මුදල් අරන් නැහැ. මේ අය අපේ සංස්කෘතිය රැක ගැනීම වෙනුවෙන් විශාල කැපකිරීමක් කරනවා. තිරික්කල හිමිකරුවන් සතෙක් හදාගන්න විශාල මහන්සියක් ගන්නවා. මේ ගවයෙක් රුපියල් ලක්ෂ 15ක් – 20ත් අතර මිල වෙනවා. දිනපතා නාවලා බෙහෙත් හේත් දීලා විශේෂිත ආහාර පාන දීලා තෙල් සාත්තු කරලයි මේ ගව සම්පත රැක බලා ගන්නේ. සත්ත්ව හිංසනය වෙන්නේ මස්. මේක උතුම් කලාවක්. ඒක රැකගත යුතුයි. සිංහල අවුරුද්දට විතරයි තිරික්කල තරග තියෙන්නේ. බලධාරින් විසින් යම් යම් නීතිරීති සම්පාදනය කර අපේ සංස්කෘතික මංගල්‍යවල වියැකෙමින් යන තිරික්කල තරග පැවැත්වීමට අවසර ලබාදීම අනාගත පරපුරට සංස්කෘතික අංග රැකදීමක්. සීතල කාමරවල ඉන්න නිලධාරීන් ගමට ඇවිත් තිරික්කල හිමිකරුවන් හමු වී මේ ගැන අවබෝධයක් ලබාගන්න ඕනෑ. ඒ වගේම සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට තිරික්කලය යොදාගන්න.“
තිරික්කල ධාවකයකු වන හලාවත ප්‍රදේශයේ ඩබ්ලිව්.මනු ධම්මික (43) මහතා මෙසේ පැවසීය.
‘‘සතා තිරික්කලයට පුහුණු කරන කාලේ පහරක් ගැහුවත් කවදාවත් කරත්තේ බඳින සතෙකුට පහර දෙන්නේ නැහැ. අපි සතාට සියලු සාත්තු කර සුරක්ෂිතව රැක බලා ගන්නවා. මාර්ගය අවහිර කරනවා. සත්ත්ව හිංසනය කියා පොලීසියෙන් බාධා කරනවා. නීතිරීතිවලට යටත්ව තිරික්කල තරග පවත්වන්න සතුන් ප්‍රවාහනයට අවස්ථාව සලසා දෙන ලෙස බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.“
බෝමිරිය කෙතේවත්ත වසන්ත ලැනරෝල් මහතා මෙසේ පැවැසීය.
‘‘කලින් පැවති රජයන් තිරික්කල ධාවන තරග සම්බන්ධව මේ තීන්දු ගෙන තිබෙනවා. විදේශීය සංචාරකයන් වෙනුවෙන් අපේ සංස්කෘතික අංග ලෙස තිරික්කල ධාවන තරග ප්‍රදර්ශනය කළ හැකියි. යම් දුරක් තිරික්කලවලින් සංචාරකයන් රැගෙන ගොස් ඔවුන්ට අත්දැකීමක් ලබාදී රටට ඩොලර් ලබාගත හැකියි. වත්මන් ජනාධිපතිගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා මේ ගැන සොයා බලා තිරික්කල හිමියන්, ධාවකයන්ගේ ඉල්ලීමට සවන් දී නිසි වැඩපිළිවෙළක් සකසා දෙන ලෙස.‘‘
තල්වත්ත දේවාලයේ ප්‍රියදර්ශන කාරියප්පෙරුම කපු මහතා සහ කොරතොට දේවාලයේ ඇක්මන් විජේතුංග කපු මහතාද මෙහිදී අදහස් දැක්වූහ. සමස්ත ලංකා තිරික්කල හිමිකරුවන් සහ ධාවකයන්ගේ සංගමයේ සාමාජිකයන් අසූවක් පමණ මේ අවස්ථාවට සහභාගි වූහ.
සුදත් පුබුදු කීර්ති
දෙල්ගොඩ සමූහ සහ නවගමුව සමූහ
සුගත් ප්‍රේමතිලක