Home » සෙක්ස් ගැන කතා කරන්න ඕනෙ යොවුන් නවකතාවලයි

සෙක්ස් ගැන කතා කරන්න ඕනෙ යොවුන් නවකතාවලයි

-ප්‍රවීණ ලේඛක ජයන්ත කහටපිටිය

by sachintha
April 3, 2025 4:16 pm 0 comment

ජයන්ත කහටපිටිය යනු බහුවිධ කුසලතාවන්ගෙන් පිරි ලේඛකයෙකි. සමාජයේ සෑම වයස් කාණ්ඩයක්ම තම කෘති හරහා ආමන්ත්‍රණය කරන ඔහුගේ නවතම කෘතියක් අනිද්දා (05) සවස 3.00ට කුරුණෑගල බිෂොප් හවුස් ශ්‍රවණාගාරයේදී පාඨකයන් අතට පත්කිරීමට සූදානමින් සිටියි. මේ ඒ පිළිබඳව කළ සාකච්ඡාවකි.

ලේඛන කලාවේ මෙතෙක් පැමිණි මඟ ගැන කෙටියෙන් විස්තර කළොත් ?

මුලින්ම මම පත්තරවලට කවි ලිව්වා. ඒ කාලෙ ‘සරුංගල් සමනල්ලු’ නමින් සිනමා තිර රචනයක් චමින්ද ක්‍රිෂාන්ත සමඟ එක්වී ලිව්වා. පසුව එය සුරස කෘතියක් විදියට එළිදැක්වූවා. චමින්දයි, මමයි ලිව්වා යොවුන් නව කතා සීරිස් එකක් ‘හිරු යොවුන් නවකතා’ කියලා. ‘විවාහකයාගේ ප්‍රේමප්‍රාප්තිය’ ඊළඟට මම කිව්ව කවි පොත. ‘ආර් ගේ කතා’ ලිව්වේ ඊට පස්සෙ. ඒකට සිබිල් නැන්දා චිත්‍ර ඇන්දා. මගේ දෙවැනි කවි පොත ‘ශේෂවන සේ සිනහව’. ඊළඟට තමා මේ අලුත්ම පොත වන ‘සීගිරි කාශ්‍යපට birthday cake එකක්’ කියන පොත එන්නෙ.

‘සීගිරි කාශ්‍යපට birthday cake එකක්’ කෘතියේ අන්තර්ගතය ගැන කතා කරමු ?

අපි පරිකල්පනය කරගෙන ඉන්නවා, රාජ්‍යත්ව යුගය මේ විදියයි කියලා. එහෙම වෙන්නේ අපේ ඉතිහාසයට ශ්‍රී ලාංකිකයා ඇතුළෙ ලොකු බරක් ති‍බීමයි. වර්තමානය අපි තීරණය කරන්නේ ඒ ඉතිහාසයේ උරුමයත් එක්ක. මහාවංශය වගේම විශාල නටබුන් ප්‍රමාණයක් අපට තියෙනවා. ඉතිහාසය කියවද්දී ලංකාව කියන්නේ බහු සංස්කෘතික, බහු ආගමික, බහු ජාතික රටක්. අපේ ඉතිහාසය මුල් කර ගත් කියැවීම එන්නෙම මේ සිංහල ජාතිකත්වය මුල් කරගෙන. උදාහරණයක් ලෙස දුටුගැමුණු සම්බන්ධයෙන් මාර්ටින් වික්‍රමසිංහ මහතා ලියලා තියෙනවා, ‘රෝහිණී’ කියලා යොවුන් නව කතාවක්. ඔහුගේ තරුණ කාලෙ මෙය ලියලා තියෙන්නෙ. ඒක සමාජගත වෙලා තියෙන්නේ සිංහල සහ දෙමළ යුද්ධයක් විදියට. නමුත් ඉතිහාසයේ එය ලකුණු වෙන්නේ රජවරුන් දෙදෙනෙක් අතර යුද්ධයක් විදියට. එනිසා මේ ඉතිහාසය පිළිබඳ ඒකමානීය කියැවීම වෙනස් කරගන්න ඕනෙ කියලා මගේ අදහසක් තියෙනවා. ඒක තමා මේ කතාවේ එක අරමුණක් වෙන්නේ.

සීගිරි යුගය එද්දී බුදු පිළිම නෙළලා. ඒ මුල්ම බුදු පිළිමය නෙළුවා කියන්නේ ග්‍රීක ජාතිකයෙක්. ක්‍රිස්තු පූර්ව යුගයේ මහා ඇලෙක්සැන්ඩර් මැරුණාට ඒ රාජධානිය ඉවර වෙන්නේ නෑ. ග්‍රීක – ඉන්දු රාජධානියක් පටන් ගන්නවා. ඒ රාජධානියෙන් ගාන්ධාරයට ආව ග්‍රීක ශිල්පියෙක් තමා පළමු වරට බුදු පිළිම නෙළුවා කියලා විශ්වාස කරන්නේ. මේ නව කතාවේ එක ඩයලොග් එකක සඳහන් වෙනවා, මේ බුදු පිළිමය නිර්මාණය වෙලා තියෙන්නේ ග්‍රීක සහ චීන බලපෑම්වලින් කියලා. මම යෝජනා කරනවා, මේ බුදුපිළිමේ මන්දස්මිතය එන්නේ සිංහල කලාකාරයාගෙන් කියලා. අපේ ලංකාවේ ඉතිහාසය කියන්නේ එක ජාතියක ඉතිහාසයක් නොව බොහෝ රටවල ශිල්ප කලා බලපෑමත් එක්ක ආ දෙයක් කියලා අපි තේරුම් ගන්න ඕනෙ. ඓතිහාසික පුරාවිද්‍යාත්මක වස්තුවකට වඩා සීගිරිය මේ වෙද්දී අපට සංස්කෘතික වස්තුවක් වෙලා තියෙනවා. ඒක නිර්මාණය වෙන්නේ සර්ව භෞමික චින්තනයක් තියෙන ශිල්පීන්ගෙන්.

අනෙක් කරුණ අපි රාජ්‍යත්ව යුගය පරිකල්පනය කර ගන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ ඇත්තටම ඓතිහාසික තොරතුරු ගත්තාම මහාවංශයේ බොහොම ටිකයි තියෙන්නේ කාශ්‍යප ගැන. මහාවිහාරයයි – අභයගිරියයි අතර හැමදාම පොඩි ගැටුමක් තිබුණා. අභයගිරිය කියන්නේ ඒ කාලෙ තිබුණු ඉන්දියාවේ නාලන්දා පිරිවෙන වගේ කලාව, සටන් ක්‍රම, මූර්ති ශිල්පය ආදී දේ ඉගැන්වූ නූතන විශ්වවිද්‍යාලයකට තරමක් සමාන තැනක්. මහා විහාරය කියන්නේ ථෙරවාදී බුදුදහම ඉගැන්වූ ස්ථානයක්. කාශ්‍යපට අභයගිරියේ ආභාසය තියනවා කියන්නේම සීගිරිය ගොඩනැඟීමයි. එය මහායානික වැඩක් විදියට තමා අපට ගන්න පුළුවන්.

අපි කොහොමද අපේ රාජ්‍යත්ව යුගය පරිකල්පනය කරගෙන තියෙන්නේ කියන එකත්, ඉතිහාස පොත්වල සඳහන් ආකාරයත් අතර ගැටලුවක් තියෙනවා. උදාහරණයක් විදියට මහාවංශයේ සඳහන් වන ආකාරයට ධාතුසේන රජු එක වතාවක් රාජසභාවේ ඉද්දී එයාගේ දුව එනවා. දුවගේ ශෝල් එකේ ලේ තියෙනවා. රජ්ජුරුවෝ අහනවා ඇයි කියලා. එතකොට දුව කියනවා, මිගාර පහර දුන්නා කියලා. මිගාර කියන්නේ ධාතුසේනගේ නංගිගේ පුතා. මේ වෙලාවේ ධාතුසේන අමුතු තීරණයක් ගන්නවා. මිගාරට දඬුවම් කරන්නේ නෑ, ඒ වෙනුවට ධාතුසේනගේ නංගි නිරුවතින් තෙල් කටාරමක දාලා මරනවා. අපි ඉතිහාසය කියලා පරිකල්පනය කරගෙන ඉන්න දේට වඩා ටිකක් කුරිරු, අසාධාරණ, ආචාරධාර්මික නොවන ඇවතුම් පැවතුම් රජවරුන්ට තිබිලා තියෙනවා කියලා අපට තේරෙනවා.

හැබැයි අපි රජ කෙනෙක් ඉල්ලන්නේ මේ රාජ්‍යත්වය, වැඩවසම් යුගය, යටත්විජිත යුගය ආදිය පහු කරලා. මේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ ඉන්න අපි රජ කෙනෙක් ඉන්නවා නම් හොඳයි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලකයකුට වඩා රජකෙනෙක් හොඳයි කියලා අපේ අවිඥානයේ තියෙන නිසා. ඒ තියෙන්නේ ඇත්ත ඉතිහාසයේ දැනුම පදනම් කර ගෙනත් නෙමේ. අපි අර පරිකල්පනය කරන ලද රාජ්‍යත්වයත් එක්ක. ඒක මහ පොළොවට ගේන්න උත්සාහයකුත් තියෙනවා. ඒ මහ පොළොව මම දන්නේ නෑ. අපට ඒ යුගයේ මිනිසුන් පරිකල්පනය කර ගන්න අමාරුයි. හැබැයි සීගිරිය කියන්නේ අතිශයින්ම නවීන නගරයක්. මම කරන්නේ සංස්කරණයක්. ති‍ෙයන ඉතිහාසය මට අනුව පොඩි අප්ඩේට් එකක්. ඒක යථාර්ථය නෙමෙයි. ඒක ප්‍රබන්ධයක්. හැබැයි ඒ ප්‍රබන්ධය ඇතුළෙ මම අවංකවම උත්සාහ කළා, සිදුවීම් සහ ඒ යුගයේ සිටි චරිත ගේන්න. උදාහරණයක් ලෙස මේ පොතේ තියෙනවා, මහානාම හාමුදුරුවෝ මහාවංශය ලියන සිද්ධියක්. එතකොට මහානාම ගොඩක් වයසයි. එයා අනූ වියැති මහලු හාමුදුරුවෝ නමක් විදියට තමා ඒක ලියන්නේ. ඒ කාලෙ තිබූ ගමනාගමන ක්‍රම, සුරා කර්මාන්තය ආදිය ගැන කරුණු හොයන්න මම සෑහෙන පරිශ්‍රමයක් දැරුවා. ඒ කාලෙත් අද වගේම සුරා කර්මාන්තයේ යෙදෙන අය හරිම පොහොසත්. භාණ්ඩ හුවමාරු ක්‍රමය යටතේ ඕනෑම භාණ්ඩයක් ලබා ගන්න පුළුවන් වුණාට සුරා විතරක් මුදල් නොදී ගන්න බැරි බව සඳහන් වෙනවා. ඒ කාලයේ සුරා වර්ග විශාල ප්‍රමාණයක් තිබිලා තියෙනවා. ඒවා මම නිවැරදි මූලාශ්‍රවලින්මයි හොයා ගත්තේ.

මගේ පොතේ චරිත මම ඉතිහාසයෙන්ම ඉල්ලා ගත් චරිත. ඒ අයට මගේ චින්තන විලාසය, මගේ දෘෂ්ටිවාදවලින් යම් ප්‍රමාණයක් බලහත්කාරයෙන් යන්න ඇති. එහෙම තියාගෙන තමා මේ කෘතිය ලියැවුණේ.

ත්‍රාසය සහ අද්භූත රසය මුසු වූ කෘතියක් ලෙස මේ නව කෘතිය හැඳින්විය හැකිද?

මට වුවමනා වුණේ ටිකක් ත්‍රාසය මුසු ක්‍රියාදාම පොතක් ලියන්න. මොකද දැන් ලංකාවේ ළමයි පරිවර්තන කෘති කියවනවා වැඩියි. ගොඩක් අපේ එළියට එන යොවුන් නවකතා කියවන්නේ වැඩිහිටියන්. මේක ඉස්සරත් වුණා. ඒ කියන්නේ මාක් ට්වේන්ගේ ‘ටොම් සෝයර්’ ළමා පොතක් වුණාට ඇත්තටම අමෙරිකාවේ වැඩිහිටියන් තමයි මේ පොත කියවනවා කියන්නේ. ළමයි කැමති ඒ වගේ යථාර්ථවාදී කතා කියවන්න නෙමේ, ‘හැරී පෝටර්’ වගේ අභූත කතා කියවන්න. ළමයින් දැන් යථාර්ථය ගැන කලකිරිලා ඉන්නේ. ඒ අය යථාර්ථය කියලා ගන්නෙම පොඩි ජීවිතයක්. ඒකෙන් පලා යන්න හොයන්නේ අර අද්භූත රසය ති‍ෙයන එකක්. ඉතින් මට ඒක නිර්මාණය කරන්නත් ඕන වුණා.

නව කෘතියේ භාෂාව මොනවගේද?

මේකෙ භාෂාව ගැන යෝජනා තුනක් තිබුණා. මම තෝරා ගත්තේ ව්‍යාකරණානුකූල භාෂාවක්. මම උත්සාහ කළා, ඇතුළෙ සංවාදවල විතරක් ව්‍යවහාරික කථික භාෂාවට යන්න. එහෙම කළේ මේක ළමයිත් බහුතරයක් කියවයි කියලා හිතාගෙන. ඊට අමතරව මෙහි එක එක පරිච්ජේදය පටන් ගැනීමේදී පරිච්ජේදයට යතුරක් විදියට ලයින් රෝවින් එකකුයි, උද්ධෘත පාඨයකුයි දැම්මා. ඒ උද්ධෘත පාඨය සාමාන්‍ය පාඨකයකුට ග්‍රහණය කර ගන්න බැරි දෙයක්. ඒක මම හිතලමයි කළේ. ඒක මම යෙදුවේ පාඨකයාට පෙලඹවීමක් ඇති කරන්න. ඒ ගැන අධ්‍යයනය කරන්න ඕනෙ කියලා. ඒ පාඨ හදන්න මම සෑහෙන කාලයක් ගත කළා.

‘සීගිරි කාශ්‍යපට birthday cake එකක්’ කෘතියේ දෙවැනි කොටසක් ලියැවෙයිද?

මේ කෘතියට ප්‍රේමයේ මාත්‍රාවක් ඇතුළු කරන්නත් මම උත්සාහ කළා. ලංකාවේ යොවුන් සාහිත්‍යයේ තියෙන විශාල ගැටලුවක් තමයි, යොවුන් ප්‍රේමය. අපේ ලේඛකයන් ඒක මඟ හරිනවා. ඒ ඇයි දන්නේ නෑ. ඒ අය සෙක්ස් සහ ලව් ගැන වැඩියෙන්ම කතා කරන්න ඕනෙ යොවුන් නවකතාවල. යුරෝපා නවකතාවල ප්‍රේමය උපරිමයට තියෙනවා. අපි මේවාට විවෘත නොවන තාක්කල් ඒවා ගුප්ත අඩවියක් වෙනවා. ඒ නිසා මේකෙ කාල තරණය කරලා ගිය යුග දෙක අතර පිරිමි ළමයෙක් සහ ගැහැනු ළමයෙක් පිළිබඳව පළවැනි ප්‍රේමය කොහොමද දැනෙන්නේ කියලා සඳහන් කර තියෙනවා. මෙහි දෙවන කොටසක් ආවොත් මම බලාපොරොත්තු වෙනවා, යොවුන් නවකතාවක් විදියටම ඒක ඉදිරියට අරගෙන යන්න.

‘සීගිරි කාශ්‍යපට birthday cake එකක්’ පාඨක අතට පත්වන්නේ කවදාද?

අනිද්දා (05) සවස 3.00ට කුරුණෑගල බිෂොප් හවුස් ශ්‍රවණාගාරයේදී මේ කෘතිය එළිදක්වනවා. මෙහි ප්‍රධාන දේශනය කරන්නේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා. අනෙක් කථිකයන් මම හොයා ගත්තේ අවුරුදු විස්සට අඩු යොවුන් ලේඛකයන්ගෙන්. එතැන දැනටමත් පොත් පළ කළ අයත් ඉන්නවා. ඒ අයට රිසි සේ අදහස් දක්වන්න තමයි මේ අවස්ථාව සලසා දී තිබෙන්නේ.

දිල්හානි ජයවර්ධන

ඡායාරූප – වාසිත පටබැඳිගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT