‘බීරුට් සිට ජෙරුසලම දක්වා’ නමින් 1989 දී එළිදක්වන ලද විචාරාත්මක කෘතිය මැදපෙරදිග අවුල ගැන රචනා වූ හොඳම දේශපාලන රචනාව ලෙස සැලකිය හැකිය. එහි යටි අර්ථය වන්නේ ජෙරුසලමෙන් – වොෂින්ටනයට නොගොස් මේ ආරවුල වටහාගත නොහැකි බවය. එය ඇත්තකි. මැදපෙරදිග අවුල සංකීර්ණ වන්නේ අමෙරිකාවේ බලපෑම මතය.
ගෝලීය දේශපාලනය, ලෝක ආර්ථිකය මෙන්ම මානව වර්ගයාගේ අනාගතය සම්බන්ධයෙන් ද උනන්දුවෙන් කරුණු විමසන කොයි – කාගේත් අවධානයට යොමුවන ප්‍රධාන සිදුවීම් තුනක් ගැන සඳහන් කළ යුතුය.
(i) මැදපෙරදිග අර්බුදය
(ii) රුසියන් – යුක්‍රේන් යුද්ධය
(iii) මධ්‍යම අප්‍රිකානු හා නැඟෙනහිර අප්‍රිකානු රටවල් කිහිපයක නැඟී එන දේශපාලන ගැටුම් හා ත්‍රස්තවාදී ක්‍රියා
මැදපෙරදිග අර්බුදය හැඳින්වෙන්නේ ලෝකයේ පැරණිම දේශපාලන තුවාලය හැටියටය. ඊට දීර්ඝ ඉතිහාසයක් තිබේ. එය භූමිය පිළිබඳ ගැටුමක් පමණක් නොව; ශිෂ්ටාචාරය පිළිබඳ අර්බුදයක් ද වෙයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ දෙවන ආගමනයත් සමඟ යුද ගැටුම් නිමා වනු ඇතැ’යි විශ්වාසයක් ගොඩනැඟී තිබුණ ද, එය මුළාවක් බව දැන් පෙනී ගොස් තිබේ. සටන් විරාම – සාම සාකච්ඡා සියල්ල අවසන් වී ඇත. ඊශ්‍රායලය සුපුරුදු ලෙස පහර දීම් ක්‍රියාත්මක කරයි. රෝහල්, පාසල්, කඳවුරු පවා ප්‍රහාරවලට ගොදුරු වෙයි. හමාස් සංවිධානය ද සිය කටයුතු ආරම්භ කර තිබේ. සියල්ල කනපිට පෙරැළී ඇත.
රුසියන් – යුක්‍රේන යුද්ධයට වසර තුනක් ගතවී ඇත. යුක්‍රේනයට ලබාදෙන අමෙරිකන් යුද ආධාර නවතා දමන්නේ යැයි අනතුරු ඇඟවූ ඩොනල්ඩ් ට්‍රම්ප් සිය වචනවලට අනුවම ක්‍රියා කරන බවක් දැකගත නොහැකිය. සාම කතාබහ පවතින අතරම යුද්ධයද තීව්‍ර ලෙස ක්‍රියාත්මක වෙයි. අප්‍රිකාවේ දේශපාලන ගැටුම් අලුත් මුහුණුවරකින් ආරම්භ වී ඇත. ලෝකය පුරා නොසන්සුන්තාව පැතිර යන්නට පටන්ගෙන තිබේ. මෙබඳු වටපිටාවක් තුළ ගැටුම් කළමනාකරණය දෙස විශ්ලේෂණාත්මක දෘෂ්ටියකින් බලන්නට අපට සිදු වේ. ඒ සඳහා හැදෑරීම් කළ යුතුය. අධ්‍යයනයක් කළ යුතුය. ඊට අදාළ වැදගත් කෘතියක් ගැන අද විචාර කවුළුවේ අවධානය යොමු වෙයි. එම කෘතිය “ෆ්‍රොම් බීරුට් ටු ජෙරුසලම්” ලෙස හඳුන්වා ඇත. කර්තෘවරයා තෝමස් ෆ්‍රෙඩ්මන්ඩ්ය.
තෝමස් ෆ්‍රෙඩ්මන්ඩ් යනු සම්මානනීය පත්‍රකලාවේදියෙකි. ඔහු මැදපෙරදිග ගැටුම් පැවැති භූමියේ සිට වාර්තාකරණයේ නියුතු වී ඇත. පලස්තීන අර්බුදයට සම්බන්ධ අන්තර්ජාතික සම්මන්ත්‍රණ හා සංවාදවලට සහභාගි වී ඇත. මේ සියල්ලටම වඩා ඉහළින් කැපී පෙනෙන්නේ තෝමස් මැදපෙරදිග සම්බන්ධයෙන් සිදු කර ඇති අධ්‍යයනයන්ය. ඔහු පැතිකඩ කිහිපයකින්ම මැදපෙරදිග අර්බුදය විශ්ලේෂණය කර තිබේ. තෝමස් ෆ්‍රෙඩ්මන්ඩ්ට දෙවරක්ම හොඳම වාර්තාකරණයට අදාළ පුලිස්ටර් සම්මානය ලැබී ඇත.
“From Beirut To Jerusalem” කෘතිය ගැන ලියැවුණු විචාර ගණනාවකින්ම කියැවෙන්නේ මැදපෙරදිග අර්බුදයේ යථා ස්වභාවය ගැන හැදෑරීමට දැනට ඇති හොඳම කෘතිය එය බවය. කෘතිය හඳුන්වන්නේ අතිදුෂ්කර හා බිහිසුණු අත්දැකීම් සහිත තනි පුද්ගලයකුගේ වීර චාරිකාවක් හැටියටය. එහි විශේෂතා කිහිපයක් අපට පෙනෙයි.
(i) අර්බුදයේ ඓතිහාසික තොරතුරු
නිවැරැදිව දැක්වීම
(ii) පක්ෂග්‍රාහී නොවී කරුණු දැක්වීම
හා විග්‍රහ ඉදිරිපත් කිරීම
(iii) අවශ්‍ය සියලු තොරතුරු හා සිදුවීම්
වාර්තා කර තැබීම
(iv) ප්‍රබන්ධ කථාවක් සේ කුතුහලය
දැනවීම, ආකර්ෂණය දිනාගැනීම
අප මුලින් සඳහන් කළ පරිදිම ලොව පවතින දීර්ඝම ගැටුම මැදපෙරදිග අවුල ලෙස හැඳින්විය හැකිය. එය සංකීර්ණ ආරවුලක් බවට පත්වන්නේ ප්‍රධාන කරුණු තුනක් නිසාය. පළමුව එය ලෝකයට බලපෑමක් කරයි. තෙවන ලෝකයේ ශ්‍රී ලංකාව වැනි රටවලට පවා එහි බලපෑමෙන් දුරස් විය නොහැකිය. දෙවනුව එය ක්ෂේත්‍ර ගණනාවක අවුලක් – ආරවුලක් හා පටලැවිල්ලක් වෙයි. ආගම, ජාතිය, උපන්බිම ආදී ලෙසින් විෂය ක්ෂේත්‍ර ගණනාවක් තිස්සේ කියවාගත හැකිය. තෙවනුව එය ලෝක බලවතා ඇතුළු බටහිර රටවල් ද, තවත් පැත්තකින් තෙල් සම්පත සහිත අරාබි රටවල් ද නියමින් හා අනියමින් සම්බන්ධ වූ සංකීර්ණ ගැටලුවකි. ඉතිහාසය නොදැන ඒ ගැන මතයක් දැරීම වැරදිසහගතය. තෝමස් ප්‍රෙඩ්මන්ඩ්ගේ කෘතිය මේ අවුල නිරවුල් කරගැනීම සඳහා සාමාන්‍ය පාඨකයකුට අත දෙයි. අවශ්‍ය මූලික දැනුම හා තොරතුරු සපයයි.
සාමාන්‍ය පාඨකයාගේ අවධානයට ලක් නොවන එහෙත් යථෝක්ත ගැටුමේ ස්වභාවය තත්ත්වාකරයෙන් වටහා ගැනීමට අදාළ වැදගත් සංසිද්ධි කිහිපයක් අප සිහියට නැඟේ.
(i) ඔස්ට්‍රියානු ජාතික
පත්‍රකලාවේදියකු වූ තියඩෝර් රසල්ගේ සියෝන්වාදී සම්මන්ත්‍රණ හා එහි ලෝක ව්‍යාප්තිය.
(ii) ගැටුමට අදාළ අන්වර් සදාත්ගේ මැදිහත්වීම ඔහුගේ ඉල්ලා අස්වීම හා ඊජිප්තුවේ ක්‍රියාකලාපය.
(iii) පලස්තීන විමුක්ති සංවිධානයේ විමුක්ති අරගලය, අන්වර් සදාත්ගේ මැදිහත් වීම හා පලස්තීන ගැටුම් උත්සන්න වීම.
(iv) එක්සත් ජාතීන්ගේ මැදිහත් වීම, සාම ප්‍රයත්නය හා ‘රෝඩ් මැප්’
කාලසටහන.
‘තියඩෝර්’ පත්‍රකලාවේදියකු ලෙස සේම, දේශකයකු හා පූජකයකු ලෙස ද ප්‍රකටය. ඔහු යුදෙව් රාජ්‍යය නම් අත්පත්‍රිකාව පළ කරන්නේ 18 වැනි සියවසේ මුල් කාර්තුවේය. එම පත්‍රිකාවේ සිට සවිස්තරාත්මක සියෝන්වාදී පියවර පිළිබඳ තොරතුරු මේ කෘතියට ඇතුළත් කර තිබේ. සියෝන්වාදය පිළිබඳ පළමු ලෝක සම්මන්ත්‍රණය පවත්වන්නේ ස්විස්ටර්ලන්තයේදීය. එහි සංවිධායකයා වූයේ තියඩෝර්ය.
අන්වර් සදාත් මැදපෙරදිග සාමය සඳහා බලවත් කැපවීමක් කළ නායකයෙකි. එමෙන්ම අරාබි උරුමය වෙනුවෙන් නිර්භීතව පෙනී සිටි නායකයෙකි. ඔහු වරක් ඊශ්‍රායල් පාර්ලිමේන්තුවට ගොස් සාමය උදෙසා ආයාචනයක් කළේය. පසුව ඔහු සිය නායකත්ව තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේය. මේ තීරණයත් සමඟ සමස්ත අරාබි ලෝකයම හඬා වැටුණේය. මැදපෙරදිග අවුල වටහා ගැනීම සඳහා සදාත්ගේ ක්‍රියාදාමය ද ඉතා වැදගත් වේ. තෝමස් සිය කෘතියෙහිලා සදාත්ගේ ක්‍රියාදාමය අගය කර තිබේ. අන්වර් සදාත් හා මැදපෙරදිග අර්බුදය සම්බන්ධයෙන් රචනා වූ තවත් වැදගත් කෘතියක් හැටියට රේමන්ඩ් විලියම්ගේ ‘සදාත් ඇන්ඩ් ආෆ්ටර්’ ග්‍රන්ථය පෙන්වා දිය හැකිය.
තෝමස් දක්වන මතවාද, තොරතුරු මෙන්ම ඔහුගේ වාර්තාකරණය ද කිසිවිටෙක දෝෂ දර්ශනයට ලක්වී නැත. ඒවා පක්ෂග්‍රාහී යැයි කුමන පාර්ශ්වයක් හෝ මත දක්වා නැත. එහෙත් අද වන විට ‘අල් ජසීරා’, බී.බී.සී. වැනි දැවැන්ත මාධ්‍ය ආයතන පවා දැඩි විවේචනයට ලක්වෙයි. ඒ පක්ෂග්‍රාහී වීම හා සමබර ලෙස ප්‍රවෘත්ති ඉදිරිපත් නොකිරීම හේතු කොටගෙනය. තෝමස් ෆ්‍රෙඩ්මන් යනු මැදපෙරදිග භූ දේශපාලනය හා ශිෂ්ටාචාරය පිළිබඳ පශ්චාද් උපාධියක් ලැබූ විද්‍යාර්ථියෙකි. ඔහු තම අධ්‍යයන කටයුතු සඳහා තෝරාගෙන තිබුණේ එංගලන්තයේ ඇන්තනී කොලීජියයි. එය ඔක්ස්ෆර්ඩ් සරසවියට අනුබද්ධ අධ්‍යයන ආයතනයකි. තෝමස් යූ.පී.අයි. ප්‍රවෘත්ති සේවයේ වාර්තාකරුවකු හැටියට ජනමාධ්‍ය ක්ෂේත්‍රයට එකතු වන අතර, වැඩිකල් යෑමට පෙර නිව්යෝර්ක් ටයිම්ස් පත්තරයේ මැදපෙරදිග ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානියා බවට පත්වෙයි. තෝමස් ෆ්‍රෙඩ්මන්ගේ කුසලතාව ඉන් වටහාගත හැකිය.
ඔහුගේ කෘතිය සුවිශේෂ වන අනෙක් කාරණය නම්; එය රචනා වී ඇති ශෛලිය, භාෂාව හා රචකයා පවත්වාගෙන යනු ලබන රිද්මයයි. තෝමස් සිය ප්‍රවෘත්ති රචනා සඳහා ප්‍රබන්ධ කථාවේ ආශීර්වාදය ලබාගෙන ඇති බව පැහැදිලිය. මේ කෘතිය ආරම්භ වන විලාසය දෙස බලන විට පෙනී යන්නේ පාඨකයා එම කෘතියට වහා ආකර්ෂණය වන බවය.
“In June 1979 my wife, Ann g boarded a red and white middle east Air – linen 707 in Geneva for the four – hour flight to Beirut. It was the start of the hearly ten years Journey through the middle east that is the subject of this book. It began, as it ended, with a bang.”
(ආරම්භය)
තෝමස් ෆ්‍රෙඩ්මන්ඩ් සරල – හෘදයාංගම භාෂාවක් භාවිත කරමින් නිරූපණය යන ශිල්ප ධර්මයට මූලික තැනක් ලබා දෙයි. 60 – 70 දසකවල ඉංග්‍රීසි වාර්තාකරුවන් වැඩි වශයෙන් මේ ක්‍රමය භාවිත කළ බව දැකගත හැකිය. එම ප්‍රවණතාව හැඳින්වූයේ ප්‍රබන්ධ කථාවෙන් වාර්තාකරණයට යනුවෙන්ය. බෙහෙවින් ජනප්‍රිය වූ මේ ප්‍රවණතාවේදී මානුෂිකත්වයට මුල්තැන ලබාදෙයි. වඩාත් හෘදයාංගම ලෙස වාර්තාකරණයෙහි යෙදීමට මේ ක්‍රමය යොදාගනු ලැබේ. කෘතිය ආරම්භ වන්නේ සිය බිරියත් කැටුව තෝමස් මෙහෙයුම සඳහා පිටත්ව යන අගනා අවස්ථාවෙන්ය. එය දීර්ඝ සංචාරයක චමත්කාරයෙන් පිරි ආරම්භය ලෙස සැලකිය හැකිය. කතුවරයා බීරුට් නුවර හඳුන්වන්නේ බොහෝ සිදුවීම්වලට පාදකවූ මූල නගරයක් හැටියටය. ගැටුම්වල උත්සන්නභාවය ඇතිවීමට, ත්‍රස්තවාදය බිහිවීමට, අන්තවාදය ක්‍රියාත්මක වීමට පමණක් නොව; පුරාණ ශිෂ්ටාචාරය විනාශ මුඛයට ඇද දැමීමටත් බීරුට් නගරයේ ඇතැම් තීන්දු – තීරණ හේතු වන බව තෝමස් නිදසුන් සහිතව පෙන්වා දෙයි. ඔහු ජෙරුසලම නගරය සලකන්නේ සියල්ලෙහි කූටප්‍රාප්තිය හැටියටය. බීරුට් සිට ජෙරුසලම දක්වා යන ගමන නවතින්නේ වොෂින්ටනයෙන් යැයි කර්තෘ පෙන්වා දෙයි. අද සිදු වෙමින් පවතින්නේ එයයි.
කර්තෘවරයා අවසන් ලෙස ප්‍රධාන තර්කයක් ඉදිරිපත් කරයි. එනම්, යුදෙව් දේශය කාගේ සිහිනයක් ද යන්නය. එය ඊශ්‍රායල් සිහිනයක් විය හැකිය. අමෙරිකන් සිහිනයක් ද විය හැකිය. කුමක් වුව අද එය යථාර්ථයක් බවට පත්වෙමින් තිබෙන බව කිව යුතුය. ඊට අවශ්‍ය පසුබිම පියවරෙන් – පියවර ගොඩනැඟෙන බවක් පෙනී යයි. ගාසා තීරය හා බටහිර ඉවුර වෙන්දේසියේ දමා ඇත. ඊශ්‍රායලයට තවදුරටත් ආධාර දීමට අමෙරිකාව ඉදිරිපත්ව සිටී. යුරෝපා සංගමය ද, එංගලන්තය ද එම පිළිවෙතට එකඟ බව පෙනී යයි. ඩොනල්ඩ් ට්‍රම්ප් බයිඩන්ටත් වඩා ඊශ්‍රායල් හිතවාදියකු වී ඇති බව දැකගත හැකිය. ‘යුදෙව්වන්ගේ අනාගතය’ නමින් කෘතියක් සම්පාදනය කරන ඩේවිඩ් විටාල් නම් ලේඛකයා ද මේ තත්ත්වය පැහැදිලි කර ඇත.
කිසිදු තර්කයක් නැත. මැදපෙරදිග ගැටුම ගැන අධ්‍යයනය කළ හැකි හොඳම පොත “බීරුට් සිට ජෙරුසලම දක්වා” කෘතිය බව පැහැදිලිය.
රන්ජන් අමරරත්න