ගව පාලනයේදී ගවයන්ට වැලඳෙන අතුරු ආබාධ සහ රෝග බොහෝමයකට අත් බෙහෙත්වලින් ප්‍රතිකාර කරන ගොඩ වෙද මහතෙක් රජරට පළාතේ ගම්බද පාසලක් ඉදිරිපිට පදිංචිව සිටියේය. ඔහු එම ප්‍රදේශය පුරාම ජනප්‍රිය වී සිටියේ ‘ගොඩ වෙද මහත්තයා’ යනුවෙනි. හෙතෙම මැදිවිය පසු කරමින් සිටි තැනැත්තෙකි.
දිනක් එම ගමේ ඉස්කෝලේ පිට්ටනිය මැද එළදෙනකු පැටියකු ප්‍රසූත කර සිටි අතර, එම පැටියාට කෙළින් සිට ගැනීමට නොහැකිව වැටී සිටින්නේ කුමක් හෝ හඳුනා නොගත් රෝගයක් නිසා යැයි සැක සිතූ එම පාසලේ විදුහල්පතිවරයා මෙම ගොඩ වෙද මහත්තයා එතනට කැඳවා තිබුණි. විදුහල්පතිවරයාට ඇවැසිව තිබුණේ වසු පැටියාගේ රෝගය කුමක්දැයි සොයා බලා එළදෙන සහ වසු පැටියා පාසලේ ක්‍රීඩා පිටියෙන් ඉවත් කර ගැනීමටය.
ඉතා හුරුබුහුටි මෙම වසු පැටියා බැලීමට එදින එම ස්ථානයට පාසලේ තරුණ ගුරුවරියෝ දෙතුන් දෙනෙක්ද පැමිණ සිටියහ.
අපගේ ගොඩ වෙද මහතා වහාම පාසල් ක්‍රීඩා පිටියට පැමිණියේය. ඔහු ඒ මේ අත කුඩා වසු පැටියා හරවමින් පරීක්ෂා කළේය. අනතුරුව ඔහු සිය ඔළුව වනමින් කිසියම් නිගමනයකට එළැඹියේය.
‘ලොකු මහත්තයා මේ වසු පැටියා ඉස්කෝලේ මිදුලේ අඹ ගහ යට හෙවණට අරගෙන යමු’ යනුවෙන් පවසා ඔහු ඇඳ සිටි සරම කැසපොට ගසා වසු පැටියා උඩට ඔසවා ගත්තේය.
එකෙණෙහිම තරුණ ගුරුවරියෝ දෑතින්ම තම තමන්ගේ මුහුණු වසාගෙන ආපිට හැරී පස්ස නොබලාම දිව ගොස් පාසලේ ගුරු නිවාසයට පැන ගත්හ.
‘හා හා ටීචර්ලා බය වෙන්න එපා මේ චූටි පැටියා අනින්නේ නෑ’. යනුවෙන් ගොඩ වෙද මහතා පවසමින් වසු පැටියා උඩට ඔසවාගෙන ගුරුවරියන් පසුපසම යන්නට විය.
එම දර්ශනය දුටු විදුහල්පතිවරයා මහත් සේ කලබලයට පත්වී ‘නෑ නෑ ගොඩ වෙද මහත්තයෝ, ඕකා අනින්නේ නෑ තමයි බොලං. ඔය පැටියාව බිමින් තියලා මුන්නැහේගේ උඩට ඉස්සිලා තියෙන සරම හරිගස්සා ගත්තොත් හොඳයි. නැත්තං අර ටීචර්ලාට නූල් බඳින්න වෙයි’ යනුවෙන් කේන්තියෙන් පැවසීය.
වසු පැටියාගේ එක කකුලක පැටලී උඩට එසවී තිබුණු තම සරම දැක වසු පැටියා එතැනම බිම දමා මහත් සේ ලජ්ජාවට පත්වී තමා පැමිණි බයිසිකලයද නොගෙන වෙද මහත්තයා එතැනින් අතුරුදන් විය.
මේ සිද්ධියෙන් පස්සේ ගමේ ගොඩේ කොල්ලෝ කුරුට්ටෝ වෙද මහත්තයා දකින හැම වාරයකම ජනප්‍රිය ගීතයක අවසාන පදය හඬනඟා ගායනා කරනවාලු. ‘මොකක් හරි හේතුවක් හින්දා අමුඩෙ අමතක වෙලා තිබියන්’ යන පදය ඇසෙන විට ගොඩ වෙද මහත්තයා ඔවුන්ට කනේ ඇඟිලි ගසා ගැනීමට උත්තර දෙනවාලු.