Home » කෙටි කාලීන වරප්‍රසාද වෙනුවෙන් වැඩ කරන්නේ නෑ

කෙටි කාලීන වරප්‍රසාද වෙනුවෙන් වැඩ කරන්නේ නෑ

by mahesh
April 2, 2025 4:01 pm 0 comment

විද්‍යා හා තාක්ෂණ ඇමැති, වෛද්‍ය ක්‍රිෂාන්ත අබේ­සේන

– වාණිජකරණය නොවූ අංශ කෙරෙහි පූර්ණ අවධානය යොමු කරනවා
– අපි බලන්නේ අපේ ජාතික අභිලාෂය ගැනයි

තිරසර සංවර්ධනයකට විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයෙන් සිදු කරන දායකත්වයත්, ඒ ඔස්සේ නව ව්‍යවසායකයන් බිහි කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ගත් ඇතුළුව රටේ නව දේශපාලන තත්ත්වය පිළිබඳව විද්‍යා හා තාක්ෂණ ඇමැති, වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකි මේ.

තිරසර සංවර්ධනයට විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ සිදු කරන ආයෝජන ඉහළ නැංවීම වෙනුවෙන් ගෙන ඇති සැලසුම් මොනවාද?

විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රය යටතේ ප්‍රධාන ආයතන 12ක් පමණ තියෙනවා. ඒ ආයතනවලින් යම් ඒවා රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනවලට සර්විස් එක ප්‍රවයිඩ් කරනවා. තවත් සමහර ආයතන පර්යේෂණ කරනවා. මේවායින් තවත් ආයතන පෞද්ගලික අංශය සමඟ එක්ව ඒ ආයතනවල ඕනෑඑපාකම්වලට අදාළව පර්යේෂණ කරනවා.

අනෙක අපේ ආයතන අතර සම්බන්ධීකරණයක් නෑ. අපි හිතන විදියට අපි හඳුනා ගන්න ඕනෙ අපේ රටට ගැළපෙන පර්යේෂණ මොනවාද කියලා. එක් එක් ක්ෂේත්‍ර ඔස්සේ මෙය හඳුනාගත යුතුයි. මේ සඳහා යෝජනා ලැබුණාම ඒවා ඇගැයීමට ලක් කළ යුතුයි. එහිදී රටේ ආර්ථිකයට මේ යෝජනා කොතරම් දුරට සම්බන්ධ දැයි අවධානයට ලක් විය යුතුයි. ඒ වගේම මේ පර්යේෂණ මඟින් නව නිෂ්පාදනයක් හදා, එය රටේ ආර්ථිකයට දායක කර ගැනීමට කටයුතු කළ යුතුයි. එයින් ඩොලර් උත්පාදනයට හෝ සේවාවේ කාර්යක්ෂමභාවය වැඩි කිරීමට හෝ හැකියාව තිබිය යුතුයි. එසේ නොමැතිව නිකන් පර්යේෂණ කරලා වැඩක් නෑ.

පර්යේෂණ සිදු කරන ක්‍රමය නිවැරැදි නොවුණොත් එයින් ප්‍රතිඵලයක් ද අපේක්ෂා කළ නොහැකියි. එනිසා මේ සියල්ල නිවැරැදිව, පිළිවෙළට සිදු විය යුතුයි. ආයතන කිහිපයක් ගත්තාම ඒවායේ ඇගැයීම් ක්‍රියාවලිය වෙනස් ස්වරූපයක් ගන්නත් පුළුවන්. එනිසා ඉදිරියේදී සෑම ආයතනයක් හරහාම රටට අවශ්‍ය ආකාරයට පර්යේෂණ හදාගෙන එකම විදියකට ඇගැයීමක් කරන්න අවශ්‍යයි. එවිට හොඳ ප්‍රතිඵලයක් බලාපොරොත්තු විය හැකියි. ආයතන වෙන වෙනම තිබුණත් ඒ අතර මනා සම්බන්ධීකරණයක් ගොඩනඟා ගැනීම අත්‍යවශ්‍යයි.

අපේ එක් ආයතනයක් තමයි, ජාතික නවෝත්පාදන ආයතනය. මෙය වාණිජකරණය කළ යුතුයි. ඉහතින් කියූ ආයතනවලින් බොහෝමයක් ද වාණිජකරණය කිරීමේ කටයුතු සිදු කරනවා. එයත් සිදු කරන්නේ විවිධාකාරයෙන්. එනිසා ඉදිරියේදී මේ සියලු දෙනා එකතු කරගෙන එක් විදියකට වාණිජකරණය කිරීම සිදු කරනවා.

මේ වන විටත් සමහර දේවල් වාණිජකරණය වෙලා තියෙනවා. සමහර දේවල් වාණිජකරණය නොකර අතරමඟ නැවතී තියෙනවා. සමහර පර්යේෂණවලට අපි විශාල මුදල් යොදවා තිබෙනවා. නමුත් ඒවායින් අපට කිසිම ප්‍රතිඵලයක් ලැබී නෑ. එනිසා මේවා නිසි ක්‍රමවේදයකින් ඉදිරියට ගෙන යා යුතුයි. මේ පර්යේෂණ වෙනුවෙන් යොදවා තියෙන්නේ ජනතාවගේ මුදල්. එනිසා එයින් රටට යහපතක් විය යුතුමයි. ඉදිරියේදී එලෙස වාණිජකරණය නොවූ අංශ කෙරෙහි පූර්ණ අවධානය යොමු කරනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේත් මේ වෙනුවෙන් අංශයක් තිබෙනවා. ඒ අංශය තියෙන්නෙත් මේ වාණිජකරණය වේගවත් කිරීමටයි.

ආර්ථික ප්‍රතිලාභ වැඩි කර ගැනීමට අධිතාක්ෂණික අපනයනයන් වෙත යොමු වන්නේ කෙසේද?

නව උත්පාදන මේ සඳහා එකතු කර ගන්නවා. විශේෂයෙන් විදාතා මධ්‍යස්ථාන හරහා නව උත්පාදන හඳුනා ගැනීම සිදු කර අදාළ ස්ථාන වෙත යොමු කිරීම සිදු කරනවා. පසුව එම නවෝත්පාදන වෙනත් අයකු අතට පත්වීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නවා. ඒවගේම ඒ නවෝත්පාදනය තවදුරටත් තාක්ෂණිකව වැඩිදියුණු කිරීමට අවශ්‍ය නම් ඒ සඳහාත් පහසුකම් සැපයීමට අපි කටයුතු කරනවා. ඊළඟට තමා එයත් වාණිජකරණයට ලක් වෙන්නේ. එහිදී ඒ වෙනුවෙන් ආයෝජකයන් සොයා ගත යුතුයි. එම කාර්යයත් ආයෝජන මණ්ඩලයත් සමඟ සම්බන්ධ වී අප විසින් සිදු කරනවා.

උදාහරණයක් ලෙස පුද්ගලයකු අලුතින් පොහොර වර්ගයක් සොයාගන්නවා. එය මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමට ඔහුට හැකියාවක් නෑ. එවිට ඔහුගේ කැමැත්ත මත ආයෝජකයෙක් සොයාදෙන්න වෙනවා. පසුව ඒ හරහා පොහොර නිෂ්පාදනය කර වෙළෙඳපොළට යොමු කරන්න පුළුවන්. එසේ වෙළෙඳපොළට යොමු කළ පමණින් එය ඉදිරියට යන්නේ නෑ. එනිසා මෙය අපේ පොහොර ප්‍රතිපත්තියටත් යා යුතුයි. එවිට විශාල පිරිසක් මේ වටා ඒකරාශී වෙනවා. මේ සඳහා ඊට අදාළ අමාත්‍යාංශය සම්බන්ධ විය යුතුයි. මේ ආකාරයේ නිවැරැදි වැඩපිළිවෙළක් සැකසිය යුතුයි.

අපි නිතරම අලි මිනිස් ගැටුම සහ දුම්රියේ අලි ගැටීම ගැන කතා කරනවා. මේ සඳහා දැනටමත් හොඳ පර්යේෂණ සහ ඒ වෙනුවෙන් වූ නවෝත්පාදන තියෙනවා. මේ ගැන දැනටමත් අපි කතා කර තියෙනවා. අපේ අමාත්‍යාංශයෙන් කළ හැකි වන්නේ ඒ නවෝත්පාදන සහ ප්‍රතිඵලයක් ගත හැකි දේවල් හඳුනාගෙන ඒවා අදාළ අමාත්‍යාංශ වෙත යොමු කිරීම පමණයි. ක්‍රියාත්මක කිරීම ඒ ඒ අමාත්‍යාංශ හරහා සිදු වෙනවා. මෙහිදී නිලධාරීන්ගේ පැත්තෙන් සම්බන්ධීකරණයක් ද ඇති විය යුතුයි. එසේ නොවුණොත් අපි මේ කරන දේවල්වල ප්‍රතිඵලයක් ලබා ගැනීම හරිම අසීරුයි.

විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන ක්ෂේත්‍රයට අදාළ නව ව්‍යවසායකයන් බිහිකිරීමට වැඩපිළිවෙළක් තිබේද?

ගමට තාක්ෂණය ගෙන යන වැඩපිළිවෙළක් තමා විදාතා කියන්නේ. ඒ වගේම ගමේ තිබෙන තාක්ෂණය ඉහළට ගෙන නවෝත්පාදන ආයතන හරහා වාණිජකරණයට ලක් කිරීම විදාතා මධ්‍යස්ථාන මඟින් සිදු කරනවා. වර්තමානය වන විට මේ විදාතා මධ්‍යස්ථාන ක්‍රියාකාරී මට්ටමේ නෑ. මේ ගැන සොයා බැලීමේදී මේ මධ්‍යස්ථාන සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙළක් තිබුණේ නෑ. එනිසා මම විද්‍යා, තාක්ෂණ නිලධාරීන් සහ අපේ අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ මේ ගැන කතා කළා. මේ සඳහා විධිමත් සැලැස්මක් හදන්න කියලා කිව්වා. මීට සතියකට පමණ පෙර ඒ ගැන මට හඳුන්වාදීමක් සිදු කළා. එහි ඉතිරි කටයුතු සම්පූර්ණ කරමින් ඇතැයි මම විශ්වාස කරනවා. අපේ ආයතනවලින් කරන පොඩි පොඩි පර්යේෂණ විදාතා මධ්‍යස්ථාන හරහා ගමට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. එතුළින් ගම්මට්ටමේ ව්‍යවසායකයන් හඳුනා ගන්නත්, තාක්ෂණය ඔවුන්ට හඳුන්වාදී නිෂ්පාදනය වැඩි කිරීමේ වැඩපිළිවෙළකුත් ක්‍රියාත්මක කරන්න අපේක්ෂා කරනවා. ඒ හරහා නව ව්‍යාපාර බිහිවෙනවා. විදාතා මධ්‍යස්ථාන හරහා ගම් මට්ටමේ ඇති නව නිපැයුම් හඳුනා ගැනීමටත් අවස්ථාව උදා වෙනවා. එලෙස හඳුනා ගන්නා පිරිස ඉදිරියට ගෙනයෑමටත් හැකියාව පවතිනවා. එනිසා විදාතා මධ්‍යස්ථාන නැවත ක්‍රියාකාරී මට්ටමට ගෙන ඒමට කටයුතු කරනවා.

පසුගියදා ඔබ සහභාගි වූ ප්‍රංශයේ පැරිස් නුවර පැවැති විද්‍යා රාජ්‍යතාන්ත්‍රිකභාවය පිළිබඳ ගෝලීය සමුළුවේදී අපේ රට ගැන අවධානය යොමු වූයේ කෙසේද?

මෙය විද්‍යා රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳ තිබූ පළමු ගෝලීය සමුළුව. මේ සමුළුවට පැමිණියේ විද්‍යා හා තාක්ෂණ ඇමැතිවරුන්. එහිදී අපි කතා කළේ විද්‍යාව කොහොමද විදේශ සම්බන්ධතා වෙනුවෙන් යොදාගන්නේ කියලා. විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධයෙන් රට රටවල් විවිධ දේ සොයාගන්නවා. ඒවා අනෙක් රටවල් සමඟ ගනුදෙනු කරන්නේ කොහොමද කියන එකත් මෙහිදී කතා කළා. අපි අපේ පැත්තෙන් අදහස් ඉදිරිපත් කළා. මේ තුළින් ගෝලීය ලෙස පිළිගත් දේ අපේ රටට ගැනීමේ හැකියාව තිබෙනවා.

තවමත් වංචා, දූෂණ යම් ප්‍රමාණයකින් සිදු වන බවටත්, එලෙස ලැබෙන මුදල් දේශපාලනඥයන් අතට නොව පක්ෂයේ අරමුදලට යන බවටත් ඇතැමුන් චෝදනා කරනවා ?

එම චෝදනාව මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. පක්ෂ අරමුදලට එහෙම මුදල් යන්නේ නෑ. අපි කරන්නේ පිරිසුදු දේශපාලනයක්. ඒ කාලයේ දේශපාලනඥයන් වංචා සහ දූෂණවලට සම්බන්ධ වුණා. ඒ අය එයින් පොහොසත් වුණා. නමුත් අපේ කිසිම කෙනෙක් ඒ වගේ වංචා, දූෂණවලට සම්බන්ධ වෙලා නෑ. සම්බන්ධ වෙන්නෙත් නෑ. බැරි වෙලාවත් සම්බන්ධ වුණොත් අනිවාර්යයෙන්ම එයා පක්ෂයෙන් එළියට දාන්න කටයුතු කරනවා. අපි අපේ දේවල් කැප කරලා තමා මෙය සේවාවක් හැටියට කරන්නේ.

ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය ගත්තාම ඒ අය කවදාවත් පඩි අරගෙන වැඩ කළේ නෑ. ඒ අය පක්ෂ අරමුදලට තමා මුදල් දුන්නේ. පක්ෂ අරමුදලෙන් කරන්නේ එම මුදල් ප්‍රධාන වශයෙන්ම සුභසාධන වැඩවලට යෙදවීමයි. ඊට අමතරව අපේ පක්ෂයේ ඉන්නවා පූර්ණකාලිකයන්. ඒ අයත් ස්වේච්ජාවෙන් වැඩ කරන අය. ඒ අයගේ මූලික අවශ්‍යතා වෙනුවෙන් උදව් කරනවා. එය සාධාරණයි.

දේශපාලනඥයන් අතර නම් කොහෙත්ම වංචා, දූෂණ සිදු වෙන්නේ නෑ. නමුත් රට තුළ තවමත් වංචා දූෂණ සිදු වෙනවා. සෑම රාජ්‍ය ආයතනයකම යම් ප්‍රමාණයකින් වංවා, දූෂණ සිදු වෙනවා. දේශපාලන නායකත්වය වෙනස් වුණා කියලා මේ වංචා, දූෂණ එකපාරම නවතින්නේ නෑ. මීට පෙර ආණ්ඩුවලදී දේශපාලනඥයන් වංචා, දූෂණවලට පෙලඹුණ නිසා ඒ අයට ඊට විරුද්ධව පියවර ගන්න බැරි වුණා. නමුත් අපි වංචා, දූෂණ නොකරන නිසා ඒ වෙනුවෙන් ඕනෑම පියවරක් ගන්න පුළුවන්. ඒ වගේම දූෂණයක් වන අවස්ථාවක් දුටුවොත් ඒ පිළිබඳව පැමිණිලි කරන්න ඕනෙ. එවිට අපට ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මේ සඳහා ජනතාවගේ සහාය අත්‍යවශ්‍යයි.

ඉන්දීය අගමැති අනිද්දා (04) ලංකාවට ඒමට නියමිතයි. එයින් අපේ රටට මොනවගේ වාසි අත්වෙයිද?

ඉන්දීය අගමැති ලංකාවට එනවා. එතුමා සමඟ ගිවිසුම් කිහිපයක් අත්සන් කරන්නත් බලාපොරොත්තු වෙනවා. එයින් එකක් තමා සාම්පූර් බලාගාරයට අදාළ ගිවිසුම. රාජතාන්ත්‍රික සබඳතා කියන්නේ දෙපිරිසටම වාසිදායක වන දේවල්. ඉන්දියාව හෝ අමෙරිකාව හෝ චීනය හෝ ලංකාවට එන්නේ ලංකාවට උදව් කිරීමටම නොවේ. ඒ අයටත් යම් ප්‍රමාණයකින් ලංකාව උදව් කරන්න ඕනෙ. හැම රටක්ම බලන්නේ තමන්ගේ ජාතික අභිලාෂය. අපි බලන්නත් ඕනෙ අපේ ජාතික අභිලාෂය ගැන. දියුණු වෙමින් පවතින අපේ වගේ රටවලට ඒ වෙනුවෙන් වන බලය අඩුයි. එයත් මෙයට බලපානවා. පැවැති සමහර ආණ්ඩු රට රටවල් කියන කියන හැම දේටම නිහඬව හිටියා. නමුත් අපේ ආණ්ඩුව එහෙම ඉන්න ආණ්ඩුවක් නෙමේ. අපි මොනම වෙලාවකවත් අපේ ජාතික අභිලාෂය අයින් කර, කෙටි කාලීන වරප්‍රසාද වෙනුවෙන් අනෙක් රටවල් සමඟ වැඩ කරන්නේ නෑ. අපි හැම වෙලාවෙම බලන්නේ අපේ ජාතික අභිලාෂය කොහොම හරි ඉටු කර ගන්න.

දිල්හානි ජයවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT