අන්තඃ කල්පය, අසංඛ්‍යෙය කල්පය, මහා කල්ප යැයි කල්ප තුනක් තිබේ.
රජවරු, ඇමැති මැති ආදී පිරිස් අධාර්මික වන විට මුළු රටම අධාර්මික වෙයි. ඒ ඇසුරේ සිටින දෙවියන්ද එතැනින් එහාට භවාග්‍රය දක්වා ඇති භූමි සියල්ලේ ආර්ය ශ්‍රාවකයන් හැර අනෙක් සියල්ලෝම අධාර්මික වෙති. එවිට සියල්ලම විෂම වේ. මේ කාලයෙහි මිනිසුන්ගේ ආයුෂය ක්‍රමයෙන් පිරිහී ගොස් දස අවුරුද්ද පරමායුෂය වන කාලයක් පැමිණේ. ඒ කාලයේදී රෝගවලින් හෝ යුද්ධයෙන් හෝ ආහාර නැතිවීමෙන් හෝ මහා මිනිස් විනාශයක් වේ. ඉතා ටික දෙනකු පමණක් ඉතිරි වේ. ඉන්පසු මිනිසුන් සුචරිතයෙහි හැසිරෙන්නට පටන් ගැනීමෙන් පරම්පරාවෙන් පරම්පරාව මඳින් මඳ ඔවුන්ගේ ආයුෂය වැඩෙන්නට පටන්ගනී. ඒ වැඩීම වර්ෂ අසඞ්ඛ්‍යය දක්වා වැඩේ. ඉන් පසු දුසිරිතට හැරීමෙන් නැවතත් මිනිස්සු පිරිහෙන්නට පටන් ගනිති. ක්‍රමයෙන් පිරිහී දශ වර්ෂය පරමායුෂය වන කාලයට එළඹේ. ඒ කාලයේදී නැවතත් මිනිස් විනාශයක් වේ.
ඉහත ආකාරයට මිනිස් ආයුෂය දශ වර්ෂයෙන් පටන්ගෙන අසඞ්ඛ්‍යය දක්වා වැඩී, නැවත දශ වර්ෂය පරමායුෂය වන තෙක් පිරිහීමට ගතවන කාලයට අන්තඃකල්පය යි කියනු ලැබේ. එවැනි අන්තඃකල්ප හැට හතරක් අසංඛ්‍යෙය කල්ප එකකි. සංවර්තය, සංවර්තස්ථායි, විවර්තය, විවර්තස්ථායි ලෙස අසංඛ්‍යෙය කල්ප සතරක් තිබේ. අසංඛ්‍යෙය කල්ප සතරක් මහා කල්ප එකකි.
කල්ප විනාශය
ගින්නෙන් හෝ දියෙන් හෝ සුළඟින් හෝ දීර්ඝ කාලයකට වරක් මේ මහ පොළොව දිව්‍යලෝක හා ඇතැම් බ්‍රහ්මලෝකත් සමඟ විනාශ වෙයි. ලෝකය වරක් විනාශ වී යෑමටත් ඉතා දීර්ඝ කාලයක් ගතවේ. ලෝකය නැසෙමින් පවත්නා කාලය සංවර්ත කල්පය නම් වේ.
ලෝකය විනාශ වීමෙන් පසු විනාශ වන්නට ගතවූ කාලය තරම් කාලයක් හිස්ව පවතී. ඒ කාලය සංවර්තස්ථායී කල්පය නම් වේ.
නැවත ලෝකය මඳින් මඳ හැදෙන්නට පටන් ගනී. ලෝකය හැදී සම්පූර්ණ වීමට ගත වන කාලය විවර්ත කල්පය නම් වේ.
ලෝකය සම්පූර්ණ වී නැවත විනාශ වන්නට පටන් ගැනීම දක්වා පවත්නා කාලය විවර්තස්ථායි කල්පය නම් වේ. මේ අසඞ්ඛ්‍ය කල්ප සතර එක් මහා කල්පයෙකි. අසඞ්ඛ්‍ය කල්පයක ප්‍රමාණය, අන්තඃ කල්ප හැට හතරකි. (විස්සක් ලෙස ද සඳහන් වේ.) මහා කල්පයේ ප්‍රමාණය අන්තඃ කල්ප දෙසීය පනස් හයකි. (අසූවක් ලෙසද සඳහන් වේ.)
පිළිවෙළින් සත් වරක් ගින්නෙන් ලෝකය නැසේ. අටවන වාරයේ ජලයෙන් නැසේ. මෙසේ නැසෙන ලෝකය සූ සැට (64) වන වාරයේදී වායුවෙන් නැසේ. ගින්නෙන් ලෝකය විනාශ වන විට ආභස්සරයෙන් යට සියල්ල නැසේ. ජලයෙන් විනාශ වන කල්හි සුභකිණ්හයෙන් යට ද වාතයෙන් විනාශ වන කල්හි වේහප්ඵලයෙන් යට ද සියල්ල විනාශ වේ. බොහෝ කාලයක් විශ්වයේ මෙම භූමි තිබූ තැන් හිස්ව පවතී. අපරාපරිය වේදනීය කර්මය ආදියේ උපකාරය නිසා සත්වයෝ ඉහළ, ඉහළ භූමිවල ඕපපාතිකව ඉපදී වාසය කරයි. සමහරුන් කර්මානුරූපව වෙනත් සක්වලක හෝ උපත ලබයි.
ඉන්පසුව අති දීර්ඝ කාලයක් ගිය පසුව නැවත ලෝකය හැදෙන්නට පටන් ගනී. පහළ, පහළ භූමි හැදෙන්නට සුදුසු පරිසරය සැකසෙන විට සත්ත්වයෝ ඒවායෙහි හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය අනුව උපත ලබති. ඕපපාතිකව මෙන්ම පසුව හේතු සකස් වන විට අණ්ඩජ, ජලාබුජ, සංසේදජ ලෙස ද උපත ලබති.
කල්පයක් යනු
යොදුනක් දිග යොදුනක් පළල යොදුනක් උස යකඩින් කළ පවුරකින් වට කළ නුවරක් තිබේ. එය සම්පූර්ණයෙන්ම අබ ඇටවලින් පුරවා, අවුරුදු සියයකට වරක් එයින් අබ ඇට එකක් බැගින් ඉවත් කරමින්, යම් දවසක ඒ අබ ඇට සියල්ලම ඉක්මණින් ඉවත් වේ. එහෙත් කල්පය අවසන් නොවේ. (සාසප සූත්‍රය)
දිගින් පළලින් උසින් යොදුනක් වූ, සිඳුරු නැති තනි කළු ගල් පර්වතයක් තිබේ. එයට වසර සියයකට වරක් එක පුරුෂයෙක් නැඟ කසී සළුවකින් එය පිරිමදී. ඒ මහා කළුගල් පර්වතය යම් කලෙක ගෙවුනත් කල්පය අවසන් නොවේ. (පබ්බත සූත්‍රය)
අතීතය බැලිය හැකි තවත් වසර සියයක් ජීවත් විය හැකි ශ්‍රාවකයින් සතරදෙනෙක් සෑම දිනකම කල්ප ලක්ෂය (සිය දහසක්) බැගින් අතීතය බලයි. අවුරුදු සියයක් ජීවත් වීම ඉක්මණට අවසන් වී ඔවුන් කලුරිය කරයි. එහෙත් කල්ප සිහිකර අවසන් කළ නොහැකි වේ.(සාවක සූත්‍රය)
ගංගා ගඟ පටන් ගන්නා තැන සිට මහ මුහුදට වැටෙන තැන දක්වා තිබෙන සම්පූර්ණ වැලි ප්‍රමාණය මෙතෙක් යැයි ගණන් කිරීම ලෙහෙසි නොවේ. ගත වූ කල්ප ඊට වඩා වැඩි ය. ගත වූ කල්ප සියයක් දහසක් යැයි ගණන් කිරීම පහසු නැත. (ගංගා සූත්‍රය)
මේ ආකාරයට කල්පයේ දීර්ඝකම තේරුම් ගත යුතු ය.