අලුත් අවුරුද්ද හෙළ සිරිත් විරිත්වලට මුල්තැන දෙන සංස්කෘතික උත්සවයකි. කාලාන්තරයක් තිස්සේ එකිනෙකා අතර සහජීවනය තව තවත් දැඩි කරගන්නට හේතු වන්නේ අලුත් අවුරුද්දයි. ජීවිතයට අලුත් අරමුණු භෞතිකව වගේම මානසිකවත් ඇති කරන්නට හොඳ වටපිටාවක් ඇති කරන්නේ අප්‍රේල් මාසයේදී සිංහල බෞද්ධයින් සමරන සිංහල අලුත් අවුරුද්දයි. මේ උත්සව සමය වර්තමානයේදී අනෙක් උත්සව මෙන්ම වාණිජ ස්වරූපයක් ගෙන තිබුණත් තවමත් එය සිංහල බෞද්ධ සංස්කෘතිය හා බැඳෙන සමාජයීය ජීවිතවලට වඩා වැදගත් වන්නකි. අලුත් අවුරුද්ද බෞද්ධ සංකල්පවලින් පෝෂණය වන්නකි. අලුත් අවුරුද්දෙ බෞද්ධ වැදගත්කම පිළිබඳ සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ විශ්‍රාමික සභාපති, පණ්ඩිත උඩුගම හේමසාර හිමියන් සමඟ කළ සාකච්ඡාවකි මේ.
අලුත් අවුරුද්ද බෞද්ධ සංස්කෘතියේ කොටසක්ද?
අපේ අලුත් අවුරුද්ද කාලාන්තරයක් පැවත එන්නේ සිංහල සහ බෞද්ධ සිරිත් විරිත් සම්ප්‍රදායයන් සමඟයි. අලුත් අවුරුද්දේ කෙරෙන චාරිත්‍ර වාරිත්‍ර රාශියක් තිබෙනවා. ඒවා සියල්ලක්ම බුදුදහම හා සම්බන්ධව ගොඩ නැඟුණු ඒවායි. ඒ අතරින් බුලත් දීම බෞද්ධ ඉගෙනීම් ජීවිතයට යාකර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස සිදුවන්නක්. අපි වැඩිහිටියන්ට බුලත් දී වැඳීම කරනවා. ඒ සිරිත් පවුල් දම්වැල ශක්තිමත් කරන ආදර්ශවත් චාරිත්‍රයක්. මේකට වයස් භේදයක් හෝ තනතුරු නම්බුනාමවල භේදයක් නැහැ. වැඩිහිටි සෙවණේ හැදෙන වැඩෙන දරුදැරියන් සැවොම වැඩිහිටියන්ට ගෞරව දැක්වීම, ඔවුන්ගේ අනුදැනුම සහ ඔවදන් අනුව හැසිරීම ජීවිතය ගොඩනඟා ගැනීම ආදිය බුලත් හුරුලු දී වැඳීමෙන් පිළිබිඹු කෙරෙනවා. ආදරය, කරුණාව, දයාව මනස තුළ වර්ධනය වන්නට වැඩිහිටි ඔවදන් පිළිපැදීම සහ ඔවුන්ගේ ආරක්ෂාව යටතේ ජීවත් වීම හරිම වැදගත්.
වර්තමාන සමාජයේ තරුණ දරුවන් තනිකමින් පෙළෙනවා. ඒකට ප්‍රබල හේතුවක් වෙන්නේ ජංගම දුරකතනවල වැඩි වේලාවක් කල්මරන එකයි. වැඩිහිටියන් ඔවුන්ගේ අත්දැකීම්වලින් දෙන ඔවදන් පිළිපැද ඔවුන්ට ගෞරව කරනවා නම් දරුවන්ට තනිකම දැනෙන්නේ නැහැ. ඔවුන් අයහපත් මඟේ යන්නෙත් නැහැ. බෞද්ධ ඉතිහාසයේ තිබෙන්නේ වැඩිහිටියන්ට, ගුරුවරුන්ට ගෞරව කිරීම සහ යටහත් බවේ වටිනාකමයි.
අලුත් අවුරුදු චාරිත්‍ර සම්ප්‍රදායේ අනිත් වැදගත්ම දෙය වයස් භේදයක් නැතිව එකිනෙකාට බුලත් දීමයි. මේ නිසා හිත් අමනාපකම් අවුරුද්දට සැරයක් අපේ හිත්වලින් අයින් කරගෙන අපි එකිනෙකාට ගෞරවය, සාමය සහ ආදර කරුණාව යළි යළිත් බෙදා ගන්නවා. අලුත් අවුරුද්ද හේතුවක් කරගෙන සමගිය, සමාදානය වපුරනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ වෛරය අපිව විනාශ කරනවා කියලායි. අලුත් අවුරුද්දට බුලත් දීලා කරන්නෙත් ඒ බණ පිළිපැදීම සහ ඒ මාවතේ බෞද්ධයෝ යනවා කියන එකමයි.
අලුත් අවුරුද්දට බොහෝ දේවල් අලුත් කරන්නේ ඇයි?
අද කාලේ නම් අවුරුද්දට කියලා වැඩිපුරම කරන්නේ ඇඳුම් ආයිත්තම් ගන්නා එකයි. ඒක හොඳ වුණාට ඕනෑවට වැඩිය ඇඳුම් පැලඳුම් ජීවිතයට හරි කරදරයක්. මුදල් නාස්තියක්. සරලව තීරණ ගන්නට නොහැකි වන තරමට ඇඳුම් පැලඳුම් නිසා හුඟක් කාන්තාවන් විවිධ ගැටලුවලට මුහුණ දෙන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. මවුපියන්ට සහ පවුලේ අයට තෑගි බෝග දීම සඳහා ඇඳුම් අරගන්න එක හොඳ පුරුද්දක්.
දැනට අවුරුදු 40කට 50කට කලින් අපේ ගෙවල්වල අවුරුද්ද උදාවට කලින් ගේදොර අස්පස් කරලා, ළිපේ ගොම මැටි ගා අලුත් කරනවා. පිරිසුදු යහපත් ආහාර රටාවකට පුරුදු වූ ජාතියක් වශයෙන් ආහාර පිසීමට ප්‍රධාන අංගය වන ළිප කඩතොලු වහලා ලස්සනට සකසා ගන්නවා. මුළුතැන්ගෙයි ළිප නිසා වටිනා කාලය අපතේ යා හැකියි, වගේම සෞඛ්‍යයට බලපාන්නක්. මුළුතැන්ගෙට අලුත් හැළි වළං, වට්ටි, හැඳි අනිකුත් ආම්පන්න අලුත් කිරීමත් තවත් හොඳ පුරුද්දක්. මේ නිසා පිරිසුදුව වසර පුරාම ආහාර පාන සකස් කර ගැනීමට වටාපිටාව සැකසෙනවා. වර්තමානයේදී නම් ගෑස් කුකර් එකට පුරුදු වෙලා නිසා ගොඩක් වැඩ අඩුවෙලා. මීට අමතරව ගේ දොර මකුළු දැල් කඩලා, තීන්ත අලේප කරලා, වත්ත පිටියත් සුද්ද පවිත්‍ර කරනවා. ඒකෙන් අපේ සිත් සතන් නැවුම් බවකින් පිරිලා ඉතිරිලා අලුත් බලාපොරොත්තු ඇති වෙනවා.
රසවත් කැවිලි ආදී කෑම වර්ග පිළියෙල කරන්නේ ඇයි?
අලුත් අවුරුද්ද අපේ මානව සම්බන්ධතාවලට අදාළ වන උත්සවයක්. අලුත් අවුරුද්දේ නෑගම් යෑමේ සිරිතක් තිබෙනවා. මේ නිසා ගෙදරට සිය ඥාති හිත මිත්‍රාදීන් එනවා. අපිත් ඒ අයගේ ගම්බිම්වලට නෑගම් යනවා. ඒ යද්දී සහ ඒ එන අයට හොඳට සංග්‍රහ කරන්න කාලාන්තරයක සිට රසකැවිලි, කෑමබීම හදනවා.
ඉස්සර අපේ පන්සල්වල අවුරුද්දට කබඩ් පිරෙන්න කැවිලි පෙවිලි තිබෙනවා. ඒකට හේතුව අපේ දායක දායිකාවෝ ගෙවල්වල හදන කෑම වර්ග මුලින්ම ඉඳුල් නොකර පන්සලට ගෙනැත් පූජා කිරීමයි. දැන් මේවා හුඟක් අඩුවෙලා. දැන් ගෙවල්වල කැවිලි හදන්න ඒ අයට නිවාඩු නැහැ. ඉතින් අවුරුදු මේසයට පමණක් ටිකක් වෙන්න, කඩෙන් සල්ලි දීලා කැවිලි ගේනවා. ඒත් ඉස්සර ගෙවල්වල පිරිස එකට එකතු වෙලා සමගියෙන්, සමූහයක්ව මේ කෑම වර්ග හරි සතුටින් පිළියෙල කරනවා. කල් තියාගන්නවා. ඉස්සර ගමටම කොකිස් අච්චුවක් දෙකක් තමයි තිබුණේ. එක ගෙදරක කොකිස් හදලා ඊළඟ ගෙදරටත් ඇවිත් අච්චුව බෙදා හදාගෙන කැවුම් හදන සිරිතක් තිබුණා.
හුඟක් ප්‍රදේශවල අවුරුදු දවසට කලින් මල්පැලක් හදලා පහනක් පත්තු කරන්නේ ඇයි?
අවුරුද්දට පුණ්‍ය කාලයේදී පන්සලට ඇවිත් පුද පූජා කරන්න පුළුවනි. ඒ වගේම පන්සලේ හාමුදුරුවෝ මුණ ගැහිලා ආශීර්වාද ලබාගන්නවා. ඒත් මළගිය ප්‍රාණකාරයන්ට සහ දෙවියන්ට පූජා කරන්න විදියක් නෑ. ඒ සඳහා ගොක් කොළය වියළා හදන මල්පැලක පහනක් පත්තු කරනවා. සමහර පළාත්වල ගොක් කොළය පිටුපසට වන්නට ගෙඩියක් හැඩයට බැඳලාත්, සමහර පළාත්වල ලබු ගෙඩියක ආකාරයටත්, මල්පැලක් හදලා ඒකේ පහනක් දල්වනවා. මේක පළාතෙන් පළාතට ටික ටික වෙනස් වුණත් අරමුණ එකයි.
අවුරුදු නැකත් හැදෙන්නේ බෞද්ධ වටපිටාව නිසාද?
අලුත් අවුරුද්ද ජ්‍යොතිෂයට නෑකම් කියනවා. අපේ රටේ බෞද්ධ දර්ශනය, ජ්‍යොතිෂය හා එකට මිශ්‍රවෙලා තිබෙනවා. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරන අවස්ථාවේදී තමයි පුණ්‍ය කාලය කියලා හැමෝම පන්සලට එන්නේ. මොන දේටත් මිනිස්සු පන්සලට ඇවිත් දාන, සීල, භාවනා කරලා සිත් පුබුදුවා ගන්නට පුරුදුව සිටිනවා. අදටත් ඒ සිරිත ඒ විදිහටම තිබෙනවා. අවුරුද්දට නැකත් අවශ්‍ය වන්නේ ගොඩක් කරුණු කාරණාවලට වෙලාව වෙන් කර ගන්නයි. එතකොට හැමෝටම එකම වෙලාවකදී එකම දෙයක් කළ හැකියි. මුළු රටම එකට එක්ව තිබීම අරමුණ වී තිබෙනවා.
අවුරුදු කෑම මේසය වැදගත් වන්නේ ඇයි?
අද වගේ නොවෙයි, අපේ සිංහල බෞද්ධයෝ එකට එක්ව සිටීම, සමගිය, සමාදානය උසස් කොට සැලකුවා. ඒ සඳහා කෑම මේසය නිමිත්තක් කරගත්තා. කෑම කියන්නේ මිනිසාගේ ප්‍රධාන අවශ්‍යතාවක්. ඒ නිසා කෑම බීමට මුල් ස්ථානයක් දීලා සිරිත් විරිත් ටික ඒ වටා ගොඩනඟාගෙන තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කුස පුරවාගෙන බණට එන ලෙසයි. අලුත් ළිපේ කිරි උතුරවා අලුත් මුට්ටියක කිරිබත් හදලා මේසයක තියලා හැමෝම ඒවටා එකතු වෙලා ආහාර ගැනීම පවුලකට හුඟක් වැදගත්. ඒ වගේම බුලත් මාරු කර ගන්නේත් කෑම මේසයේදීමයි. හුඟක් වෙලාවට කෑම මේසය දවස පුරාම රසකැවිලිවලින් පුරවා තබනවා. ඒ වගේම අහල පහල ගෙවල්වලටත් කෑම පාර්සලයක් හුවමාරු කරගන්නවා. මේවා අසල්වැසියන් හා තිබුණු නොහොඳ නෝක්කාඩු ඉවත් කරගන්න හැකි හොඳ සිරිත්.
හිසතෙල් ගා නෑම අලුත් අවුරුද්ද සමඟම තිබෙන්නක්, එහි විශේෂය කුමක්ද?
හිසතෙල් ගෑමට පසුව අවුරුද්දු සිරිත්විරිත් අවසන් වෙනවා. හිසතෙල් ගෑම අද වන විට ගමේ පන්සලේදී සිදු කළත් ඉස්සර ගමේ වෙද මහත්මයාගේ නිවෙසේදී කළ චාරිත්‍රයක්. හිස අපේ හැමදේටම සම්බන්ධයි. වසරක් පුරා මොළය වෙහෙසලා හරිම මහන්සියි. හිසරදය, අධික නිදිමත, කරකැවිල්ල, සෙම් රෝග වගේ ලෙඩදුක්වලින් හිස ආරක්ෂා කරන්නට හිසතෙල් ගා ස්නානය කරනවා. කොළ වර්ග ගණනාවක් එකතු කර කොටා ඒවායේ ඉස්ම අරගෙන හදන නානු වර්ගය ඖෂධීය වටිනාකමක් තිබෙන දෙයක්. අපේ හිසේ ‘තෙල්වළ’ කියලා තැනක් තියෙනවා. ඔතැනට තෙල් ටිකක් රත්කරලා වත්කළාම, අපේ නහයෙන් සහ උගුරෙන් ඒ තෙල් රස දැනෙනවා. අන්න ඒ සාත්තුව වගේ මේ නානු අපේ හිසට හොඳට අල්ලනවා. හිසට හොඳ සුවයක් ලැබෙනවා.
ඉරෝෂා දීපානි
ඡායාරූපය – කසුන් රන්දික