ශ්‍රී ලංකාවට අධිවේගී මාර්ග සංවර්ධන පද්ධතියක් හඳුන්වා දෙනු ලැබුවේ, එය රටේ සංවර්ධනයේ අත්‍යවශ්‍ය අංගයක් වූ හෙයිනි. නාගරික තදාසන්න ප්‍රදේශවල ඇති වන අධික මාර්ග තදබදය හේතුකොට ගෙන සිදු වන අනවශ්‍ය මිනිස් ශ්‍රමය නාස්තියත්, පරිසර දූෂණයත්, කාල කළමනාකරණය කරගත නොහැකි වීමත් යනාදී ගැටලු කිහිපයක් හේතුවෙන් අනාගත සංවර්ධන අපේක්‍ෂා උදෙසා අධිවේගී මාර්ග පද්ධතියක් හඳුන්වා දෙනු ලැබිණි.
එලෙස සැලසුම් කළ පළමු අධිවේගී මාර්ගය වන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයයි. කොළඹ සිට මත්තල දක්වා අදියර කිහිපයකින් ඉදි කෙරුණු ඒ මාර්ගය වසර 2011දී විවෘත විය. කටුනායක අධිවේගී මාර්ගය, කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගය, රුවන්පුර අධිවේගී මාර්ගය, උතුරු අධිවේගී මාර්ගය යන මාර්ග සියල්ල සංවර්ධනය කර, රටේ එකවර ශීඝ්‍ර දියුණුවක් අපේක්ෂා කිරීම මෙහි මූලික අරමුණ විය. කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ ඔස්සේ රටේ සියලු ප්‍රදේශවලට ඉතා අවම කාලසීමාවකින් ළඟා වීමට අදාළ සංවර්ධන සැලසුමක් මෙහි අන්තර්ගත විය. මේ නිසා සමහර අධිවේගී මාර්ගවල ඉදි කිරීම් අතරමඟ නතර කිරීමට සිදුව තිබිණි. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සහ මීරිගම අතර කොටස එලෙස අතරමඟ නතර වූ සංවර්ධන ව්‍යාපෘතියකි.
අතරමඟ නතර වූ කඩවත මීරිගම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ වැඩ වහා යළි අරඹන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා නිලධාරීන්ට දැනුම්දී තිබිණි. ඊට බලපා තිබූ ප්‍රධානතම හේතුව වූයේ, ඒ ව්‍යාපෘතිය අතරමඟ නතර වීම මෙරට සංවර්ධනයට ඇති මුදල් ගිල දමන මකරකු බවට පත්ව තිබීම ය. ව්‍යාපෘතියේ ඉදි කිරීම් සඳහා තෝරාගත් සමාගමට හිඟ මුදල් රුපියල් බිලියන 56ක් සහ දෛනිකව ප්‍රමාද ගාස්තු මිලියන 21ක් ගෙවීමට සිදු වීම ඊට හේතුවයි. ව්‍යාපෘතිය අතරමඟ හිටිහැටියේ නතර කර දැමීම නිසා මේ විශාල මුදල් කන්දරාව ගෙවීමට සිදුව තිබේ.
ශ්‍රී ලංකාවේ සෑම සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කරද්දීම සර්ව ආගමික වත්පිළිවෙත් ඉටු කොට, සක් පිඹ, මඟුල් බෙර හඬ මධ්‍යයේ සෙත් පිරිත් සජ්ඣායනා කොට කටයුතු ඇරඹීම සාමාන්‍ය සිරිතයි. අවසානයේ ඒවාට මුල් වූ දේශපාලකයන්ට පිරිත් නූල් බැඳීම ද සිදු වේ. කනගාටුවට කාරණය නම්, එලෙස සර්ව ආගමික වතාවත් මැද ඇරඹුණු ඒ සංවර්ධන ව්‍යාපෘති අවසානයේ ජනතාවගේ කරපිට පැටවුණු මරාල බවට පත්ව තිබීම ය.
කාලයක් මේ පිළිබඳ එල්ල වූ ප්‍රබල චෝදනාවක් වූයේ, අධිවේගී මාර්ග යනු සල්ලි ගිලින ව්‍යාපෘති වී ඇති බවයි. ව්‍යාපෘතියට මුල් වූ බොහෝ දේශපාලනඥයන් ඒවායෙන් කොමිස් මුදල් ගත් බව දැන් ප්‍රකට රහසකි. එහෙත් තවමත් ඒ ජනතා මුදල් පිල්ලි ගැසූ දේශපාලකයන් රූපවාහිනී කැමරා ඉදිරියේ වාගාලාප දොඩවද්දී අපට ඇත්තේ කනගාටුවක් මිස, අන් කවර හැඟීමක් වත් නො වේ.
අධිවේගී මාර්ග ව්‍යාපෘති පමණක් නොව, මෙරට එලෙස ජනතා ධනය අතිවිශාල ලෙස විනාශයට යොමු කළ පලකට නැති ව්‍යාපෘති ගණනාවක් ම තිබූ බව සිහිබුද්ධිය ඇති ඕනෑ ම කෙනකුට සිහිපත් වන කාරණයකි.
වැඩි වන ජනගහනයට සාපේක්ෂව හා ජනතා අවශ්‍යතා සංකීර්ණ වන ප්‍රමාණයට සංවර්ධනය පුළුල් විය යුතු ය, යන්න ජාතික සංවර්ධනයේ ප්‍රමුඛතම මූලධර්මයකි. රටක් විසින් සංවර්ධන සැලසුම් පුරෝකථනය කරන්නේ ඒ අනුව ය. රටේ මහා මාර්ග පද්ධතිය හා ප්‍රවාහන පද්ධතිය දියුණු කිරීමට අදාළ සැලසුම් සකස් වනුයේ ද ඒ අනුව ය.
ශ්‍රී ලංකාවට මාර්ග ව්‍යාපෘතියේ ප්‍රතිසංස්කරණාත්මක දියුණුවක් අවශ්‍ය බව හඳුනා ගෙන තිබුණේ 1990 දශකයේ මුල් භාගයේදී ය. එහෙත්, එය යම් තරමකින් හෝ ඵලදායක මට්ටමකට ගෙන ඒමට හැකි වූයේ වසර 2010න් පසුව ය.
රටකට අධිවේගී මාර්ග පද්ධතියක් අවශ්‍ය ය. එය රටේ කාලය හා ශ්‍රමය මානව සංවර්ධනය සඳහා යොදවා ගැනීමට ඇති ලෙහෙසිතම හා පහසුතම මාර්ගය වේ. රටේ පර්යන්ත දෙකක් අතර ඇති දුර අවම කාල පරතරයකින් යා කිරීම අධිවේගී මාර්ගයකින් සිදු වේ. එය සංවර්ධනයේ ශීඝ්‍ර ඉදිරි පිම්මකි. එනිසා එය ප්‍රතික්ෂේප කළ නොහැකි යථාර්ථයක් ද වනු ඇත.
එහෙත්, අපට සිදු වී ඇත්තේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ඇති කර, ඒ මුදල් කාබාසිනියා කිරීම පිළිබඳ ඉතිහාසයකි. නතර කළ යුතුව ඇත්තේ එයයි. එබැවින් අතරමඟ නතර වූ සංවර්ධන ව්‍යාපෘති යළි ඇරඹීමත්, ඒවායෙන් සිදු වූ ගසාකෑම සහ දූෂණය, නාස්තිය පිටුදැකීමත් යන දෙකම එක්වර සිදු කිරීම දුෂ්කර අභියෝගයකි. ඉක්මන්, ක්ෂණික වෙනසක් අපේක්ෂා කරන ජන සමාජයට අවබෝධ නොවන සමාජ යථාර්ථය ද එයයි. එහෙත් කවර හෝ තැනකින් මෙකී මූලාරම්භය තැබිය යුතු ය. ඒ සඳහා සමාජ දේශපාලනික දැක්මකින් යුතු නායකත්වයක් මෙන් ම දේශපාලනික වැඩපිළිවෙළක් ද අත්‍යවශ්‍ය ය. නිශ්චිත කාලසීමාවක් ඇතුළත ඒ සඳහා මුලපිරීම අනිවාර්ය වනු ඇත. කෝප් කමිටු වාර්තා, කෝපා කමිටු වාර්තා, විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වාර්තා, රාජ්‍ය ආයතනවල දූෂණ අක්‍රමිකතා පිළිබඳ වාර්තා කියවා බලද්දී අපට සිතෙනුයේ අප ජීවත්ව ඇත්තේ අතිශය දූෂිත රාජ්‍යයක බවයි. එබැවින් ශ්‍රී ලංකාව මේ පමණින් හෝ ඉතිරි වී තිබීම පිළිබඳ අප සතුටු විය යුතු ය.
නතර වී ඇති සියලු සංවර්ධන ව්‍යාපෘති යළි අරඹා, මඳ වේගයෙන් හෝ සංවර්ධනයේ මාවතට ප්‍රවේශ විය යුතු ය. වඩා වැදගත් වන්නේ, ඒ ප්‍රවේශයයි. එකී නිශ්චිත කාලසීමාවෙන් පසු නිශ්චිත වැඩපිළිවෙළක් සහිතව අධිවේගයෙන් සහස්‍රක සංවර්ධන අරමුණු කරා අපට පියාසැලිය හැකි වනු ඇත. සමාජය තුළ සුබවාදී වෙනසක් අපේක්ෂා කරන මාධ්‍ය භාවිතාවක් වෙනුවෙන් පෙනී සිටින අප තුළ ඇති සුබවාදී බලාපොරොත්තුව එය ම මිස, අන් කවරක්වත් නො වේ.
ජාතික සංවර්ධනයේ කොටස්කරුවන් වීමේ සහකම්පනීය මනෝභාවය භුක්ති විඳීමේ සාඩම්බර කොටස්කරුවන් වීමේ අපේක්ෂාව අප තුළ තවමත් පවතී. අපි ඒ සඳහා බලාපොරොත්තුසහගතව දෑස් දල්වා සිටිමු.