Thursday, April 3, 2025
Home » වෙඩිවැදුණු පෙම්වතිය මගේ අත්දෙකේම අවසන් හුස්ම හෙළුවා

වෙඩිවැදුණු පෙම්වතිය මගේ අත්දෙකේම අවසන් හුස්ම හෙළුවා

වසන්ත දිසානායක

by mahesh
April 2, 2025 4:00 pm 0 comment

71 අරගලයේ මුල් පෙළ ක්‍රියාකාරිකයකු මෙන්ම ලාංකේය වමාංශික සාහිත්‍යයට න්‍යායාත්මක හා ශාස්ත්‍රීය පොත පත, ලිපි ලේඛන රැසක් දායාද කළ, අදටත් විවිධ සාමූහික ක්‍රියාකාරිත්වයන් තුළ කැපී පෙනෙන පුද්ගලයෙකු වන වසන්ත දිසානායක සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින් මෙම ලිපිය සැකසිණි.

70 දශකය වන විට තරුණ කොටස් අතර පවතින ක්‍රමය පිළිබඳ ව දැඩි කලකිරීමක් ඇති වෙලා තිබුණා. සමස්තයක් ලෙස සියලුම තරුණයන් තුළ නොවුණත්, වාමවාදී අදහස් දැරූ තරුණයන් තුළ මෙම තත්ත්වය අත්දැකිය හැකිව තිබුණා. මේ සඳහා ජාත්‍යන්තර තත්ත්වයත් බලපා තිබුණා. වියට්නාම් යුද්ධය, කියුබානු යුද්ධයේ බලපෑම, ආසියා අප්‍රිකා රටවල පවතින ක්‍රමවලට විරුද්ධව ඇති වෙලා තිබූ වාතාවරණය තරුණ කොටස්වලට බලපෑවා. මේ යුගය ලෝකයේ සමාජවාදී ව්‍යාපාරය බලපෑම් සහිත ව තිබුණු කාලයක්. ලංකාව තුළ උගත් තරුණ පරපුරට දැන් වගේ ම රැකියා ප්‍රශ්න බලපාමින් තිබූ කාලයක්. තරුණ පරපුරට අත්දකින්න තිබුණු අසාධාරණකම්, නමට පමණක් නිදහස ලැබීම වගේ හේතු ගණනාවක් මේ නැඟී සිටීමට පදනම් වුණා. විප්ලවවාදී තරුණ ව්‍යාපාර ගණනාවක් ම මේ යුගයේ ඇති වුණා. ගාමිණී යාපා සහෝදරයා මුල් වෙලා ඇති කරගත් ‘පෙරදිග සුළං’ සංවිධානය, ගිනිපුපුර සංවිධානය, මහජන යුද්ධයක් මඟින් බලය අල්ලා ගත යුතුයි කියන අදහස ඇති ව සංවිධානය වුණා. විවිධ විශ්වවිද්‍යාලවල තරුණ කණ්ඩායම් බිහි වෙමින් තිබුණා. නමුත් වැඩිම තරුණ ප්‍රජාවක් නතුකර ගැනීමේ හැකියාව තිබුණෙ ජනතා විමුක්ති පෙරමුණට යි. ජනතාවගේ ආකර්ෂණය දිනාගත් නායකත්වයක් තිබුණෙ රෝජණ විජේවීරට යි. අධිරාජ්‍ය විරෝධය, දේශප්‍රේමය වගේ අදහස් සමඟ ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන ව්‍යාපාරයක් වශයෙන් බිහිවීමට පදනම දැමුවා. ”

විප්ලවීය දේශපාලන ව්‍යාපාරයක් කියන්නේ අහඹුවක් නොවන අතර එය පවතින සමාජ-අර්ථ ක්‍රමයේ දිගුවක් ලෙස උපත ලබයි. ඒ සඳහා පවත්නා ආණ්ඩුව සහ දේශපාලන ව්‍යූහය ඉතා ඉහළින් බලපෑම් කරයි.

” මේ අරගලයේ ජාතිවාදී ලක්ෂණත් දකින්න ලැබුණා. ඉක්මනින් බලය අත් පත් කරගැනීමේ වුවමනාවක් පවා පැවතුණා. ඒ නිසා ම කැරලි ගහලා බලය ඇල්ලීමේ අවශ්‍යතාව තිබුණා. ඒ අතරම ලංකා සම සමාජ පක්ෂය සහ ලංකා කොමියුනිස්ට් පක්ෂය යන එවක ක්‍රියාත්මකවෙමින් තිබූ වාමාංශික දේශපාලන පක්ෂ විසින් ‘ලාංකික විප්ලවය’ පාවාදෙනු ලැබ ඇතැයි චෝදනා ඇති වෙමින් තිබුණා. උදාහරණයක් විදිහට ‘ඇත්ත’ පත්තරේ ‘ වමත් ඩීල් දාගන්න CIA කෙමනක් ‘ විදිහට අපේ තොරතුරු හෙළිදරව් වෙලා තිබුණා. අපේ ම අය විසින් අපි ව හෙළිදරව් කරන්න පටන් ගත්තා. මර්දනය වර්ධනය වෙමින් පැවතුණා. අපේ අදහස වුණේ මර්දනය දරුණුම තැනට පත් වන විට විප්ලවය සිදු විය යුතු බවයි. උදාහරණයක් විදිහට, රෝහණ විජේවීර 1971 පෙබරවාරි 26 හයිඩ් පාර්ක් පිටියෙ රැස්වීමේ දී ප්‍රකාශ කරනවා, ” කවදද ඔහෙලා මහා පරිමාණයෙන් අපට විරුද්ධ ව අවි ඔසවන්නේ, කවදද ඔහෙලා මහා පරිමාණයෙන් ජනතා විමුක්ති පෙරමුණ මර්දනය කරන්න තීන්දු කරන්නෙ. අන්න එදාට විප්ලවය සිදු වේවි”. එනිසා ඒ වෙන විටත් අපි සැලසුම් සහිත ව ක්‍රියාත්මක වෙමින් හිටියා.”

අප්‍රෙල් 05 වෙනිදා රාත්‍රියේ ප්‍රහාරය පිළිබඳ ව වසන්ත දිසානායක තම මතකය දිගහරින්නේ මෙලෙසිනි.

“1971 අප්‍රේල් 05 වන දින ඇති වූ තත්ත්වය වන විට කෑගල්ලේ උප දිස්ත්‍රික් ලේකම් වුණේ මම. ‘ සරත් විජේසිංහ’ සහෝදරයා ලේකම් විදිහට කටයුතු කරා. රාත්‍රී 11.30ට පහරදීම පටන් ගත යුතු බව අපිට දැනුම් දීලා තිබුණා. කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලු ම පොලිසිවලට පහර දෙන්න සූදානමින් අපි හිටියේ. පහරදීමෙන් අනතුරුව අපට වරකාපොළ පොලිසිය අල්ලා ගැනීමට හැකි වුණා. හැම පොලිස් ස්ථානයකටම කණ්ඩායම් ගියා. නමුත් ‘කෑගල්ල පොලිසිය’ ට යන්න බැරි වුණා. අතරමඟ දි පොලිස් කණ්ඩායමක් එක්ක අපිට ගැටෙන්න සිදු වුණා. මාර්තු 05 බෝම්බ පිපිරීමක් සහ පස් දෙනෙක් මිය යාම නිසා කෑගල්ලට කල් ඇති ව ඇදිරිනීතිය පනවලා තිබුණෙ. අනෙක් කණ්ඩායම් කෑගල්ල පොලිසිය වට කරලා හිටියත් , ප්‍රධාන කණ්ඩායමට ‍යෑමට නොහැකි වීම නිසා කෑගල්ල පොලිසියට පහර දෙන්න බැරි වුණා. එය අසාර්ථක වුණා”

අප්‍රේල් 05වන දින පහරදීම අසාර්ථක වීමත් සමඟ පසුදින එනම් අප්‍රියෙල් 06 වෙනිදා පාන්දර පටන් දිවයින පුරාම දක්නට ලැබුණේ යුදමය පරිසරයකි. ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කිරීමත් සමඟ මහාමාර්ග ජනශුන්‍ය වූ අතර, මහමග දක්නට ලැබුනේ පොලිස් සහ යුද හමුදා සන්නද්ධ රථ පමණි. සිවිල් පාලනය බලයේ තිබුණත් රට පුරා පැවතුනේ සන්නද්ධ හමුදාවන් විසින් රාජ්‍යයක බලය අල්ලා ගන්නා ලද තත්ත්වයකට සමාන බිහිසුණු තත්ත්වයකි.

“පහර දීමෙන් අනතුරු ව අපිට ආරක්ෂාවට තිබුණෙ ගම්මාන. අපි අටුගොඩට පසු බැස්සා. ප්‍රධාන වශයෙන් බලපත්තාව (ගලිගමුව හන්දියේ සිට හැතැම්මක් ඇතුළට) ගමේ තමයි අපි සංවිධානය වුණේ. අප්‍රේල් 27, 28, 29 වගේ වෙනකම්ම අපි කඳවුරු ගහගන හිටියේ ඒ ගමේ. ඒ වන විට හෙළිකොප්ටර්වලින් හමුදාවෙන් ඇවිත් බෝම්බ දානවා, වෙඩිතියනවා. නමුත් එක්කනෙක් දෙන්නෙක් මැරෙනවා ඇරෙන්න අපිට විශාල හානියක් සිදු වුණේ නෑ. පසුව සනත් සහෝදරයාගේ පණිවිඩ අනුව අපි විල්පත්තුවට පහු බහින්න පටන් ගත්තා. අපි පසු බැසීම තුළ කිසිදු ලොකු සැලසුමක් තිබුණෙ. නෑ. මරණයට පවා අපි සූදානමින් තමයි හිටියේ. සහෝදරයො, සහෝදරියො ගණනාවක් ම අපි ඉදිරියේ වෙඩි කාලා මැරුණා. මගේ පෙම්වතියගේ අවසන් හුස්ම ගියේ නාරම්මල ප්‍රදේශයේ පසු බහිද්දි මගේ අත් දෙකේමයි. පසුව, ජූනි 8 ගල්ගමුවෙ දි මම අත් අඩංගුවට පත් වෙනවා. අත් අඩංගුවට පත් වුණාට පසසේ මට සිද්ධ වුණා පන්ති පහ කරන්න. පොලිසියේ සියලුම නිලධාරීන්ට මේ පන්ති පහ මම කළා. ඒ නිසා ම අපේ අයට තිබුණ බලපෑම පවා අඩු වුණා. 1971 ජූනිවල සිරගත වුණු මම 1972 දෙසැම්බර්වල හිරෙන් පනිනවා. එතැන අපි හත් දෙනෙක් හිටියා. ඒත් හමුදා වෙඩි පහරින් දෙන්නෙක් මැරෙනවා. දෙන්නෙක් අහුවෙනවා. අපි තුන් දෙනයි එළියට එන්නේ. 1974 සැප්තැම්බර් වගේ වෙනකම් ම විවිධ තැන්වල ඉදගෙන ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැඟීම සඳහා ක්‍රියාත්මක වෙනවා. පසුව රෝහණ විජේවීරට නිදහස හිමි වන තෙක් ම නැවත සිරගත කරනවා. මේ සියල්ල මට අමතක නොවන අත්දැකීම්.”

“මේ කිසිවක් අහඹු නෙමෙයි. සියල්ල අපි කළේ සැලසුම් සහගතව යි. මරණය පවා අපි අපේක්ෂාවෙන් හිටිය දෙයක් . මම හිරෙන් පැනලා ඇවිත් හැංගිලා ඉද්දි මාව නැවත අල්ලන්න යන්න මිනිස්සු මාව පැන්නුවේ මුලින්ම හොරෙක් කියලා හිතලා. නමුත් මම චේ ගුවේරා කාරයෙක් කියලා පස්සේ මිනිස්සු දැනගත්තා. අපිට ජනතා සහය සෑහෙන්න ලැබුණා. රඹුක්කන පරපේ, බලපත්තාව, බුලත්කොහුපිටිය, මොරොන්තොට, පින්දෙනිය වගේ ප්‍රදේශවල ගම්මාන පිටින් අපට සහයෝගය දුන්නා.”

කෙසේ වෙතත් සැලකිය යුතු තරුණ පිරිසකගේ වුවමනාව මිසක් රටේ පොදු ජනතාවගේ අරමුණක් මෙම අරගලයේදී ඉටු නොවූ බව දිසානායකගේ අදහසයි.

“අපි අපේක්ෂා කරපු දේ ඉෂ්ට වුණේ නැහැ. අපි කොපමණ වුවමනාවෙන් වැඩ කළත් එය තරුණ උවමනාව පමණයි. රටේ පොදු ජනතාවගේ උවමනාවක් ඒ වෙද්දි ඇතිවෙලා තිබුණෙ නෑ. සමඟි පෙරමුණ රජය පත් වෙලා ලොකු කාලයක් ගෙවිලා තිබ්බෙත් නෑ. දේශපාලනමය වශයෙන් ඒ වනවිට තිබුණේ පවතින ආණ්ඩුව කෙරෙහි දැඩි මහජන විශ්වාසය සහිත පාලනයක්. 1970 මැයි මාසයේ තුනෙන් දෙකක ඡන්දයෙන් බලයට පත් ආණ්ඩුවක්. එම ආණ්ඩුවට අවුරුද්දක්වත් ගතවෙලා තිබුණේ නැහැ. පැරණි වාමාංශික දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති සිටියේ ආණ්ඩුව පැත්තේ. අපි නැඟී හිටියේ එවැනි අවස්ථාවක.. කම්කරුවන් පඩි රහිත ව ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයට නතු වුණා. අපට විරුද්ධව ආණ්ඩුව ආරක්ෂා කරන්න ආයුධ පවා අතට ගත්තා. තරුණ අවශ්‍යතාවන්ට අනුව අපි ක්‍රියාත්මක වුණේ. දේශපාලනික වශයෙන් බැලුවොත් අපි ඒ අවස්ථාවේ නොකළ යුතු දෙයක් කියලා දැන් හිතන්න පුළුවන්. නමුත් පීඩිතයින් ට ප්‍රශ්න විසදෙන්නෙ නැත්නම් කැරල්ලකින් හරි එය දිනාගත යුතු යි ”


සංවාදය : සඳුනි දිසානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT