ඉතිහාසයේ සිදුවීම් සිදුවන්නේ කොක් හඬලා සිනා සීමටවත්, කඳුළු සළා හැඬීමටවත් නොවේ. අවුරුදු 54 කට පෙර අප රටේ ඉතිහාසය ලෙයින් හා කඳුළින් සටහන් කළ සලකුණකි. 1971 අප්‍රේල් 5 වෙනි දින අලුයම වැල්ලවාය පොලීසියට ප්‍රහාරයක් එල්ල විය. රටේ පාර්ශ්ව දෙකක් මේ පිළිබඳව වේලාසනම දැන සිටිය හ. එක් පිරිසක් වූයේ 1965 කැලැත්තෑවේ මුල් දේශපාලන සාකච්ඡාවකට එකතු වී ආරම්භ කළ කුඩා දේශපාලන කණ්ඩායමකින් ඇරඹී පසුව සිංහල කතා කරන තරුණ ජනයා අතර වේගයෙන් පැතිරෙමින් තිබූ ජනතා විමුක්ති පෙරමුණ යි. අනෙක් පාර්ශ්වය වූයේ 1970 පැවති මැතිවරණයෙන් 2/3 ක බලයක් ලබා සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සමසමාජ කොමියුනිස්ට් පක්ෂවලින් සැදුම්ලත් සමගි පෙරමුණු ආණ්ඩුව යි.
එතැන් පටන් මාස කීපයක් තුළ මෙවැනි පහරදීම්, රටේ ආර්ථික හා දේශපාලන මර්මස්ථාන ග්‍රහණයට ගැනීමට කළ උත්සාහයන්, ප්‍රදේශ අත්පත් කරගැනීම්, පලායෑම්, වනගතවීම, නැවත සැඟව පහරදීම් ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදුකරද්දී, අනෙක් පසින් ආණ්ඩුව විසින් අත් අඩංගුවට ගැනීම්, සිරගත කිරීම්, පුනරුත්ථාපන කිරීම්, ඝාතනය කිරීම්, නඩු පැවරීම්, කොමිෂන් සභා පත්කිරීම්, සිදුකරන්නට විය.
එදා මෙන්ම අදත් ඒ ගැන මතකයන් අවධි කරන පිරිස් විසින් එය තරුණ නැඟිටීමක් ලෙස අර්ථ දක්වන අතර තවත් පිරිසක් එය හඳුන්වන්නෙ බලයට පත් කුළුඳුල්, නීත්‍යනුකූල ආණ්ඩුවකට එරෙහිව ඇතිකළ කුමන්ත්‍රණ කැරුල්ලක් බව ය. ඒ පිළිබඳ පුළුල් දේශපාලන කතිකාවක් ඇතිවුණු අතර එදවස පැවති ආණ්ඩුවට සම්බන්ධව සිටි ශක්තිමත් ප්‍රධාන පැරණ වාමාංශික පක්ෂ දෙක විසින් එය හඳුන්වනු ලැබුයේ ‘සුලු ධනේශ්වර තරුණයන්ගේ ළදරු වලිප්පුවක්’ ලෙස ය. තවත් විටකෙ ඒය ‘තරුණයන් බිලිගන්නා සී.අයි. ඒ කෙමනක්’ බවත් පැවසී ය. පොදු ජනයා අතර එම තරුණයන් හඳුනාගත් නාමකරණය ‘චේගුවේරා කාරයන්’ නම් විය. කෙසේ වෙතත් මෙම නාමකරණය හරහා එදවස එම සංසිද්ධිය හඳුනාගැනීමේ දේශපාලන පැතිකඩ කීපයක්ද, අපට නිරීක්ෂණය කළ හැකි ය. අපහාස උපහාස මෙන්ම ඒ පිළිබඳව සිදුකළ දැවැන්ත සාකච්ඡාවක් සහිත සාහිත්‍යයක් අපගේ දේශපාලන ඉතිහාසයට එක්ව තිබේ. හෙට දවසේද මේ පිළිබඳව තව තවත් අර්ථකථන ඉතිහාසයට එක්වනු ඇත.
බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් පසු නිදහස් ලංකාවේ පාලන බලය වරින් වර හෙබ වූයේ සුදු පාලකයන්ගෙන්ම වරප්‍රසාද නම්බු නාම හා පෙර පැවති අර්ධ වැඩවසම් ඉඩම් හිමි ප්‍රභූ පවුල් කීපයක් විසිනි. එහෙත් ලංකාවේ නිර්ප්‍රභූ පොදු ජනයා වෙනුවෙන් හඬ අවදි කළ, ක්‍රියාකාරකම්වල නියැළෙමින් සිටි හා මැද පංති නියෝජනය කළ සංවිධාන හා පුද්ගලයන්ද සිටියහ.
ජනයාගේ දුක් පීඩාවලට සුබ සාධන සේවා සැපයීම මගින් ජනයා අතර ජනප්‍රිය වූ සූරියමල් ව්‍යපාරය මෙන්ම පසුව වැඩ කරන කම්කරු ජනයාගේ වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීමේ අරගලවලට දායකත්වය සැපයූ පසුව පක්ෂයක් බවට පත්වූ සමසමාජ ව්‍යාපාරය ඒ අතර විය. නිදහස් අධ්‍යාපනය සියලු පුරවැසියන්ට හිමිවිය යුතු දෙයක් බවට හඬ නඟමින්, ඒ සඳහා ක්‍රියාකාරී මෙහෙයක් සිදුකළ සී. ඩබ්ලිව් ඩබ්ලිව්. කන්නන්ගර සහ සිංහල ජාතිකත්වය සහ දමිළ ජාතිකත්වයන් නියෝජනය කරමින් සුදු පාලකයන්ට එරෙහි ව්‍යාපාර ද දක්නට ලැබිණි.
ලෝක පරිමාණයෙන් අධිරාජ්‍යවාදී යටත් විජිත පාලනයන්ට එරෙහිව ලෝකය පුරා පෙරට එමින් සිටි ස්වදේශක ජන සංවිධාන නිදහස ඉල්ලා කරන සටන්වලින් ලෝකය පිරී පැවතිණි. ඉන්දියන් නිදහස් සටන එහි පූර්වාදර්ශයක් විය. 1917 න් පසු වැඩකරන පංතියේ මිනිසුන්ගේන් සමන්විත නියෝජන රජයන් සඳහා විප්ලවීය සංවිධාන විසින් තම රටවල බලය අල්ලා ගැනීමට කෙරෙන සටන්ද බලය අල්ලා ගත් රජයන්ද බිහිවීම 1949 වනවිට යථාර්ථයක් විය. ආසියාවේ චීනය විසින්ද, ඊට උදාහරණ සපයා තිබුණි. කළු ජාතික සටන් ව්‍යාපාර, කාන්තා අයිතිවාසිකම්, මිනිස් අයිතිවාසිකම් නව ජීවන විලාසිතා වෙනුවෙන් විකල්ප තරුණ ව්‍යාපාර ද එක් වී තිබුණි. 1920 ගණන්වල වාමාශික ව්‍යාපාරවලට එක්වූ තරුණ පිරිසගේ විදේශීය අධ්‍යාපනය, 1960 ගණන් වල වාමාංශික ව්‍යපාර වලින් පන්නරය ලැබූ සෝවියට දේශයේ ලුමුම්බා සරසවියට ගිය 71 සන්නට අරගලයට නායකත්වය දුන් රෝහණ විජේවීර ගේත් ආගමනයට සමපාත විය.
ලෝක මට්ටමන් හා ජාතික වශයෙන් මේ කරුණු සැලකිල්ලට ගැනීමේදී ලංකාව තුළද එම ආභාෂයන් ගෙන් දැනුම, අත්දැකීම්, සමඟ කටයුතු කළ උන්නතිකාමී තරුණ පිරිස් බිහිවීම නොවැළැක්විය හැකි දෙයකි. නිදහස් අධ්‍යාපනය, එතෙක් පැවති ප්‍රභූත්වයෙන් ගැලවී ලංකාවේ ඈත ගම් දනව් පුරා පැතිරයෑම නිසා දැනුවත් ලෝකය ගවේෂණය කරන තරුණ පිරිස් 60 දශකයේ මැද භාගය වනවිට රට පුරා විසිරෙමින් සිටියහ. යහපත් වුවද අයහපත් වුද සම්ප්‍රදායන් බිඳ දැමීමේ නව පරම්පරාවල ගුණයන්ද සැලකිල්ලට ගත යුතු ය. 71 ජවිපෙ තරුණයන් පැවති රජයන්ට මෙන්ම වාමාංශික ව්‍යාපාරවලටද විකල්පව ගොඩ නැඟීම අහම්බයක් නොවන බව අවධාරණය කළ හැකි ය.
කළ්‍යා පෙරේරා