ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සමඟ 71 අරගලය ගැනත්, කාලීන දේශපාලනය ගැනත්, කළ කතා බහ ඇසුරින් මෙම ලිපිය සැකසිණි).
71 අරගලයට දායක වුණු ජවිපෙ මේ වෙද්දී මැතිවරණ දේශපාලනයෙන් රාජ්‍ය බලය අත්පත් කරගෙන සිටිනවා. ආපසු හැරී බැලුවම ඒ සංසිද්ධිය ගැන කියවා ගන්නේ කොහොමද?
දේශපාලනික වශයෙන් 71 අරගලය යනු එක්තරා හැරවුම් ලක්ෂ්‍යයක්. අපේ රටේ පීඩාවට පත් තරුණ පරපුර විසින් අලුත් ලෝකයක්, අලුත් සමාජයක්, අලුත් අනාගතයක් වෙනුවෙන් පැරණි ක්‍රමය තුළ තවදුරටත් ජීවත් වෙන්න බැහැයි කියලා, අලුත් වටිනාකම් විශ්වාස කරලා ඇති කරගත්තු දේශපාලන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් හැටියට තමා මේක සිද්ධවෙන්නෙ. ජවිපෙ එදා තමන්ගෙ කැමැත්තෙන් සන්නද්ධ අරගලය තෝරාගත්තා නොව සාමාන්‍ය විදිහට ප්‍රජාතන්ත්‍රීය ලෙස දේශපාලනය කරමින් යද්දී අපව ඇදලා දාපු තැනක්. අපි ප්‍රසිද්ධ රැස්වීම් තිබ්බා. පත්‍රිකා බෙදුවා. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස එහෙම කරගෙන යද්දී ළදරු දේශපාලන ව්‍යාපාරයක් ලෙස මෙම ව්‍යාපාරය මර්දනය කරන්නට, නිදහසේ දේශපාලනය කරගෙන යාමට තිබූ අවස්ථාව වළකන්නට, ඒ අවස්ථාව අහිමි කරන්න පාලකයින් කටයුතු කළා. එහෙම කළාම ඒ අහිමි කිරීමට එරෙහිව, තමන් මර්දනය කිරීමට එරෙහිව දක්වපු ප්‍රතිචාරය තමා මේ. ඒකට තවත් හේතුවක් තිබුණා. ලෝකය පුරාම සමාජ පරිවර්තනය වෙනුවෙන් ඒකාධිපතියන්ට එරෙහිව සන්නද්ධ අරගල දියත් වී තිබුණා. ඇතැම් ඒවා ජයග්‍රහණය කරලා තිබුණා. වියට්නාමයේ, ලාඕසයේ, කාම්බෝජයේ අරගල තිබුණා. මැලේසියාවේ, ලතින් අමෙරිකානු නිකරගුවාවේ, එල් සැල්වදෝරයේ තිබුණා. කියුබාව ජයග්‍රහණය කරලා තිබුණා. ලෝකයේ සෝවියට් සමාජවාදී කඳවුරක් තිබුණා. මෙවැනි වටපිටාවකයි 71 අරගලයට අවශ්‍ය පසුබිම සැකසෙන්නෙ. මෙයින් විශාල කම්පනයක් ඇතිවුණා. පීඩාවට පත් තරුණ පරපුර දිහා බලන්න ආණ්ඩුවට බලකෙරුණා. දේශපාලනය වෙනුවෙන් මේ සා කැපකිරීම් කරන්න පුළුවන් බව ඔවුන් ඔප්පු කළා. එනිසා මෙම සිද්ධිය ඉතිහාසයේ ගැඹුරු සංසිද්ධියක්.
අරගලය පරාජයට පත් වුණත් ලාංකේය සමාජයට යම් යම් ජයග්‍රහණයන් දිනාදෙන්නට මේ සංසිද්ධිය අවස්ථාවක් වුණු බව ඇතැමුන් කියනවා. ඒක එහෙමද?
ඔව්. 1971 වෙද්දීත් රටක් හැටියට අපි නිදහස් වෙලා තිබුණට ඒක අංගසම්පූර්ණ නිදහස්වීමක් නෙවෙයි. බ්‍රිතාන්‍ය කිරීටයට තවදුරටත් යටත්වෙලා තිබුණා. 71 අරගලයට සම්බන්ධ වූ අයට නඩු විභාගයේදී චෝදනා ගොනු කළේ මහරැජිනගේ ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණය කිරීම, එනිසාම පළමු ජනරජ ව්‍යවස්ථාව හදද්දී, ඒ අඩුපාඩුව මගහරවා ගැනීමට පාලකයින්ට පුළුවන් වුණා. ඒක අනියමින් වූ යහපතක්. ජාතික තරුණ සේවා සභාව ස්ථාපිත කිරීමට කටයුතු කළා. තරුණයින්ට ඉඩ ප්‍රස්ථා ලබාදීම, දේශපාලනයට ඒමට අවශ්‍ය යම් යම් සංස්කෘතික වටපිටාවක් සැදීමට ඉවහල්වුණා. අරගලයට සම්බන්ධ වුණේ ග්‍රාමීය ගොවි ජනතාවගෙ දරුවෝ. ඒ තරුණ අසහනයට එක් විසඳුමක් ලෙස 1975 දී සිදුවූ ඉඩම් ප්‍රතිසංස්කරණ පනත ගෙන ඒමට බලපෑවා. සාහිත්‍ය, නාට්‍ය කලාව, සිනමාව ආදී ක්ෂේත්‍රවල අලුත් දැක්මකට බලපෑවා. තරුණයින් වෙනුවෙන් යම් ප්‍රතිපත්තියක්, අවධානයක් අවශ්‍යයි කියන කතිකාව නිර්මාණය වුණා. අරගලය පරාජයට පත්වුණත් ඒ අරගලයෙන් එකතු කළ හැඟීම, ඒ දෙන ලද ධෛර්යය, රටක තරුණ පරපුරක් තමාගේ අනාගතය වෙනුවෙන් ජීවිතය වුණත්, පරදුරවට තබන්නට හැකියාවක් තියෙන බවට යම් මතවාදයක් පළවෙනි වතාවට හැදුවෙ 71 අරගලයෙන්. ඒක සමාජයට කළ බලපෑම අදත් තියෙනවා. දැන් අවුරුදු 54ක් ගෙවිලත් අපි ඒ ගැන කතා කරන්නෙ ඒකයි. ඒක ඉතිහාසයෙන් මකන්න බෑ.
එහෙත් එදා අරගලයට සම්බන්ධ වුණේ නොමග ගිය තරුණ පිරිස් බවට ඒත්තු ගන්වමින් මේ සිදුවීම්වල සමාජ තත්ත්වයන් නොසකලා කතා කරන අවස්ථාවන් අදත් දකින්නට පුළුවන්. ඒ ඇයි?
1971 පිළිබඳව නිවරදි කියවීමක් අදත් නෑ. පොදු කියමනක් තියෙනවානේ ඉතිහාසය ලියන්නෙ ජයග්‍රාහකයා කියලා. ඒක මේකටත් අදාළයි. අපිව මර්දනය කරපු ආණ්ඩු අපව මර්දනය කිරීමෙන් නොනැවතී විශාල ව්‍යාජ මතයක් නිර්මාණය කරලා, සමාජගත කරලා තියෙනවා. ඒත් දැන් ජනතාව නිවරදි දේ තේරුම් ගනිමින් ඉන්නවා. අපි කවුරුවත් සන්නද්ධ දේශපාලනය තෝරාගත්තේ අපේම කැමැත්තට නෙවෙයි. දේශපාලනය කිරීම සඳහා පවත්නා මාර්ග සියල්ල අහුරා දමා තෝරාගන්නට පවත්නා එකම මාර්ගය සන්නද්ධ ක්‍රියාමාර්ගය වුණාම ඒක තෝරාගැනීම හැර වෙනත් විකල්පයක් අපට නෑ. ඒකයි සිද්ධවුණේ. දැන් කාටවත් අපව මර්දනය කරන්න බෑ. අපි කාවවත් මර්දනය කරන්න යන්නෙත් නෑ. අපි ඉතිහාසයේ පළවෙනි වතාවට ප්‍රචණ්ඩත්වයෙන් තොර මැතිවරණ පවතින සමාජයක් හැදුවා. දේශපාලන පලිගැනීම් නැති සංස්කෘතියක් හැදුවා. ඒ නිසා ඉතිහාසයේ වැරදි නිවරදි කර ගනිමින් මේ රට ගොඩනැඟීමේ එකම අභිප්‍රාය හා කැපවීම ඇති දේශපාලන ව්‍යාපාරයට ඒ සඳහා තවදුරටත් අවස්ථාව ලබාදේවි කියලා අපි විශ්වාස කරනවා. 71 අරගලයේදී දිවිපිදූ අයට කළ හැකි ඉහළම ගෞරවය නම් ඒ අය ප්‍රාර්ථනා කළ ලෝකය ගොඩ නඟන එකයි. ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’තුළින් අපි ඒක කරනවා. ඒ සඳහා මාලිමාව වටා එකතුවෙන්න කියලා අපි හැමෝටම ආරාධනා කරනවා.
ඒත් එදා අරගලය මර්දනය කරන්නට එවක පැවති රජයට ජවිපෙට දේශපාලන උත්තේජනයක් ලබාදුන් විදෙස් රාජ්‍යයන් පවා උදව් කළා. මේ ප්‍රතිවිරෝධය තේරුම් ගන්නෙ කොහොමද?
ඒ කාලයේ ලෝකයේ සමාජවාදී කඳවුරක් තිබුණට ඒක දෙකට බෙදිලයි තිබුණේ. සෝවියට් දේශය සමඟ අනන්‍ය වුණු කණ්ඩායම ‘සෝවියට් පිල’ වෙද්දී, චීනය සමඟ අනන්‍ය වුණු කණ්ඩායම ‘චීන පිල’ වුණා. ජවිපෙ ප්‍රභවය ලබන්නෙත් මේ චීන පිලට සම්බන්ධ පිරිසකගෙන්. ඒ නිසාම සෝවියට් සංගමයත් එක්ක තිබුණු මතභේදය නිසාම චීනයටත්, ලංකාවෙ පැවති බණ්ඩාරනායක රජය සමඟ සමීප සබඳතා පැවැත්වීමට අවශ්‍යතාවක් තිබුණා. සෝවියට් හිටපු කොමියුනිස්ට් පක්ෂය හිටියෙත් සමගි පෙරමුණු ආණ්ඩුව තුළමයි. ඒ නිසාම සෝවියට් දේශයත් ආණ්ඩුවට ආධාර කරා. මේ ආකාරයට රුසියාව, ඉන්දියාව, චීනය, යුගෝස්ලෝවියාව, අමෙරිකාව ඇතුළු රටවල් 14ක් එදා ආණ්ඩුවය සහය දුන්නා. මේක ටිකක් සංකීර්ණ තත්ත්වයක්. ජවිපෙ 1965 දී ආරම්භ කරලා වමේ ව්‍යාපාරයක් ලෙස වර්ධනය වෙද්දිම ඒකට අකුල් හෙළන්න පටන් ගත්තා. වෙනම රහස් පොලිස් කණ්ඩායමක් හැදුවා. චේගුවේරා බියුරෝවක් හැදුවා. අධ්‍යාපන කඳවුරු පටා වටලා තරුණ තරුණියන් අත්අඩංගුවට ගත්තා. ඒ මර්දනය විසින් ආත්ම ආරක්ෂාව උදෙසා යම් ක්‍රියා මාර්ග ගැනීමට බලකරන තත්ත්වයක් උදාවුණා. මේක මුලින්ම පටන් ගත්තෙ එජාප ඩඩ්ලිගෙ ආණ්ඩුවෙන්. ඒ නිසාම 1970 මහ මැතිවරණයේදී ජවිපෙ ක්‍රියාකාරීන් සහය පළ කළේ සමගි පෙරමුණු ආණඩුවටයි. සමගි පෙරමුණු ආණ්ඩුව ආවොත් අපට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස දේශපාලන කටයුතු කරගෙන යන්නට හැකිවේවි යයි යම් විශ්වාසයක් තිබුණා. නමුත් සමගි පෙරමුණු ආණ්ඩුව ආවට පස්සෙත් ඒ මර්දනය දිගටම අරගෙන ගියා. එජාපය ජවිපෙට එරෙහිව පටන් ගත්තු මර්දනය ශ්‍රීලනිපය, සමසසමාජ-කොමියුනිස්ට් ප්‍රමුඛ හවුල විසින් අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන ගියා. ඒ නිසා තමයි ආත්ම ආරක්ෂාව සඳහා යම් සටන් ක්‍රියාමාර්ග සඳහා අවතීර්ණවීමට සිදුවෙන්නෙ. ජවිපෙ ඉඩ ලැබුණු පළවෙනි මොහොතේම 1970 දිම ප්‍රචාරක ව්‍යාපාරය දියත් කරනවා. 1970 අගෝස්තු මාසයේ 10 වන දින පළවෙනි ප්‍රසිද්ධ රැස්වීම පවත්වනවා. කොළඹ හයිඩ් පාර්ක්හිදී. හැබැයි 10 වෙනිදා පළවෙනි රැස්වීම තියනකොට ඊට කලින් දවසේ 09 වෙනිදා ශ්‍රීලනිපය, සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂ යන ප්‍රධාන පක්ෂ තුනේ ලේකම්වරුන් තුන්දෙනා අලුතෙන් මතුවන මේ ව්‍යාපාරය මර්දනය කළ යුතු බවට ප්‍රකාශයක් නිකුත් කරනවා. 1970 අගෝස්තු 12දා ඒ කියන්නෙ රැස්වීම තියලා දවස් දෙකකට පස්සෙ රාජ්‍ය ආරක්ෂක දෙපාර්තමේන්තුවෙ ලේකම්වරයා ආතර් රාජ් කුමාර්රත්නවේල් ප්‍රකාශයක් කරමින් ‘ රටේ හිස ඔසවමින් තිබෙන චේ ගුවේරා ව්‍යාපාරය ආණ්ඩුවේ අංක එකේ සතුරාය. එය හඹාගොස් මුලිනුපුටා දැමිය යුතුයි’ කියනවා. ඒක බරපතළ කාරණයක්. මේ විදිහට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස දේශපාලනය කරන්නට තිබෙන අවස්ථාව අහුරාදමන විට ආත්මආරක්ෂාවට සන්නද්ධවීම හැර වෙනත් විකල්පයක් නැති තැනට අපිව තල්ලු කෙරුණා.
පක්ෂය තුළ පැවති යම් යම් ප්‍රතිවිරෝධතාවනුත් මේ සඳහා හේතුවුණු බව ඇතැමුන් කියනවා. ඒක එහෙමද?
70 අග මෙන්ම 71 වසරේ මුල් කාලයේ පක්ෂය තුළත් යම් ප්‍රතිවිරෝධයක් තිබුණා. රෝහණ විජේවීර සහෝදරයට එරෙහිව ලොකු අතුල ඇතුළු කණ්ඩායමක් යම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක හිටියා. ඒ ප්‍රතිවිරෝධයත් සන්නද්ධ අරගලයට තල්ලුකිරීම සඳහා බලපෑවා. අහඹු සිදුවීමකින් තමා 71 අරගලයට දවස වැටෙන්නෙ. 1971 මාර්තු මාසෙ 06 වෙනිදා අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපස පැවති විරෝධයකට ජී.අයි.ඩී ධර්මසේකර ඇතුළු පිරිසක් ගිහින් එතැන බෝම්බයක් පත්තු කරලා පොලිස් නිලධාරියෙක් ඝාතනය කරනවා. ඒ සිද්ධිය පදනම් කරගෙන ආණ්ඩුව විසින් හදිසි නීතිය පනවලා සියලුදෙනාම අත්අඩංගුවට ගැනීමට පටන් ගන්නවා. රෝහණ විජේවීර සහෝදරයා මාර්තු 13 වන දින අම්පාරෙදි අත්අඩංගුවට පත්වෙනවා. පක්ෂ නායකයා අත්අඩංගුවට පත්වීමත් සමඟ පැවති යම් යම් ප්‍රතිවිරෝධතාවනුත් ඉස්සරහට එනවා. මෙම අවස්ථාව බලය අත්පත් කර ගැනීමට හැකි අවස්ථාවක් කියලා ලොකු අතුලලා ඇතුළු කණ්ඩායම කල්පනා කරනවා. මේ සියලු කාරණා එක්ක තමා අප්‍රේල් 5 වන දින පහරදීමක් කළ යුතුයි කියන තීරණය එන්නෙ. තත්ත්වය මොක වුණත්, තරුණ තරුණියන් මෙතනදී සටන් කළේ යුක්ති ගරුක නව සමාජයක් ස්ථාපිත කර ගැනීමේ බලාපොරොත්තුවෙන්. ඒක පුද්ගලික අරමුණු වලින් තොරව පොදු අරමුණක් වෙනුවෙන් කරපු සටනක්. ‘දණින් වැටී මිය යාම වෙනුවට දෙපයින් නැඟී සිට මිය යාම උතුම් ” කියලා එදා හැඟීමක් තිබුණා. අඩුපාඩු කොපමණ තිබුණත්, තීන්දු ගැනීමේ ක්‍රියාවලියේ ගැටලු තිබුණත් මේ සටන තුළ ගැබ්වෙලා තියෙන්නෙ නව සමාජයක් වෙනුවෙන් අයුක්තියට අසාධාරණයට එරෙහිව සටන් කිරීම සඳහා තරුණ පරපුර සූදානම් කියන පණිවිඩය යි. ඒක මුළු සමාජයක් අවදි කළ සටනක්.
මේ වෙද්දි ඉතාම දුෂ්කර අවධි පහුකරමින් මෙම දේශපාලන ව්‍යාපාරය රාජ්‍ය බලය අත්පත් කරගෙන තිබෙනවා. දැන් තියෙන අභියෝග මොනවාද?
දේශපාලන ව්‍යාපාරයක ගමන් මග තීරණය වෙන්නේ ඒ අයගෙ කැමැත්ත මතම නෙවෙයි. මුහුණපාන්නට සිදුවන ගැටලු, අර්බුද, අභියෝග වෙනස් සමාජ තත්ත්වයන් ඒකට බලපානවා. මං මුලින් කීවා වගේ 71 අරගලය නිර්මාණය වෙන්නෙ මුළුමනින්ම අපේ කැමැත්ත මතම නෙවෙයි. අපි එතැනට තල්ලු කෙරුණා. 1976න් පසුව අප නැවත ප්‍රසිද්ධ දේශපාලනයට ඇවිත් මැතිවරණ ක්‍රියාවලිය තුළ ක්‍රියාත්මක වුණා. ඡන්දවලට සාමාකාමීව මුහුණදුන්නා. නැවත වතාවක් අපගේ පක්ෂය තහනම් කරලා, නැවත වතාවක් අපව මර්දනය කරලා, යළි ආයුධ අතට ගත යුතු තැනට පත් කළා. ඒ සියල්ලෙම බලපෑම පක්ෂයක් හැටියට අපට විතරක් නොව ආණ්ඩුවලටත් තිබුණා. ලෝක දේශපාලනය තුළ බල තුලනය වෙනස් වෙලා සමාජවාදී කඳවුර බිඳවැටිලා, ඒකීය ධාරාණාවකට යොමුවුණා. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතිකාව අලුත් හැඩයකින් ඉස්සරහට ආවා. ලෝක ජනමාධ්‍ය බලපෑම වැඩිවුණා. එවැනි අලුත් දේශපාලන වටපිටාවක් තුළ මහජන ව්‍යාපාරයකට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ රාජ්‍ය බලය අත්පත් කර ගැනීමට හැකියි කියන එක අපි අපේ මේ ජයග්‍රහණයෙන් තහවුරු කරලා තියෙනවා. අපි අලුත් තත්ත්වය වටහාගෙන, අවශ්‍ය වෙනස්කම් කරගනිමින් පක්ෂය වටා විශාල මහජන ව්‍යාපාරයක් ගොඩනැඟුවා. දැන් අප ඉදිරියේ පවත්නා අභියෝගය කුමක්ද? අපි මැතිවරණයකින් ජයග්‍රහණය කළාට පවතින්නේ පැරණි සමාජයේ ආයතන පද්ධතිය හා නිලධාරි තන්ත්‍රය මයි. සමාජය පරණයි. පැරණි සමාජයේ හුරු පුරුදු තාම තියෙනවා. ඒවා ක්‍රමානුකූලව සාධනීය ලෙස වෙනස් කරමින් යද්දී පරාජයට පත්වූ පක්ෂ බලවේග බාධා කරනවා. ජනතාවගේ පුද්ගලිකත්වය බාධා කරනවා. මිිනිසුන් වෙනස් වෙන්නේ ඉතා හෙමින්. අනෙක් අතට ආර්ථික වශයෙන් බංකොළොත් වෙච්චි, බිංදුවට වැටුණු රටක් ගොඩගනිමින්, ජරාජීර්ණ මජර දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින්, ජනතාව තුළ අලුත් දැක්මක් නිර්මාණය කරමින්, අපේ රටේ අධ්‍යාපනය, ගමනාගමනය, සෞඛ්‍ය ආදී අත්‍යවශ්‍ය අංශ නවීකරණය කරමින් යන්න වෙන්නෙ බාධා මැද්දෙ. එහිදී මූල්‍ය තත්ත්වය බාධා කරනවා. පැරණි පුරුදු බාධා කරනවා. පැරණි බලවේග බාධා කරනවා. විපක්ෂය බාධා කරනවා. බාධා මැද්දේ වුණත් ජනතාවගේ විශ්වාසය තිබෙන නිසා අලුත්මාවතක රට ජයග්‍රහණය කරා ගෙනියන්න අපට පුළුවන්. ඒකෙදි තවදුරටත් මහන්සිවෙන්න, කැපකිරීම් කරන්න පුළුවන්. පොදු අරමුණක් වෙනුවෙන් කැපවෙන්න පුළුවන්. එදා 71දි දිවි පුදපු, කැප කිරීම් කරපු සහෝදරත්වයේ ධෛර්ය අදත් අපට ලොකු හයියක්. ඔවුන් අපට ආශිර්වාදයක්. අද දවසේ අපගේ පරිත්‍යාගයන්ට මග පෙන්වන පහන් තරුවක් වෙන්නේ මේ සහෝදරත්වයයි.
මේ වෙද්දි තවත් මැතිවරණයකට දින නියම වෙලා තියෙනවා. එහි ප්‍රතිඵල කොහොම වෙයිද?
අලුත් රටක්, අලුත් සමාජයක් නිර්මාණය කරමින් යද්දී ඒකට ලොකුම බාධාව කරන්නේ පරාජයට පත්වූ බලවේග හා දූෂිත කණ්ඩායම්. මේ රට වෙනස් කරන්න නම් රටක ව්‍යවස්ථාදායක, විධායක බලය බිම් මට්ටම දක්වාම තිබිය යුතුයි. අපට ජනාධිපතිවරයා සිටිනවා. පාර්ලිමේන්තුවෙ ආසන 159ක් තියෙනවා. නමුත් පාර්ලිමේන්තුව විසින් ගනු ලබන තීන්දු තීරණ, සංවර්ධන කටයුතු සඳහා වෙන් කරන මුදල් මහ පොළොවේ සංවර්ධන ක්‍රියාවලිය පණ ගන්වන්න නම් බිම් මට්ටමේ බලය අත්‍යවශ්‍යයි. බිම් මට්ටමේ ජනයාගේ සහභාගිත්වය අත්‍යවශ්‍යයි. පළාත් පාලන බලයත්, මාලිමාවට ලැබුණොත් විතරයි අපේ බලය අංග සම්පූර්ණ වෙන්නෙ. උඩින් වෙන් කරන මුදල්, බිම් මට්ටමට ඇවිත් බිමේ සංවර්ධන ව්‍යාපෘති ලෙස ක්‍රියාවට නඟන්නට නම් අන්වාර්යයෙන්ම පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතු විය යුතුයි. නැතිනම් ආණ්ඩුව වෙන පැත්තකටයි, පළාත් පාලන ආයතන ටික වෙන පැත්තකටයි අදින්න ගත්තොත් රටේ පොදු ජනතාව තමා එයින් පීඩාවට පත්වෙන්නෙ. අපි විසින් කරන වෙනස්කම් ටික බිම් මට්ටමේ පැළකිරීමට නොහැකිනම් මේ ජයග්‍රහණය වැඩක් නෑ. විපක්ෂය අතිශය දුර්වලයි. ඒ අය එකතුවෙන්න හැදුවට පොදු අරමුණක් නැති නිසා එකතු වෙන්න බෑ. ජනතාව විසින් තමන්ව පරාජය කරනු ලැබුවේ ඇයි කියන කාරණය වත් තේරුම් අරන් නෑ. අපි අපේ රටේ තිබුණු අශිෂ්ඨ දේශපාලන සංස්කෘතිය පරාජයට පත්කරලා, ශිෂ්ඨත්වය ගෙනාවා. අනුර කුමාර සහෝදරයත් පැහැදිලිවම පාර්ලිමේන්තුවේදී කීවෙ අපිව පරාජයට පත් කරනවා නම් අපට වඩා ශිෂ්ටසම්පන්න බලවේගයක් හැදිය යුතුයි කියලා. එහෙත් ඒ අය හිටියටත් වඩා අශිෂ්ඨ වෙමින් ඉන්නවා. ඒ නිසා අපට මේ පළාත් පාලන මැතිවරණය ඉහළින්ම ජයග්‍රහණය කරන්න ලැබෙනවා. අපි වංචා දූෂණ නැවැත්තුවා. වරදාන-වරප්‍රසාද ගන්න එක නැවැත්තුවා. අල්ලස හා දූෂණය නැවැත්තුවා. ජාත්‍යන්තර ලෝකය ඉදිරියේ දූෂණයෙන් තොර පාලනයක් හැටියට අපට ගෞරවයක් ලැබිලා තියෙනවා. ජනතාවට සහන දීලා තියෙනවා. මේ ජයහ්‍රගණය අත්‍යවශ්‍ය වෙන්නෙ අපට විතරක් නෙවෙයි, රටටමයි.
ප්‍රියාන් ආර් විජේබණ්ඩාර