ආචාර්ය ලයනල් බෝපගේ යනු 71 අරගල සමයේ ජවිපෙ හිටපු ප්‍රධාන ලේකම්වරයා යි. වසර 54ට පසු තමන් නායකත්වය දුන්නු අරගලය පිළිබඳ හෙතෙම මතකය ආවර්ජනය කරමින් කළ කතා බහ ඇසුරින් මෙම ලිපිය සැකසිණි.
එදා අරගලය පැවතුණේ මොන වගේ බලපෑමක් හා පසුබිමක් සමඟ ද කියන එක මුලින්ම කතා කළ යුතුයි. ඒ කාලයේ පැවතුණු ජාත්‍යන්තර සහ දේශීය වාතාවරණය එයට බලපෑ බව සිහිපත් කළ යුතුයි. කිසිවක් ඕපපාතිකව හට නොගනියි. එකී සන්දර්භය පිළිබඳ අවධානය යොමු නොකොට 71 අරගලය පිළිබඳ කතා කළ නොහැකියි.
70 දශකය වන විට දකුණු අමෙරිකාවේ, අප්‍රිකාවේ, ආසියාවේ, යුරෝපය ආදී මහද්වීපික කලාපවල රටවල් 51ක පමණ අමෙරිකානු ගැති අඥ්‍රාදායක ආණ්ඩු පිහිටුවලා තිබුණා. ඒ අමෙරිකානු CIA මැදිහත්වීමෙන් . මම කුඩා කාලයේ දී, 1961 දී වගේ කොංගෝවේ පළමු අගමැති වුණ පැට්රිස් හෙමරි ලුමුම්බා අමානුෂික විදිහට ඝාතනය කෙරුණා. ඔහුගේ නමින් සොවියට් දේශයේ නම්කරනු ලැබූ ලුමුම්බා සරසවියේ තමා විජේවීර සහෝදරයා ඉගෙන ගනිමින් සිටියෙ. 71 අරගලයට ආසන්නම වශයෙන් සිදුවුණු සිදුවීම වූයේ ඇමෙරිකානු මැදිහත්වීමෙන් ඉන්දුනීසියාවේ සමාජ ක්‍රියාකාරිකයින් දස ලක්ෂයක් පමණ සමූලඝාතනය කිරීමයි. අනෙක් පසින් වියට්නාම යුද්ධය පැවතුණා. ලෝකය පුරා මිනිසුන් කෝටි ගණනක් පෙළ ගැසී වියට්නාම් යුද්ධයට එරෙහිව විරෝධය පළකරමින්, ක්‍රියාත්මක වෙමින් සිටියා.
මෙවැනි ජාත්‍යන්තර පසුබිමක ලංකාවේ පැවතියේ එජාප ආණ්ඩුවක්. එවක මුදල් ඇමති ජේ.ආර්. ජයවර්ධන ප්‍රසිද්ධියට පත්ව සිටියේ ඇමරිකන් යැංකි ඩිකී කියලා. ඔහු නියෝජනය කළේ ඇමරිකන් ගැති බවයි. වසර විස්සකට මැතිවරණ සිතියම හකුළා දැමිය යුතු වග ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණා. ‘ජාතිය, ආගමයි, සමාජය බේරාගැනීමට ‘ධර්මිෂ්ට සමාජයක්’ ගොඩනැඟිය යුතුයි කියන සංකල්පය සමඟ ඒකාධිපති ආණ්ඩුවකට ඔහු බලය ඉල්ලා සිටියා. අනෙක් අතට 60 – 70 දශකය වන විට තරුණ පරම්පරාවේ විශාල දේශපාලනික දැනුවත් භාවයක් තිබුණා. ගමේ බෝක්කුව උඩ වාඩි වෙලා හිටිය මිනිසුන් පවා කතා කළේ දේශපාලනය පිළිබඳවයි. සමාජ අසාධාරණකම්වලට විරුද්ධව කටයුතු කළ යුතුයි කියන හැඟීම ඔවුන්ට තිබුණා.
මෙවැනි ජාත්‍යන්තර හා දේශීය සමාජ පසුබිමක ලංකාවේ විවිධ වාමවාදී ව්‍යාපාර ගණනාවක් ම නිර්මාණය වෙලා තිබුණා. කල්‍යාණන්දගේ ‘ගිනි පුපුර’, ගාමිණි යාපාගේ ‘පෙරදිග සුළඟ’, චීන පිළ වගේ කණ්ඩායම් ගණනාවක් ඒ අතර තිබුණා. අපි මුලින්ම හිටියේ චීන පිලේ. ඒ වන විට මාවෝ සේතුං වැනි අය පිළිබඳ ව විශාල පැහැදීමකින් සහ කැපවීමකින් සිටි අප ස්වාධීන කණ්ඩායමක් ලෙස එයින් වෙන්වෙනවා. ‘ලංකා ලයින්’ නමින් වෙනම දේශීය මාදිලියක් අනුගමනය කිරීමට අපි පෙළඹෙනවා. වෙනත් රටක වෙන මාදිලියක් අපට නොගැලපෙන බවත්, එවැනි දේ අපට අනුගමනය කළ නොහැකි බවත්, රෝහණ සහෝදරයාගේ අදහස වුණා. අපට වඩා සමීප වූ කියුබානු විප්ලව මාදිලය ලෙස හෝ නොවිය යුතු බව අපගේ අදහස වුණා.
1970 මැතිවරණයේ දී එජාප ආණ්ඩුවේ පැවති අමෙරිකානු ගැතිභාවයට එරෙහිව සමඟි පෙරමුණට සහයෝගය දෙන්න තීරණය වුණේ ඒකයි. ඒ අනුව අපි සමගි පෙරමුණට සහයෝගය ලබා දුන්නා. මහින්ද විජේසේකර වැනි සහෝදරවරු සමගි පෙරමුණේ ප්‍රසිද්ධ වේදිකාවලට පවා නැංගා. 1970 සමඟි පෙරමුණ ආණ්ඩුව ජයග්‍රහණය කරද්දිත් රොහණ සහෝදරයා සිටියේ සිරගතවයි. අපි ඔවුන්ට සහය දුන්නේ සභාග ආණ්ඩුවක් විදිහට තිබූ ප්‍රගතිශීලී වැඩ පිළිවෙල නිසයි. නමුත්, බලය ලබා ගැනීමෙන් පසුව සිදු කළ පළමු රාජාසන කතාවේ දි ම ‘ අපි දුන්න මැතිවරණ පොරොන්දු අපට ක්‍රියාත්මක කරන්න බැහැ’ ලෙස ඔවුන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. එම අවස්ථාවේදීම අපට එකී ආණ්ඩුව සමඟ සහයෝගයෙන් කටයුතු කළ නොහැකි බව තීරණය කළා.
ඒ වන විට එකී ආණ්ඩුව නියෝජනය කළ කොමියුනිස්ට් පක්ෂය සහ සම සමාජ පක්ෂය විසින් අපව CIA නියෝජිතයන් විදිහට හඳුන්වමින් අපට එරෙහිව බොරු මවමින් විරුද්ධවාදී ප්‍රචාරයක් ගෙන ගියා. එකී විවේචන සමඟ අපත් ප්‍රසිද්ධියේ කතා කරන්න ගන්නවා. ඒ අනුව විද්‍යෝදය විද්‍යාලයේ ‘ඇත්ත CIA ඒජන්තවරු කවුද?’ ලෙස දේශනයක් ඉදිරිපත් කළා. සභාග ආණ්ඩුව බලයට ආ පසුව ඔවුන් අපිට විරුද්ධව ‘චේ ගුවේරා කල්ලිය මැඩ පැවැත්වීම’ සඳහා බියුරෝවක් හැදුවා.
1970 අගෝස්තුවල හයිඩ් පාර්ක්වල අපේ ප්‍රධාන රැස්වීම තිබුණා. මේ දිනයේ දී ම ඔවුන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් මෙසේ කියා සිටියා. ‘ජ.වි.පෙ ලංකා රජයේ, ජනතාවගේ ප්‍රධාන හතුරා, එය සමූල ඝාතනය කළ යුතුයි’. ඒ ආසන්නයේම ආරක්ෂක අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්වරයාත් ඒහා සමානම ප්‍රකාශයක් කළා. ‘ ජ.වි.පෙ විනාශ කළ යුතුයි’ කියන අදහස එහි ගැබ් වෙලා තිබුණා. ඒ අනුව අපට එරෙහිව දැවැන්ත විරෝධයක් ක්‍රියාත්මක වුණා. අපට ඒ ගැන සාකච්ඡාවක් වත් කරන්න ඉඩ දුන්නෙ නෑ. සංවිධානය වී සාකච්ඡා කරන සෑම අවස්ථාවකම අත්අඩංගුවට ගැනීම් සිදුවුණා. පෝස්ටර් ඉරා දැමීම් සිදුවුණා. අත්අඩංගුවට පත් සහෝදරවරුන්ට වධ හිංසා පමුණුවා තිබුණා. පැහැදිලිවම දැවැන්ත මර්දනයක් දියත් වී තිබුණා. ඒ දිනවල අපි ‘ ජනතා විමුක්තිය’ නමින් පුවත්පතක් කළා. නමුත් එම පුවත්පත විකුණන අයව පවා අත් අඩංගුවට ගත්තා. වධහිංසා පැමිණුවා. රැස්වීම් පවත්වන්න ඉඩම් ලබා දුන්න අයට පවා හිරිහැර කළා. අපිට සහය දුන් හැම තැනකටම බලපෑම් කළා. මේ ආකාරයට දැවැන්ත මර්දනයක් අඛණ්ඩව සිදුවුණා.
ඒ වන විට තරුණ සංවිධානයක් වූ අප මේ මර්දනයට එරෙහිව ක්‍රියාත්මක වීමට නම් සන්නද්ධවීම හැර වෙනත් විකල්පයක් නැති බව පිළිගන්නට සිදුවුණා. දේශීය මර්දනීය තත්ත්වයන් මෙන්ම එවැන මර්දනයන්ට එරෙහිවූ ජාත්‍යන්තර අත්දැකීම් විසින් අපට ඒ සඳහා බලකෙරුණා. ‘1971 වන විට පැරිස් කොමියුනයට අවුරුදු සීයක් වෙනවා. ඒ වෙනුවෙන් ලංකාවේ කිසියම් දෙයක් කළ යුතුයි’ කියලා රෝහණ සහෝදරයත් කියා තිබුණා. හයිඩ් පාර්ක් තිබූ ප්‍රසිද්ධ රැස්වීමේදීත් මේ අදහස මතු කළා. ඒ කාරණයත් මේ සන්නද්ධ ක්‍රියාවලියට හේතුවුණා කියලා කියන්න පුළුවන්. මේ විදිහට ආණ්ඩුව විසින් , ජාත්‍යන්තර තත්ත්වය විසින් සහ අපේ මතවාදී තත්ත්වය විසින් අපව අරගලයකට තල්ලු කර තිබුණා.
ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඉදිරියට යාමට අපට අවස්ථාවක් තිබුණ ද? නැහැ. නීත්‍යානුකූල පියවරක් ගැනීමට හෝ සහයෝගයක් තිබුණෙ නෑ. ධර්මසේකර කණ්ඩායම සිංහරාජයට ගිහින් ආයුධ සන්නද්ධ අරගලය ඇති කිරීම තුළින් ජනතාව පිබිදවිය හැකියි යන අදහස පළ කර තිබුණා. කියුබාවේ සිදු වුණු ආකාරය ම එයට උපයෝගී කර ගන්න ඔවුන් කල්පනා කර තිබුණා. නමුත් ඒ අවස්ථාවේදීත් රෝහණ සහෝදරයා සහ ජවිපෙ මේක ප්‍රතික්ෂේප කළා. නමුත් 71 වන විට ඒ කණ්ඩායමට සම්බන්ධ ව හිටිය ‘මාවෝවාදී තරුණ පෙරමුණ’ ට එක පැත්තකින් ආණ්ඩුව සමඟ සම්බන්ධයක් තිබුණා. එනම්, සභාගයේ සමඟ එවක වෙෙළඳ ඇමති ටී.බී ඉලංගරත්න මැතිතුමා සමඟ සමීප සම්බන්ධතා තිබුණා. අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට ‘ජවිපෙට සහය දෙන්නෙපා’ කියන උද්ඝෝෂණයක් අතරතුර එකී කණ්ඩායම විසින් පොලිස් සාජන් කෙනෙකුට පිහියකින් ඇන ඝාතනය කළා.
මෙය ජවිපෙ විසින් සිදු කළ බවට චෝදනා කරමින් එහි වරද අප මත පටවා රටේ හදිසි නීතිය පනවා ඒ අවස්ථාවත් අපව මර්දනය කරන්නට පාවිච්චි කළා. මේ අවස්ථාවේ ගත හැකි නිතිමය පියවර සඳහා අපි සාකච්ඡා කළත්, අපිට කළ හැකි දෙයක් තිබුණෙ නෑ. මෙය නීත්‍යානුකූලව විසඳිය හැකි ප්‍රශ්නයක් නොව දේශපාලන ප්‍රශ්නයක් බව අපට පැහැදිලි වුණා. රෝහණ සහෝදරයා ශ්‍රීලනිප නායකත්වය සමඟ සාකච්ඡා අවස්ථාවක් ලබා ගැනීමට සුනේත්‍රා බණ්ඩාරනායක ලවා පණිවිඩයක් පවා යැව්වා. ඒත් අපට අවස්ථාවක් ලැබුණෙ නෑ.
මේ සියල්ල මත තමයි 71 අප්‍රේල් 5 වැනිදා රටේ ඉතිහාසයට එකතු වෙන්නෙ.
සඳුනි දිසානායක