Thursday, April 3, 2025
Home » ඒ කැපවීම සතුරන් පවා පුදුමයට පත් කළා

ඒ කැපවීම සතුරන් පවා පුදුමයට පත් කළා

යූ.ඒ නන්දශීලි

by mahesh
April 2, 2025 4:00 pm 0 comment

71 අරගලයේ ක්‍රියාකාරී සාමාජිකාවකව සිට, සිරදඬුවම් ඇතුළු අනේකවිධ වධ බන්ධනයන්ට ලක්වුණු යූ.ඒ නන්දශීලි අදටත්, ජවයෙන් හා නව අධිෂ්ඨානයෙන් යුතුව සක්‍රීය දේශපාලනයේ නියැළෙන්නියකි. මේ ඇය හා කළ කතා බහක් ඇසුරින් සැකසුණු ලිපියකි.)

1969 වගේ කාලයක සිට පාසල් ශිෂ්‍යාවකව සිටි කාලයේ සිට දේශපාලන සාකච්ඡාවලට සම්බන්ධ වුණා. අක්කයි, මමයි, මල්ලියි අපි තුන්දෙනාම සාකච්ඡාවලට ගියා. අපේ බටුවත්ත මහා විද්‍යාලයේ හිටපු ශිෂ්‍ය නායකයෙක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තේරිලා හිටියා, ජී.එච් ප්‍රේමසිරි. ඔහු තමා පක්ෂ දේශපාලනය ගමට ගෙන ආවේ. සා/පෙ සහ උසස් පෙළ ළමයින් ගොඩක් මේ සාකච්ඡාවලට සම්බන්ධ වුණා. ඊට පස්සෙ විභාගය සමත්වෙලා මං කොළඹ විශ්වවිද්‍යාලයට ගියා. වඩාත් ක්‍රියාකාරීව සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ එහිදීයි. දවසක් රණසිංහ කියලා සහෝදරයෙක් එක් සාකච්ඡාවක් කරලා ඉවර වුණාම වැඩිදුර ඉගෙන ගෙන දේශපාලනය කරන්න කැමති අයට වෙනම පංති කරනවා කීවම, අපිත් එක පයින් කැමතිවුණා. පංති පහට පාර කැපෙන්නේ ඒ විදිහටයි.

70 අවුරුද්දෙ මැද වගේ වෙද්දී දන්නා කියන අයට කොක්ක ගහලා පිරිස් බලය එකතු කළා. මං වගේම අපේ සහෝදර සහෝදරියෝ කරාබු, මාල, වළළු පරිත්‍යාග කරලා පක්ෂ අරමුදල් ශක්තිමත් කළා. යුනිෆෝම් මැහුවා. ආහාර එකතු කළා. ආයුධ පුහුණුවටත් ගියා. අප්‍රේල් 05 අපේ කණ්ඩායම බාරව හිටියෙ රොස්මීඩ් නිමල්. එයා එදා උදේ හදිසියේම පණිවිඩයක් තියලා තිබුණා. එයින් කියැවුණේ රාත්‍රීයේ පහරදීමක් සිදුකළ යුතු බැවින් සූදානම්ව සිටින ලෙසයි. ඒ වෙද්දි අපි ගෙවල්වල යුනිෆෝම් මහලා, හෝදලා, වේළලා තිබුණේ. ඊට පස්සෙ මං ඒවා ලොකු සූට් කේස් එකක දාගෙන, ලීනා කියල කැම්පස් එකේ සහෝදරියකුයි, අපේ අම්මයි එක්කම කැම්පස් එකට අරන් ගියා. මරදානෙන් බැහැලා පොලීසිය ළඟින් යන්න වෙන නිසයි අම්මත් එක්කම ගියේ. අම්මෙකුයි, දුවල දෙන්නෙකුයිනෙ ඒ නිසා පොලීසිය අපිව යැව්වා. අම්මව ඊළඟ කෝච්චියට ස්ටේෂන් එකට එව්වා. අපි මොනව හරි වැඩකට සම්බන්ධයි කියලා තේරුණාට මේ දේශපාලනය ගැන කිසිදු අවබෝධයක් තිබුණෙ නෑ. ඒත් ඒ වෙද්දි අපේ අක්කා හිටියෙ මේ කැම්පස් එකේම අවසන් අවුරුද්දෙ. එයාට යමක් තේරෙනවා. අක්කයි, මමයි, මල්ලියි තුන්දෙනා ම සාකච්ඡාවලට ගිහින් තිබුණා. අපි තුන්දෙනා මේක රහසක් හැටියට තියාගෙන හිටියා.

එදා හවස අපි ට ලැබුණු පණිවිඩය අනුව කොල්ලුපිටිය තට්ටු නිවාසයක රැඳිලා හිටියා. නායකත්වය දෙන සහෝදරයා එනකල් හිටියට එයා නියමිත වේලාවට ආවෙ නෑ. රෑ 12 වෙනකලුත් නෑ. පාන්දර පහරදීමක් වෙයි කියලා කොයි වෙලාවෙ හරි එයි කියලා ඇහැරගෙනම හිටියා. ඒ කාලෙ රේඩියෝ එක විතරයි සන්නිවේදන මාධ්‍යයක් හැටියට තිබුණේ. මහ රෑ නිවේදන නිකුත්වුණා. ත්‍රස්තවාදීන් කණ්ඩායමක් රට පුරා පහරදීමකට සූදානම්වෙලා සිටින බවත්, දැනටමත් වැල්ලවාය පොලීසිය ඇතුළු ස්ථාන කිහිපයකට පහරදීම් කර ඇති බවත්, එයින් කියැවුණා. ඒකත් එක්ක අපි රැඳී හිටපු ගෙදර කට්ටියත් කලබල වුණා. අපි ගැනත් සැක සිතිලා අපිව පිටමං කරවන්න උත්සාහ දරන්න ගත්තා. ඒත් අපිට වෙන යන්න තැනකුත් නෑ. ඒ ගෙදර මානෙල් කියලා සහෝදරියක් ව්‍යාපාරයට සම්බන්ධ වෙලා හිටියා. එයා කරුණු කියලා අපිව තියා ගත්තා.

ඒ වෙද්දි ශිෂ්‍ය අංශය බාරව සිටි සිටියෙ පියසිරි කුලරත්න. එයාගෙ පෙම්වතියයි, නයනානන්දගෙ නංගියි පහුවදා උදේ අපි හිටපු තැනට ආවා. ඊළඟට මොකද කරන්නෙ කියලා පියසිරිගෙන් පණිවිඩයක් එනතුරු අපට ඉන්න කීවා. මේ අතර ත්‍රස්තවාදීන්ට රැකවරණය දීමත් දඬුවම් ලැබිය හැකි වරදක් බවත්, එහෙම කළොත් සියලු දේපළ රාජ සන්තක කරන බවත්, විටෙන් විට රේඩියෝවෙන් ප්‍රචාරය වෙනවා. මේවා ප්‍රචාරය වෙද්දි, අපිව එළියට දාන්න ගෙදර අය සෑහෙන්න උත්සාහ කරනවා. මානෙල් කරුණු කිය කිය අපිව ආරක්ෂා කරනවා. පියසිරිගෙ පණිවිඩය අරන් ආව සහෝදරියො දෙන්නටත් යන්න විදිහක් නෑ. ඒ දෙන්නත් අපිත් එක්ක කොටුවෙලා හිටියා. මහරගම පැත්ත බාරව වැඩකරපු කණ්ඩායමක් කැම්පස් එකේ අපේ අයත් එක්ක සම්බන්ධවෙලා හිටපු බව අපට මතක් වෙලා, අපි ඒ අය හොයාගෙන ගිහින් එයාලත් එක්ක එකතු වෙන්න තීරණය කළා. ඒ ගමනට කොල්ලුපිටියෙන් පිටත්වෙද්දි අපිත් එක්ක හිටපු සමහර අය අපිව දාලා නැවත ගෙවල්වලට ගියා. ඒත් අපි මේ වැඩේට කොහොම හරි සම්බන්ධවෙන්න ඕන කියලා මහරගමට ගියා.

හැංගි හැංගී කෙටි පාරවල් වලින් මහරගමට ආවම ඒ සහෝදරවරුත් එහෙන් පැනල ගිහින් බව තහවුරු වුණා. අපි එයාලගෙ යාළුවෝ කියලා දැනගත්තම ඒ ගෙවල්වල අයත්, අපිව පොලීසියට අල්ලලා දෙන්න උත්සාහ කළා. ඊට පස්සෙ අපි එතැනිනුත් පැනලා එන්න ආවා. මේ විදිහට දවස් කීපයක් කොළඹ අවට තැන් තැන්වල රැඳී ඉඳලා, අන්තිමට බැරිම තැන කෑගල්ලට කිට්ටුව සටන් පවතින ප්‍රදේශයකට ගිහින් ඒ අයට එකතුවෙන්න තීරණ කළා. කෑගල්ලෙ යන්න පිටකොටුවට යන්න ආවා. ඒ අවස්ථාවෙත් දෙතුන් දෙනෙක් අපිව දාලා ගියා. අන්තිමට අපි 4-5ක් විතරයි ඉතුරු වුණේ. පිටකොටුවට ආවාම දුර බස් නෑ. කෑගල්ලෙ යන්නත් බෑ. ඊට පස්සෙ කරන්න දෙයක් නැතිම නිසා ගෙවල්වලට ගිහින් තම තමන්ගේ ප්‍රදේශවලින් සම්බන්ධවෙමු කියලා තීරණය කරලා, ගෙදර යන්න මරදානට ආවා. ඒ වෙද්දි මාව හොයන්න අක්කයි මල්ලියි මරදානට ඇවිත් හිටියා. මමත් ඒ අය එක්ක ගෙදර ආවා.

අපට නායකත්වය දුන්නු රොස්මීඩ් නිමල් සහ සෝමවංශ සහෝදරයා කොටුව මල්වත්තෙදි අත්අඩංගුවට අරන් තිබුණා. ඊට පස්සෙ කැම්පස් එකේ මාතර සහෝදරියක් අහුවෙලා, එතැනදී අපේ නම් කියැවිලා. ඒ තොරතුර අනුව දවසක් මහ රෑ 10ට විතර පොලීසිය අපේ ගෙදරට ආවා. මුලින්ම ඇහුවෙ ‘අප්‍රේල් පස් වෙනිදා කොහෙද හිටියෙ’ කියලා. මං කීවා ගෙදර කියලා. අයියත් කීවා නංගි හිටියෙ ගෙදර කියලා. ‘මේකටත් දෙකක් ගහලා ඇතුළට දාගන්න කියලා එතන හිටපු පොලීසියෙ ලොක්කා කීවා. මං ඒකට බය වෙලා අයියට කට වහගන්න කියලා ඉඟි කළා. මාව යමන් කියලා ඇදගෙන ගිහින් ජීප් එකට දා ගත්තා. මාව අරන් එද්දි අම්මයි, අක්කයි, මල්ලියි ජීප් එක නොපෙනී යනකල්ම ජීප් එක පස්සෙ දුවගෙන ආවා.

එදා රෑ මාව සී.අයි.ඩී එකට අරන් ගියා. මරදානෙ ජයතිලක සහෝදරයාට මාංචුවලින් එල්ලලා පහරදෙමින් සිටි හැටි මං ඇස් දෙකට දැක්කා. කැම්පස් එකේ තවත් සහෝදරවරු තුවාල වෙලා තැන තැන දාලා හිටියා. මට මුලින් බොහොම හොඳින් කතා කළා. හොඳින් අහලා, වචනයක් ගන්න බැරි වුණාම හොඳ කම්මුල් පාරක් දුන්නා. ඊට පස්සෙ පිස්තෝලෙ ඔළුවට තියලා ඇත්ත කීවෙ නැත්නම් මරදා දානව කියල තර්ජනය කළා. මං ඒත් මොකුත් දන්නෙ නෑ කීවා. ඊට පස්සෙ හොඳටම පහරදුන්නා. එකක් දෙකක් ගහද්දි ඇඟම හිරි වැටුණා. ඊට පස්සෙ ගුටි වැදුණට රිදෙන්නෙ නෑ. ඒ වගේම පහරකාපු දෙතුන් දෙනෙක් එක්කරගෙන ඇවිත් මට පෙන්නුවා. ඒ අයගෙන් අපි ගැන කියැවිලා තිබුණා. මාව මුලින් අත්අඩංගුවට ගත්තෙ මැයි මැයි 26 දායි. දවස් කීපයක්ම තැන තැන තියා ගනිමින්, ප්‍රශ්න කරමින්, පහරදෙමින් තියාගෙන ඉඳලා, ජූනි 02 උසාවියට දාලා රිමාන්ඩ් කළා.

අවුරුදු හතර හමාරක් රිමාන්ඩ් හිටියා. මීරිගම තියාගෙන ඉඳලා, අවුරුද්දකට පස්සෙ වැලිකඩට ගෙනාවා. නඩු දැම්මට සිතාසි ආවෙ වත්, උසාවි අරන් ගියේවත් නෑ. මහ නඩුව යන අතරතුර සිතාසි ආවා. ඒත් සිතාසි බාරදුන්නෙ නෑ. වැලිකඩ හිරගෙදර ප්‍රධාන ජේලර් කතා කරලා වරද පිළිගන්නෙ කවුද කියලා ඇහුවා. එතනදි කීප දෙනෙක් වරද පිළිගත්තා. ලීනා අයිරින්, ලීලා සෙනෙවිරත්නයි, මමයි කීවේ අපේ තීරණය කියන්නෙ උසාවියෙදි කියලා. එහෙම කීවම අපි බැහැලම හිටපු ජවිපෙ කියලා ජේලර් දැනගත්තා. වරද පිළිගත් අයට අත්හිටවූ සිරදඩුවම් කියලා උසාවි නියෝගයක් අරන් එළියට දැම්මා. අපි ඇතුළට දැම්මා.

හිරගෙදරදි ඔස්මන්ඩ් සිල්වාගෙ අම්මා හම්බ වුණා. පරණ වාමාංශික දේශපාලනය කරපු බුද්ධිමත්, පක්ෂයට ආදාරය කරපු අම්ම කෙනෙක්. එයා අපට දේශපාලනය තේරුම් කළා. නඩු වැටුණා. කටඋත්තරයේ අත්සන් තිබුණත් නැතත්, ඒක සත්‍යයි කියලා නඩු දැම්මා. 1974 අගෝස්තු අවුරුදු 10ට ඇඟ බැඳලා එළියට දැම්මා. හිරගෙදර ඇතුළෙ සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා. මුල් කාලෙ ලෝකෙ දේශපාලනය ගැන ලොකු දෙයක් දැනගෙන හිටියෙ නෑ. ඒත් මේ ක්‍රමය තුළ අපේ ප්‍රශ්නවලට උත්තරයක් නැති බව, රැකියා ප්‍රශ්නය, ජීවින වියදම, අනාරක්ෂිතභාවය, වගේ දේවල් එක්ක අනාගතයක් නෑ කියලා තේරුම් අරන් හිටියා. ඒ වට විසඳුම අරගල කිරීම හැර වෙනත් විකල්පයක් නෑ කියලා පමණක් අපට දැනීමක් තිබුණා.

චීනය, වියට්නාමය වගේම 1959 න් පසු කියුබාව අපේ දේශපාලනයට ලොකු බලපෑමක් කළා. හිරේදී මේ දේවල් ගැන වැඩි වැඩියෙන් කියවන්න, හදාරන්න අවස්ථාව ලැබුණා. හොරකම් කරපු, මිනීමරපු, ගණිකා වෘත්තියෙ යෙදුණු විවිධ අපරාධවලට සම්බන්ධ අය ඇසුරු කරන්න ලැබුණා. අපි හිටියෙ වාට්ටු දෙකක වුණත්, එකට හම්බ වෙන අවස්ථා තිබුණා. ලංකා ඉතිහාසයේ පීඩිත පංතිය බලය සඳහා පළවෙනි වතාවට සන්නද්ධ අරගලයක් කරලා තිබුණා. ආණ්ඩුව තිරශ්චීන විදිහට ඒක මර්දනය කළත්, අපේ අය කිසිදු පුද්ගලික අභිමතාර්ථවන්ගෙන් තොරව පොදු අරමුණක් වෙනුවෙන් අසීමිත කැපකිරීම් කළා. අපේ දේශපාලන සතුරන් පවා ඒ කැපවීම පිළිබඳ පුදුමයට පත්වුණා.

පක්ෂය ඇතුළේ මතභේද, බලයට තිබුණු කැෑදරකම, නායකත්වයට තිබුණු කෑදෑරකම, අත්දැකීම් අඩුකම, දේශපාලනය නොතේරීම, පක්ෂ නායකයින් අත්අඩංගුවට ගැනීමත් එක්ක ආණ්ඩුවෙන් මුදාහැරපු තිරශ්චීන මර්දනය ආදී විවිධ හේතු මත අපිව අසාර්ථක වුණා.

විජේවීර සහෝදරයා අත්අඩංගුවට ගත්තට පස්සෙ ඔහුව බලන්න ඔස්මන්ඩ් සහෝදරයගෙ අම්මා ගිහින් තිබුණා. ඒ වෙලාවෙ තවදුරටත් ප්‍රජාතන්ත්‍රීය මාවකට යන්න, ප්‍රසිද්ධ දේශපාලනය කරන්න කියලා ඔහු පණිවිඩයක් එව්වත්, ලොකු අතුල වගේ නායකයින් ඒ ඇත්ත පණිවිඩය සාමාජිකයින්ට, රටට කීවෙ නෑ. ඒ වෙනුවට පහරදීලා බලය ගන්න කීවා කියලා තමයි එයලා ප්‍රසිද්ධ කළේ. අප්‍රේල් 1 වන දා වගේ වෙද්දි 400ක් වැඩිය අත්අඩංගුවට පත්වෙලා හිටියා. අනෙක් මරණ පරීක්ෂණයකින් තොරව මළ මිනී වළලන්න කියලා අලුත් නීතියක් ගෙනත් තිබුණා. ඒ කියන්නෙ මර්දනයට ආණ්ඩුව සූදානම් වෙලා හිටියා. මර්දනයට විරුද්ධව වෙන ක්‍රියාමාර්ගයක් ගන්න හැකියාවක් තිබුණෙ නෑ. පත්තරේ ගහලා බෙදන්න යද්දි අත්අඩංගුවට ගන්නවා. රැස්වීම තියලා එද්දි අත්අඩංගුවට ගන්නවා. ඒ විදිහට ප්‍රජාතන්ත්‍රීය ක්‍රියාකාරකම් මර්දනය කරද්දි වෙන විකල්පයක් නෑ. වෙනසක පළවෙනි පියවර තමා බලය අතට ගැනීම. දැන් අපි ඒක කරලා තියෙන්නෙ. එ්ත් ඉස්සරහට තමා විශාලතම වැඩ කොටස තියෙන්නෙ.

ප්‍රියාන් ආර් විජේබණ්ඩාර 
ඡායාරූපය – සුදත් මලවීර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT