Thursday, April 3, 2025
Home » කිසිම පසුතැවීමක් නැහැ

කිසිම පසුතැවීමක් නැහැ

කරුණා ගමනායක

by mahesh
April 2, 2025 4:00 pm 0 comment

කරුණා ගමනායක යනු ජවිපෙ හිටපු ප්‍රධාන ලේකම්වරයකු වූ උපතිස්ස ගමනායකගේ බිරිඳයි. 71 අරගලයට සක්‍රීයව දායක වූ කාන්තා අංශයේ නායිකාවක වූ ඇය මේවන විට දරු දෙදෙනා සමඟ ලන්ඩන් නගරයේ ජීවත්වෙයි. පසුගියදා ලංකාවට පැමිණි ඇය සමඟ කළ කතා බහක් ඇසුරින් මෙම ලිපිය සැකසිණි.

මම 1969 වසරේ අ.පො.ස (උ/පෙ) විභාගයට ඉගෙන ගනිමින් සිටි කාලයේදී ව්‍යාපාරයට සම්බන්ධවීම සිදුවුණා. පන්සලේ තරුණ හාමුදුරු කෙනෙක් හරහා හඳුනාගත් ගුණරත්න කියලා සහෝදරයෙකුගෙ පංතිවලට සහභාගි වුණා. වැඩිදුර දේශපාලනය ඉගෙන ගන්න කැමතිවුණාම එයාගෙ මිතුරියක් වුණු ඒ කාලෙ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවියක වූ සුජාතා හඳගම ගෙන්වා පංති පැවැත්වූවා. ළමයින් 10-12ක කණ්ඩායමක් මේ පංතියට සම්බන්ධ කළේ අර හාමුදුරුවෝම යි. මං ඉතිං එහෙන් මෙහෙන් ප්‍රශ්න ටිකක් ඇහුවම පංතිය ඉවරවෙලා අර සහෝදරිය එයා ළඟ තිබුණු සටහන් ටික මටම දීලා ගියා. ඒවා එකක් නෑර කියෙව්වා. තේ ආර්ථිකය නිසා සිදුවුණු වෙනස්කම්, කඳු කපා තේ වැවීම නිසා ඇති වෙන නාය යාම්, ජනහහණ ගැටලු ගැන විස්තර එතැන තිබුණා. මේ දේවල් අපට අලුත්. දිගටම සාකච්ඡාවලට ඇවිත් ටික දවසක් යද්දි අපි හිතාගෙන සිටින ලෝකය කොච්චර වෙනස්ද, කියලා වැටහුණා. විරැකියාව, ජීවන වියදම් ඉහළ යාම, සමාජ විෂමතාව වැනි දේ සමඟ මිනිසුන් දුක් විඳින්නේ මන්ද යන්න වැඩිදුර හිතන්නට මං පෑදුණා.

ඒ දැනුම හා අවබෝධය එක්ක රඹුක්කන, පරපෙ ෆුල් ටයිම් ක්‍රියාකාරිණියක ලෙස මං පක්ෂයට සම්බන්ධ වෙනවා. 1970 මැතිවරණයේදි සමගි පෙරමුණට පොඩි සහයක් දුන්නා. ‘බත් නැතිනම් කැඳ’ කියන එක තමා අපගේ සටන්පාඨය වුණේ. පැවති යූඇන්පි එකට වඩා චුට්ටක් හරි විශ්වාසය තබන්න පුළුවන් කියන පදනමින් තමා එහෙම කළේ. 1970 අගෝස්තු 10 කොළඹ, හයිඩ් පාර්ක් වල රෝහණ සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමට ගමෙන් බස් එකක් අරන් ආවා. සුජාතා සහෝදරිය අපට ඉගැන්නුවා වගේම රඹුක්කන, මාවනැල්ල, අරණායක කියන පොලිස් කොට්ඨාස තුනේම සහෝදරියන් සම්බන්ධ කරගෙන ඒ අයට දේශපාලන පංති කරා. මේ විදිහෙ රැස්වීම් පක්ෂයේ සහෝදර සහෝදරියන් විසින් රට පුරාම පවත්වමින් සිටියා. පක්ෂය ජනප්‍රිය වුණා. ඒ එක්කම ආණ්ඩුවට සම්බන්ධවෙලා හිටපු සමසමාජ-කොමියුනිස්ට් පක්ෂත් එකතුවෙලා අපිව මර්දනය කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් දියත් කළා. පෙබරවාරි අග වෙද්දී රෝහණ සහෝදරයා ෆුල් ටයිම් කරන අය එකතු කරලා සාකච්ඡා කරන්න පටන් ගත්තා. මේ සාකච්ඡාවෙන් පසුව ‘ සතුරා අපව මර්දනය කරන්න සූදානම් වෙනවා. ඊට මුහුණදීම සඳහා අපි සූදානම්විය යුතුයි’ කියන පණිවිඩය පැහැදිලි කළා. එතැන ඔක්කොම 4-50ක් විතර හිටියා. ගෑනු ළමයිනුත් 4-5ක් හිටියා. මමත් එක්ක. සුජාතා හඳගම හිටියා. සුසිලා හේමමාලි විජේසිංහ, ලීලා සෙනෙවිරත්න, පැට්‍රික් ප්‍රනාන්දුගෙ නංගි විනීතා ප්‍රනාන්දු වැනි අය හිටියා මතකයි.

1970 මාර්තු වෙද්දී රෝහණ සහෝදරයා අත්අඩංගුවට පත්වෙනවා. ඒ වන විට තැන් තැන්වල හමුදා කඳවුරු හදනවා. රඹුක්කන වාගොල්ල ගොවිපළේ කෑම්ප් එකක් දැම්මා. මර්දනයට ඒ අය සූදානම් වෙන නිසා අපිත් සූදානම් වුණා. අප්‍රේල් 5 වෙනිදා රෑ 11 හමාරට රඹුක්කන පොලීසියට ගහන්න කියලා පණිවිඩයක් ලැබිලා තිබුණා. අපි පරපෙ ඉඳලා එන්න සැලසුම් කරලා තිබුණා. සැලසුමේ විදිහට කෑගල්ලෙන් පිරිසකුත් ඒ පැත්තෙන් ඇවිත් අපට එකතුවෙනවා. ඒත් අපි මහ රෑ කළුවරේ බස් එකේ ලයිට් නිවාගෙන යද්දි මගදි, පොලීසිය ටෝච් ගහලා බස් එක නැවැත්තුවා. මුලදි වන්දනා නඩයක් කියලා හිතුවත් පස්සෙ ආයුධ දැක්කලු. ඉතිං ඒ අය බස් එකට ටික දුරක් යන්න දීලා වෙඩි තියන්න ගත්තා. අපිත් වෙඩි තිබ්බා. ගැටුමෙන් කීපදනෛක් වෙඩි වැදිලා වැටුණා. තුවාල වුණු අයත් එක්කම අපි ආපහු ගියා. පහුවෙනිදා වෙද්දි රටම ගිනි අරන්. රේඩියෝ එකේ නිව්ස් අප්ඩේට්ස් යනවා. ‘චේගුවේරා කාරවෝ බලය ගත්තොත් අවුරුදු 8න් පහළ අය මරනවා. 50න් ඉහළ අය මරනවා ආදී වශයෙන් ඉලංගරත්න ඇමතිවරයා බොරු කිය කියා අපට එරෙහිව මහා මඩ ප්‍රචාරයක් ගෙනියනවා.

රඹුක්කන පොලීසිය ළඟ දෙන්නෙක් වැටී සිටින බවට ලැබුණු ආරංචිය නිසා මං තවත් සහෝදරියකුත් එක්ක එතෙන්ට ගියා. ඒත් අපට ළඟටම යන්න ලැබුණෙ නෑ. පොලීසිය අපව එළවා ගත්තා. ඒත් වැටී සිටියේ ගුණතිලක කියල සහෝදරයෙකුයි. උඩගල්දෙණිය පැත්තෙ සහෝදරයෙකුයි බව මට හඳුනාගන්න පුළුවන් වුණා. ඒත් මං නොහඳුනනා හැටියට අඟවමින් එතැනින් ආවා. ප්‍රහාරයෙන් පසු තැනින් තැන විසිරී සිටි පිරිස් එක්කෙනා දෙන්නා අපේ ගමට එකතු වුණා. අපේ පැත්තෙ පරපෙ කන්ද කියලා එකක් තියෙනවා. පොතුහැර, පොල්ගහවෙල, අලව්ව, මාවතගම වගේ පොලිස් කොට්ඨාසවල 400-500ක් විතර ඒ කන්දට එකතු වුණා. එතැන කඳවුරක් විදිහට රැඳුණා. ඊට පස්සෙ තීරණයක් අරන් 10 වෙනිදා ආයෙම පොලීසියට ගහන්න ගියා. හෙමින් හෙමින් කිට්ටු වෙලා බලද්දි පොලීසියක් නෑ. කවුරුවත් පේන්න නෑ. අපි හිතුවෙ දාලා ගිහින් කියලා. බිල්ඩිම විතරයි. හිටි ගමන් හමුදාව හැංගිලා ඉඳලා වෙඩි තිබ්බා හතර අතට. අපට යන එනමං නැතිව කොටුවුණා. එතන 10-12ක් විතර මැරිල වැටුණා. අපි ළඟම හිටපු සහෝදරවරුන් පවා වෙඩි වැදිලා වැටුණා. තුවාල වුණු කිහිප දෙනෙක්ම ඇදගෙන ආවත්, සමහර අය ව ගන්න බැරිවුණා. ආයෙම පසු බැහැලා පැනලා ඇවිත් කන්දට ආවා. අපට කොක්ක ගහපු අපේ ඥාතියෙකුත් වෙච්චි ගුණරත්න කියන සහෝදරයාත් වැටුණෙ ඒ අවස්ථාවේදී යි.

පරපෙ කන්දෙ ආයෙම කඳවුරු බැන්දාම ගමේ මිනිසුන් අපට කන්න බොන්න දුන්නා. උදව් කළා. විටෙන් විට පොලීසිය කන්ද පාමුලට එනවා. අපිත් කන්ද උඩ ඉඳලා බෝම්බ ගහනවා. අපේ දෙන්නෙක් එහෙම වුණු ගැටුමකදී මැරුණා. අපි ඒ දෙන්නගෙ සිරුරු අරන් ඇවිත් වළදැම්මා. පරපෙ කන්දට උඩින් ගුවන් හමුදාව ඇවිත් බෝම්බ දානවා. බිමෙන් හමුදාව ඇවිත් වෙඩි තියනවා. කඳුවලින් කඳුවලට මාරු වෙවී හිටියත් මාස 3ක් විතර යද්දී අපට තවදුරටත් ඉන්න බැරි විත්තිය තේරුම් ගියා. ඊට පස්සෙ අපි විල්පත්තුවට පසුබහින්න තීරණය කරලා යන්න පිටත් වුණා. කෑගල්ලෙ වසන්තලා, සුසිලලා කණ්ඩායම ගියේ අපට ඉස්සරහින්. ඒ අය ගිය ආරංචියට හමුදාවත් තැනින් තැන කණ්ඩාම් විදිහට ඉඳලා අපි යද්දි හතර පස් තැනකදීම සැරෙන් සැරේ අපට වෙඩි තිබ්බා. ඒ අවස්ථාවලදීත් අපෙත් එක්ක ගිය සහෝදර සහෝදරියන් කීපදෙනෙකුට වෙඩිවැදිලා නැතිවුණා. පොලිස් කොට්ඨාස 4-5ක නියෝජනය කරමින් හිටපු විශාල පිරිසකගෙන් අන්තිමට හිටියෙ 40-50ක පිරිසක් විතරයි. එතැනිනුත් අන්තමට 10-12ක් තමා ඉතුරු වුණේ. මාවතගම කියන ප්‍රදේශයේදී මහදවාලෙ අපට වෙඩි වැදුණා. ආයෙම ගමට පසුබසින්න වුණා. අන්තිමට අපි හතර පස්දෙනා හොයාගන්නම වෙනම කඳවුරක් හදලා, මුළු ගමම පීරන්න වුණා. අන්තිමට අපි අහුවුණා. අපට යටත් වෙන්න වුණා. ගමේ කෑම්ප් එකට ගෙනත් ගමේ මිනිස්සු ඉස්සරහම අපට ගැහුවා. ඒ වෙලාවෙ ගුටි කාපු චන්දරේ අයියා තාම ජීවතුන් අතර ඉන්නවා. ඊට පස්සෙ අපිව වැලිකඩට ගෙනාවා.

1970 ජූලි තමා අහුවුණේ. අවුරුදු 5ක් වැලිකඩ හිටියා. මුල් කාලෙ සහෝදර සහෝදරියන් 600ක් විතර වැලිකඩ හිටියා. වයසක අම්මලා, පොඩි ළමයි පවා හිටියා. සමහරු පවුල්පිටින් ගෙනත් දාලා හිටියේ කිසිම චාරයක් නැතිවයි. පොළොව නුහුලන අපරාධ සමහර ගැහැනු දැරිවියන්ට සිද්ධ වෙලා තිබුණා. පහරදුන්නම මුලින්ම රිදුණට ඊට පස්සෙ රිදෙන්නෙ නෑ. ඇඟම හිරි වැටෙනවා. අහිංසක පාරෙ යන ළමයි පවා අරන් දස වධ දීලා තිබුණා. සමහර අය වරද පිළි අරන් නිදහස් වෙලා තිබුණා. සහෝදරියන් 6 දෙනෙක් ඉතිරි වුණා. නන්දශීලි, කුසුමා බුද්දකෝරාල, ලීනා අයිරින්, ලීලා සෙනවිරත්න, මම, තවත් එක්කෙනෙක් හිටියා නම මතක නෑ. ඔස්මන් අම්මාත් හිටියා.

ඔස්මන් අම්මා (ඔස්මන් ද සිල්වාගේ මව සීලවතීද සිල්වා) කියන්නෙ හරිම ජවයක් සහිත අම්ම කෙනෙක්. රිමාන්ඩ් එකේ හිටපු රෝහණ සහෝදරයා බලන්න ගිය මේ අම්මගෙන් රෝහණ සහෝදරයා එදා කැරලි ගහන්න යාපනයෙන් පණිවිඩය දුන්නා කියලා, බොරු සාක්ෂියක් ගන්න පොලීසිය, ජේලර්වරු විතරක් නෙවෙයි අන්තිමට එයාගෙ පුතා වුණු ඔස්මන්ඩ් පවා විවිධ බලපෑම් කළා. ඒත් ඇය සැලුණෙ නෑ. පක්ෂයවත්, රෝහණ සහෝදරයාවත් පාවල දුන්නෙ නෑ. අපරාධ යුක්ති කොමිෂන් සභාවේ නඩු අසද්දී ඒ විනිසුරුවරුන් පවා ඉතාම නින්දිත විදිහට අපව සමච්චලයට ලක් කරද්දී, මං බැණවැදුණු අවස්ථා තිබුණා. අපට ඉදිරිපත් කර ඇති චෝදනා යනු අපගේ අපේ අත පය බැඳ, පහරදී, අපට කැත වැඩ කර ගත්තු කටඋත්තර බවත්, ඒවාට අපෙන් අත්සන් අරගත්තේ බලහත්කාරයෙන් බවත්, මං පෙන්නලා දුන්නා. ඒ අවස්ථාවේදී ‘ගොඩක් රිදුණද?’ ‘කවුරුවත් අත ගෑවෙ නැද්ද?’වගේ නොහොබිනා දේ කියමින් විහිළුවට ගත්තා. මං ඒ වෙලාවෙ ඔයාලට ආදරණීය බිරිඳක්, සහෝදරියක්, දියණියන් ඉන්නව නම් ඔහොම හිනාවන්න බෑ කියලා තදින් කීවා. ඊට පස්සෙ අර විනිසුරුවරයා නිහඬවුණා. අන්තිමට ඇහුවෙ,

“ගෙදර යන්න ආස නැද්ද? කියලා.

‘ආසයි ඒත් ඒ ඇත්ත කියලා මිසක් බොරු කියල නෙවෙයි” කියලා මං කීවා. වරද පිළිනොගත්තු නිසා සෑහෙන කාලයක් සිරගතව සිටින්නට සිදුවුණත්, ඒ ගැන අදටත් පසුතැවීමක් නෑ.

“ගමනායක සහෝදරයා හඳුනාගන්නේ කොහොමද? කොයි කාලෙද?” ලිපිය වෙනුවෙන් මං අතුරු ප්‍රශ්නයක් ඇහුවා.

“ ඒ කාලෙ මං ගමනායක අඳුරන්නෙ නෑ. නඩුවට යන කාලෙ නඩුව ගැන කතා කරගන්න හම්බ වෙන්න ඕන කියලා පණිවිඩයකට මැගසින් එකේ ඉඳිද්දි හම්බ වෙන්න ගියා. ඊට කලින් දැකල තියෙන්න ඇති. ඒත් මට මතකයක් තිබුණෙ නෑ”.

ප්‍රියාන් ආර් විජේබණ්ඩාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT