1971 කැරැල්ල සමයේ එක් දිනෙක බ්‍රිතාන්‍යයේ”ඩේලි ටෙලිග්‍රාෆ්” පුවත් පතේ මුල් පිටුවේ ඡායාරූපයක් සමඟ යම් විස්තරයක් පළ විය. එකී ඡායාරූපයේ සිටියේ සිරගෙයක් අසළ හඬා වැළපෙන අසරණ මවකි.
එයට පාදක වූ සිද්ධිය ලෙස ඡායාරූප ශිල්පියා පවසා තිබුණේ 71 අරගලයට සම්බන්ධ වී අත්අඩංගුවට පත්වූවන් එල්ලා මරණ බවට යම් ආරංචියක් පැතිර ගිය නිසා සිය පුතු බැලීමට මවක කෑගල්ල හිරගෙදරට ගොස් සිටි බවයි. එහිදී බන්ධනාගාර බලධාරීන් කිසිත් නොකියා සිය පුතාගේ මුද්ද, පෑන සහ අත් ඔරලෝසුව මවට බාරදීමෙන් අනතුරුව ඒවාද රැගෙන හිරගෙදරින් පිටතට ආ මෙම මව මිදුලේ ගසක් යට හුදකලාව හඬ හඬා සිටින අයුරු තම කැමරා කාචයට හසුවූ බවයි.
අරගලය පැවති සමයේ ගුණදාස අමරසේකර පදිංචිව සිටියේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ය. ඒ වෛද්‍ය උපාධිය වෙනුවෙන් උසස් අධ්‍යාපනය හදාරන්නට ය. ඔහු එක් උදෑසන එහි රෝහලක පුහුණුව සඳහා පිටත්ව යන අතරතුර මෙම පුවත්පත ගෙන අදාළ ඡායාරූපය සහිත විස්තරය කියවා ඇත. ඉන් කම්පාවට පත් ඔහු නැවත සිය නවාතැනට ගොස් දින දෙකකට පසුව මෙම කවිය සිය දිනපොතේ ලියා තැබී ය. පසු කාලයක ඔහුගේ ‘‘ආවර්ජනා” නමැති කාව්‍ය සංග්‍රහයෙහි ” දින පොතේ ලියූ කවිය ” නැමති මෙම කවිය පළවී තිබිණි.
‘උඹේ මුද්ද අත් ඔරලෝසුව පෑන
ඇයි රත්තරන් පුතුනේ එව්වේ මොට ද
මතක් වෙන්න ද නැත් නම් විකුණගෙන
හාල් තුනපහේ අරගෙන කන්නට ද’
………………….
මගෙ දින පොත කවියක් ඇත
එය ලියන්න ( නිම කරන්න )
බැතියක් නැත
අද නැති මුත් ඒ බැති සිත
කවදා හෝ ලිවිය යුතු ය
හිම වැටෙනා උදෑසනක
ලන්ඩන්යේ අඳුරු මගක
දෙ නෙත නැඟුණු කඳුළු අතර
එ කව මගේ සිත ලියැවිණ
මගෙ දිනපොතෙ කවියක් ඇත
එය ලියන්න බැතියක් නැත
අද නැති මුත් ඒ බැති සිත
කවදා හෝ ලිවිය යුතු ය
ඔවුන් හරි ද අපි වැරදි ද
අපි හරි නම් උන් වැරදි ද
ඇති මග පියවිලි උඩින් ද
වගුරන ලේ වැල් තුළින් ද
නැගෙන කුකුස නිති මා සිත
සිඳලයි බැති සිත මා තුළ
මගෙ දිනපොතෙ කවියක් ඇත
එය ලියන්න බැතියක් නැත
අද නැති මුත් ඒ බැති සිත
කවදා හෝ ලිවිය යුතු ය
මම කවියෙකි හදැති සසල
ලොසත සියලු දුක වළඳන
එ දුක ලොවට කියනු විනා
නොමැත මසතු අන් යුතුකම
‘උඹේ මුද්ද අත්ඔරලෝසුව පෑන
ඇයි රත්තරන් පුතුනේ එව්වේ මොට ද
මතක් වෙන්න ද නැත්නම් විකුණගෙන
හාල් තුනපහේ අරගෙන කන්නට ද’
ආචාර්ය ගුණදාස අමරසේකර