Home » පුංචි එංගලන්තයේ පළමු තෙදින ක්‍රිකට් ගැටුම සිකුරාදා සිට

පුංචි එංගලන්තයේ පළමු තෙදින ක්‍රිකට් ගැටුම සිකුරාදා සිට

by sachintha
April 1, 2025 4:03 pm 0 comment

නුවරඑළියට වසන්ත සමය පැමිණීමත් සමඟ ක්‍රිකට් උණුසුම ගෙනෙන ‘පුංචි එංගලන්තයේ ක්‍රිකට් ගැටුම’ නුවරඑළිය ගාමිණී ජාතික පාසල සහ ශුද්ධ වූ ත්‍රිත්ව විදුහල අතර වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් අඛණ්ඩව තෙවැනි වරටත් මේ සිකුරාදා (4) නුවරඑළිය නගර සභා පිටියේදී ආරම්භ වෙයි.

මෙතෙක් දෙදින තරගයක් ලෙස පැවති පුංචි එංගලන්තයේ සටන මේ වසරේ සිට දින තුනක් දක්වා දීර්ඝ කිරීමට කටයුතු කර තිබේ.

නුවරඑළියේ පාසල් දෙකක් අතර පැවැත්වෙන එකම බිග්මැච් එක හෙවත් පාසල් මහා ක්‍රිකට් තරගය මෙය වන අතර, සිංහල සහ දෙමළ ජනතාව අතර සංහිඳියාව ඇති කිරීමේ අරමුණින් සංවිධාන කරන මේ තරගයේදී මෙවර ගාමිණී විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සෙව්ජිත් විදුනෙත විමලසිරිට හිමිව ඇති අතර, ආර්. ගෝබික්‍රිෂ්ණන් ශුද්ධ වූ ත්‍රිත්ව විදුහල් පිල මෙහෙයවයි. සිතුම් ගුණරත්න සහ ටෝනි ග්‍රේග් පිළිවෙළින් කණ්ඩායම් ද්විත්වයේ උප නායකයෝ ලෙස කටයුතු කරති.

මෙවර අවුරුදු 19න් පහළ පාසල් තරගාවලියේදී අර්ධ අවසන් පූර්ව වටයට පෙර වටය දක්වා පැමිණීමට ගාමිණී පාසල් පිල සමත් වූ අතර, සදෙව් නිර්වාන් සහ දහම් නයනජිත් කණ්ඩායමේ කැපී පෙනෙන ක්‍රීඩකයෝ වෙති. කණ්ඩායමේ වැඩිම කඩුලුලාභියා වන දකුණත් දඟ පන්දු යවන ජනනු ආදිත්‍ය පළාත් සුපිරි සංචිතයට එක්ව සිටීම විශේෂත්වයකි.

ත්‍රිත්ව කණ්ඩායමේ ක්‍රීඩකයෙක් පළාත් කණ්ඩායම නියෝජනය කරන අතර, ක්‍රීඩකයන් සිවුදෙනෙක් දිස්ත්‍රික් කණ්ඩායමට එක්ව සිටිති. එබැවින් මේ තරගයේදී ඔවුන්ගෙන් වැඩි යමක් බලාපොරොත්තු විය හැකි බව ත්‍රිත්ව කණ්ඩායමේ විශ්වාසය වී තිබේ.

දෙපිල අතර පැවති පළමු තරගය ජය පරාජයෙන් තොරව නිමාවූ අතර, පසුගිය වසරේ පැවති දෙවැනි තරගය ජය ගැනීමට ශුද්ධ වූ ත්‍රිත්ව විදුහල සමත් විය.

ගාමිණී ජාතික පාසල් සංචිතය – සෙව්ජිත් විදුනෙත (නායක) සිතුම් ගුණරත්න (උප නායක), ජනනු ආදිත්‍ය රොද්‍රිගෝ, කල්හාර රත්නායක, ශෙහාන් ඇන්ජෙලෝ, ෂේන් ප්‍රනාන්දු, කවිෂ් චේතිය, රක්ශාන් විමලසිරි, සදෙව් නිර්වාන්, එන්. තනුජන්. දහස් සෙනෙවිරත්න, යදීශ රන්දුනු විජේරත්න, ප්‍රශාන් නිමන්ත, රසිඳු දිසානායක, දුල්නෙත් හෙට්ටිආරච්චි, විපුල ප්‍රනාන්දු (ප්‍රධාන පුහුණුකරු), නිලංග බණ්ඩාර (කණ්ඩායම් භාර ආචාර්ය), නිමල් කුමාරදාස (විදුහල්පති).

ශුද්ධ වූ ත්‍රිත්ව විදුහල් සංචිතය – ගෝබි ක්‍රිෂ්ණන් (නායක), ටෝනි ග්‍රේග් (උප නායක), වී. සිමියොන්, එස්. යධුර්ෂාන්, විජිත්, ටී. සෙබස්තියන්, සධුර්වරන්, අබිනාත්, එස්. නවීන්, ප්‍රවීන් කුමාර්, දිලුෂාන්, යධුර්ෂාන්, දර්ශන්, ෂධුර්ෂාන්, ගොඩ්වින්, සජුසන්, ඩේවිඩ් රෙල්ෆ් (ප්‍රධාන පුහුණුකරු), එස්. රවිචන්ද්‍රන් (විදුහල්පති).

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT