වනිඳු හසරංගගේ දක්ෂ පන්දු යැවීමත් නිතිෂ් රානාගේ වේගවත් පිතිහරඹයත් හේතුවෙන් චෙන්නායි සුපර් කිංග්ස් පිල සමඟ පැවති තරගයෙන් ලකුණු 6ක ජයක් අත්කර ගැනීමට රාජස්ථාන් රෝයල්ස් පිල සමත් විය.
අයිපීඑල් තරගාවලියේ 11 වැනි තරගය ලෙස පැවති මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් රාජස්ථාන් පිල කඩුලු 9කට ලකුණු 182ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස චෙන්නායි පිලට ඕවර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 176ක් පමණි.
නායක රුතුරාජ් ගයික්වාඩ් පන්දු 44කින් ලකුණු 63ක් රැස් කරමින් චෙන්නායි ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, රවින්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 32ක් ඉනිමට එක් කළේය. පන්දු යැවීමේදී වනිඳු හසරංග ලකුණු 35කට කඩුලු 4ක් බිද දැමූ අතර, මහීෂ් තීක්ෂණට කඩුලු දවා ගැනීමට නොහැකි විය.
නිතිෂ් රානා රාජස්ථාන් පිල වෙනුවෙන් ලකුණු 81ක් රැස් කළේ පන්දු 36කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 5ක් සමඟිනි. නායක රියාන් පරාග් ලකුණු 37ක් රැස් කළ අතර, වනිඳු හසරංගගේ ඉනිම ලකුණු 4කට සහ මහීෂ් තීක්ෂණගේ ඉනිම ලකුණු 2කට (නොදැවී) සීමා විණි. චෙන්නායි සාර්ථකම පන්දු යවන්නා වූ මතීෂ පතිරණ ලකුණු 28කට කඩුලු 2ක් බිඳ දැමූ අතර, නූර් අහමඩ් සහ කලීල් අහමඩ් ද කඩුලු 2 බැගින් දවා ගත්හ.
රාජස්ථාන් රෝයල්ස් – 182/9 (ඕවර 20) නිතිෂ් රානා 81, රියාන් පරාග් 37, සංජු සැම්සන් 20 (මතීෂ පතිරණ 28/2, නූර් අහමඩ් 28/2, කලීල් අහමඩ් 38/2)
චෙන්නායි සුපර් කිංග්ස් – 176/6 (ඕවර 20) රුතුරාජ් ගයික්වාඩ් 63, රවින්ද්‍ර ජඩේජා නොදැවී 32, රාහුල් ත්‍රිපාති 23 (වනිඳු හසරංග 35/4)