වගාවලට හානි කරන වඳුරන්, රිළවුන් ඇතුළු වන සතුන් පලවා හැරීම සඳහා විශේෂිත මල් වෙඩිල්ලක් කිඹුලපිටිය පාරම්පරික ගිනිකෙළි භාණ්ඩ නිෂ්පාදකයකු වන නිව්ටන් ප්‍රනාන්දු මහතා විසින් නිපදවනු ලැබ තිබේ.
අතේ තබාගෙන ඉතා ආරක්ෂිතව දැල්විය හැකිවන පරිදි නිපදවා ඇති මෙම මල් වෙඩිල්ල දිවා රාත්‍රී ඕනෑම වේලාවක භාවිත කළ හැකි අන්දමට නිර්මාණය කර ඇත. ‘මංකි ෂොට්’ ලෙස නම් කර ඇති මෙම මල් වෙඩිල්ලෙන් වඳුරන්, රිළවුන්, මොනරුන්, දඬුලේනුන් ඇතුළු ඕනෑම වන සතකු පලවා හැරීමට හැකියාව පවතී. ඕනෑම විශාල වන සතුන් රෑනක් පලවා හැරිය හැකි වන පරිදි අඩි 50ත් 60ත් අතර දුරක් මෙම මල් වෙඩිල්ල එල්ල කිරීමට හැකි බව එය නිෂ්පාදනය කළ නිව්ටන් ප්‍රනාන්දු මහතා කියා සිටියේය. මේ වන විට දැඩි කතාබහට ලක්ව පවතින රිළවුන්, වඳුරන් ඇතුළු වන සතුන්ගෙන් සිදු වන කරදරවලින් ආරක්ෂා වීමට ඉතා සාර්ථක පිළියමක් ලෙස මෙම මල්වෙඩිල්ල හඳුන්වා දිය හැකි බව ද ඒ මහතා කියා සිටියි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රනාන්දු මහතා මෙසේ ද කීය.
Òමෙම මල් වෙඩිල්ල මගේම නිර්මාණයක්. මෙය අතේ තබාගෙන දල්විය හැකියි. ඕනෑම විශාල වන සතුන් රෑනක් මෙමඟින් එළවා දමන්න පුළුවන්. මෙය මම අත්හදා බලා තිබෙනවා. වන සතුන් එළවන්න ඉතාමත්ම සාර්ථක මල් වෙඩිල්ලක් ලෙස මම මෙය හඳුන්වනවා. මෙම මල් වෙඩිල්ලෙන් බියට පත්වන වන සතුන් නැවත එම ප්‍රදේශවලට සෑහෙන දිනකට එන්නේ නැහැ. මෙම මල් වෙඩිල්ල තුළින් පරිසරයටවත්, වන සතුන්ටවත්, වගාවන්ටවත් කිසිදු හානියක් සිදු වන්නේ නැහැ. මල් වෙඩිල්ල දැල්වූ පසු ඈතට විහිදී ගොස් විශාල ලෙස හඬනඟමින් පුපුරා යනවා. මෙම මල් වෙඩිල්ල වන සතුන් උඩ සිටියත් බිම සිටියත් ඔවුන් දෙසට ඉතා පහසුවෙන් අතේ තබාගෙන එල්ල කිරීමේ හැකියාව තියෙනවා. කිසිම ගැටලුවක් නැතුව අඩි පනහක් හැටක් විතර දුරට මෙය විහිදී යනවා. මෙම මල් වෙඩිල්ල අඩු මිලකට රජයට හෝ අවශ්‍ය වෙනත් පුද්ගලයන්ට ලබා දෙන්න මම සූදානම්. එහෙම අවශ්‍ය අය ඉන්නවා නම් කිඹුලපිටිය කෝනියන් ගිනිකෙළි භාණ්ඩ නිපදවන මගේ නිවෙසට පැමිණ මිලදී ගන්න පුළුවන්. විස්තර දැනගැනීමට අවශ්‍ය නම් 0766774566 දුරකතන අංකයට කතා කිරීමෙන් ලබා ගන්න පුළුවන්.Ó
මිනුවන්ගොඩ සමූහ – ටෙඩී කීර්ති