වගා හානි සඳහා මිලියන 53ක් ගොවීන්ට වන්දි ගෙවුවා – ගොවිජන රක්ෂණ මණ්ඩලය
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පසුගිය මාස කිහිපය තුළ ගම්මාන රැසකට සිදු වූ ජල ගැලීම්, සත්ත්ව හානි හේතුවෙන් හානියට පත් වූ ගොවිබිම් සඳහා රජය විසින් කඩිනමින් ලබා දෙනවා යැයි පැවැසූ වගා හානි වන්දි මුදල් මේ වන තුරුත් ඇතැම් ගොවීන්ට නොලැබී ඇති බව ගොවීහු පවසති.
පසුගිය දෙසැම්බර් මස 11, 12, 13 සහ 14 දිනයන්වල දිවයිනට පැවැති අධික වර්ෂාව හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවිය. ඒ අනුව යාන්ඔය, කෝන්වැව, පරංගියාවාඩිය, කපුගොල්ලෑව, නාච්චාදූව, සාලියපුර මල්වතු ඔය වැනි ඔයවල් සහ විශාල වැව් පිටාර ගැලීම ආරම්භ විය. ඒ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර තුන්ලක්ෂ දස දහසක් ගොවීන් විසින් වගා කර තිබුණි. දිය ගැලීම් හේතුවෙන් ගොවීන්ගේ කුඹුරු සහ ගොඩ භෝග අක්කර 15,000ක් ජලයෙන් යට විය. එයින් අර්ධ සහ පූර්ණ හානියට කුඹුරු සහ ගොඩ භෝග අක්කර 6939.78 ලක්ව තිබුණි. ඒ අනුව ගොවිජන රක්ෂණ මණ්ඩලයේ 2017/7 චක්‍රලේනඛයට අනුකූලව ස්වාභාවික විපත් යටතේ වන්දි ගෙවීම් සඳහා සිදු කළ සමීක්ෂණයට අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ වන්දි ලබා ගැනීම සඳහා ගොවීන් 5925 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණි.
නැවතත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනවාරි මාසයේදී ද ජල ගැලීම් හේතුවෙන් කුඹුරු අක්කර 21500ක් යට විය. එම කන්නයේම වනඅලි හානි හේතුවෙන් බඩඉරිඟු අක්කර 980.5ක් විනාශ විය. විවිධ වන සතුන්ගේ හානියෙන් මිරිස් වගාවන් අක්කර 80.75ක් සහ උදු වගාවන් අක්කර 56ක් එහිදී විනාශ විය. ඒ අනුව ඒ සියල්ල හමුවේ වී ගොවිතැනින් අසරණ වූ ගොවීන් හට අක්කරයකට රුපියල් 40,000ක උපරිමය වූ වන්දි මුදලක් ගෙවීමට බලධාරින් ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් ලබා දී තිබුණි.
කෙසේ වෙතත් මේ වන විට රටට බත ලබා දෙන ගොවීහු අහසට කන්නලව් කරමින් සිටිති. විවිධ හානීන් මත සිදුවන වගා හානි සඳහා ලැබෙන සොච්චම් මුදල් හේතුවෙන් ගොවීහු ණයකරුවන් වී සිටිති. තරුණ පරම්පරාව ගොවිතැනින් ඉවත් වී ආදායම් ලැබෙන ව්‍යාපාර සඳහා පෙලඹෙමින් සිටී. එවක පෙරදිග ධාන්‍යාගාරය වූ මේ මුතුඇටය අද සහල් ඇතුළු කෘෂි භෝග හිඟමනේ යමින් සිටී. මෙවන් තත්ත්වයක් උදාවිමට මුල්වී ඇත්තේ ගොවීන් අසරණ වූ විට කඩිනම් සහන නොලැබීමත් නිසි සැලැස්මකට ගොවීන් ශක්තිමත් නොකිරීමත් බව අප කළ සොයා බැලීමේදී ගොවීහු පෙන්වා දුන්හ. එයට ආසන්නම සිදුවීමක් ලෙස පසුගිය ජල ගැලීම් හමුවේ තම වගාවන් පාළු වී අසරණ වූ ගොවීන් අපට පෙන්වා දිය හැකිය. ඔවුනට මේ වන තුරුත් වන්දි මුදල් ලබා දීමට වත්මන් බලධාරින් මෙන්ම ගොවිජන රක්ෂණ මණ්ඩලය අපොහොසත් වී ඇත. ඒ තුළින් එළඹෙන උත්සව සමය මෙරට ගොවීන්ට හිමි නැතිද යන ප්‍රශ්නය ගොවීහු බලධාරීන්ගෙන් ඇසූහ.
ඒ පිළිබඳ අප අනුරාධපුර දිස්ත්‍රික් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ නීල් බණ්ඩාර මහතාගෙන් විමසීමක් කළෙමු.
“අපි මේ වන විට දෙසැම්බර් 31 දක්වා වූ වගා හානි සඳහා රුපියල් මිලියන 53ක් ගොවීන්ගේ ගිණුම්වලට ගිණුම්ගත කරලා තියෙනවා. ඒ කියන්නේ ගොවීන් 4000ට පමණ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන්ට පළමු අදියරේ වන්දි මුදල් ලබා දී අවසන්. මෙහි දෙවන අදියර ලෙස ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාසවල වන්දි මුදල් ගෙවන්න තියෙනවා.
ඒ සඳහාත් කඩිනමින් ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා තොරතුරු ලබා ගනිමින් ඉන්නවා. ආණ්ඩුව ප්‍රකාශ කළ පරිදි දෙසැම්බර් 31 වැනිදාට වූ වගා හානි අපි ඒ දිනටම ගොවීන්ට ලබා දීමට කටයුතු කළා. ගොවීන් හිතනවා ඇති එක පාරටම මේ මුදල් සියල්ල ගිණුම්ගත කරන්න පුළුවන් කියලා. ඒක එහෙම කරන්න බෑ. අපිට චක්‍රලේඛ තියෙනවා. ඒ අණපනත් මත සමීක්ෂණ කරලා තක්සේරු වාර්තා කැඳවලා තමයි මේ වන්දි මුදල් ලබා දීම සිදු කරන්නේ. ඉදිරියෙදිත් අපි ගොවීන්ගේ ගිණුම්වලට මුදල් බැර කරන්න සූදානම්” යැයි ඒ මහතා පැවසූහ.
කැබිතිගොල්ලෑව සමූහ – එස්.ජී. උබේපාල