Home » ඕෂන් ෆූඩ් මත්ස්‍ය කර්මාන්ත ශාලාවෙන් පළමු ටින්මාළු තොගය

ඕෂන් ෆූඩ් මත්ස්‍ය කර්මාන්ත ශාලාවෙන් පළමු ටින්මාළු තොගය

-එක්සත් අරාබි එමීර් රාජ්‍යයට

by sachintha
April 1, 2025 4:22 pm 0 comment

දේශීය ටින් මාළු හෙවත් මෙරට තුළ නිෂ්පාදිත ටින් මාළු, අපනයනය කිරීමේ මංගල (ප්‍රථම) අවස්ථාව මදුරන්කුලිය ඕෂන් ෆූඩ් මත්ස්‍ය කර්මාන්ත ශාලාවේ දී, පෙරේදා (29) ධීවර ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙණි. මෙහිදී කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත ටින් මාළු එක්සත් අරාබී එමීර් රාජ්‍ය වෙත අපනයන කිරීම සඳහා බහලුම් ගත කිරීම සිදු කෙරිණි.

මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ,

‘පොහොසත් රටක්, ලස්සන ශ්‍රී ලංකාවක්’ යන නව රජයේ දැක්ම පෙරදැරිව විවිධ ඉලක්ක ජය ගැනීමේ දැවැන්ත පියවර රාශියක් නිහඬවම ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. ඒ අනුව 2025.03.29 දිනය ශ්‍රී ලංකාවේ ප්‍රථම ටින් මාළු අපනයන දිනය වශයෙන් ඉතිහාසගත වන බවය. ‘අපගේ දෛනික ටින් මාළු නිෂ්පාදිත ධාරිතාව ලක්ෂ පහක්. ඒ අනුව ටින් මාළු අපනයනයෙන් 2025 වසරේ ඩොලර් මිලියන 8ක් උපයා ගැනීම අපේක්ෂිතයි.’ එක් බහලුමක මත්ස්‍ය කෑන් 48,000 කින් සමන්විත වේ. ඉන් ඉපැයිය හැකි විදේශ විනිමය ඩොලර් 38,000 සිට 40,000 දක්වා වේ.

වඩාත් ගුණාත්මක මාළු කර්මාන්ත ශාලාව වෙත කඩිනමින් රැගෙන ඒම සඳහා ඕෂන් ෆූඩ් ආයතනය විශේෂ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කරනු ලබයි. මුහුදින්ම ධීවරයා වෙතින් මාළු මිලට ගැනීම, එම අස්වැන්න කඩිනමින් ශීතාගාරගත කිරීම සහ කර්මාන්ත ශාලාව වෙත ලබාදීම මෙම ක්‍රවේදයයි. මේ නිසා පසු අස්වනු හානිය අවම වීම, ගුණාත්මකබවින් පිරිපුන් මාළු ටින් එකක් නිෂ්පාදනය වීම, මුහුදේදීම ධීවරයින්ට වැඩි මිලක් හිමිවීම සහ පෙරළා කඩිනමින් කර්මාන්තය සඳහා යොමු වීමේ ඉඩහසර හිමිවීම මෙහිදී සපිරෙන තවත් ඉලක්ක වේ.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ ටින් මාළු කර්මාන්ත ශාලා 21ක් තිබෙන බවත්, ධීවර දෙපාර්තමේන්තුවේ පිරිවිතරයන්ට අනුකූලව ලියාපදිංචිය ලබා ඇත්තේ ඉන් දෙකක් බවත්ය.

මෙම අවස්ථාවට සමගාමීව අපනයන බලපත්‍ර ප්‍රදානය, කර්මාන්ත ශාලාව නිරීක්ෂණය, නව භෝජනාගාරය විවෘත කිරීම නියෝජ්‍ය අමාත්‍යවරයා අතින් සිදු කෙරිණි.

මෙම අවස්ථාවට කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන්, වෙළෙඳ වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත‍්‍යාංශයේ අධ්‍යක්ෂ කුමුදු මෙගහගේ මහතා ඇතුළු නිලධාරීහු රැසක්ම සහභාගි වූහ.

කල්පිටිය සමූහ – කුමාරි පද්මලතා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT