Home » ආණ්ඩුව රනිල්ගේ වැඩපිළිවෙළේම දිගුවක් ඉදිරියට ගෙන යනවා

ආණ්ඩුව රනිල්ගේ වැඩපිළිවෙළේම දිගුවක් ඉදිරියට ගෙන යනවා

-ජන අරගල සංවිධානයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ

by sachintha
April 1, 2025 4:17 pm 0 comment

ජාතික ජන බලවේග ආණ්ඩුව රනිල්ගේ වැඩපිළිවෙළේම දිගුවක් ඉදිරියට ක්‍රියාත්මක කරමින් සිටින බව ජන අරගල සංවිධානයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ මහතා පැවසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ පසුගියදා (29) කොටිකාවත්ත, සණස ශාලාවේ පැවති ජන අරගල සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක ජන හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය.

“අප්‍රේල් මස හතර වෙනිදා ඉන්දියානු අගමැති මෝදි ලංකාවට එන්න නියමිතයි. ඔහු එන එක කාරණයක් තමයි, සාම්පූර් විදුලි බලාගාරයට මුල්ගල් තැබීම. හැබැයි මෙතැනදී ආණ්ඩුව ජනතාවගෙන් හංගන කාරණයක් තියෙනවා. ඉන්දියානු පුවත්පත් වාර්තා කරන විදිහට මෝදි ලංකාවේ ආණ්ඩුව සමඟ ගිවිසුම් හයක් අත්සන් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. නමුත් ලංකාවේ ආණ්ඩුව තවමත් මේ ගිවිසුම් ගැන රටට හෙළි කර නෑ.

ඉකොනොමික්ස් ටයිම්ස් කියන ඉන්දියානු වෙබ් අඩවියේ වාර්තාවක් පළ වෙනවා, ඉන්දියානු අගමැතිවරයා සහ ලංකාවේ ජනාධිපතිවරයා ආරක්ෂක යුද ගිවිසුමක් අත්සන් කරන්න සූදානම් වෙනවා කියලා. ඒ වාර්තාවට අනුව මේ ගිවිසුම අත්සන් කරන්නේ “චීනයේ වර්ධනය වන මිලිටරි බලපෑමට එරෙහිව සටන් කිරීම” අරමුණු කරගෙනලු. මේක පැහැදිලිවම ලංකාවත් ලෝකයේ දැන් පවතින යුද ආතතියට ඇතුළු කිරීමක් වගේම දිගුකාලීන උගුලකට ඇතුළු කිරීමක්. කවුද ආණ්ඩුවට ඒකට බලය දුන්නේ. ජනතාව ඒවාට බලය දුන්නේ නෑ.

මෙහෙම ගිවිසුමක් අත්සන් කරලා ලංකාව බලාපොරොත්තු වෙන්නේ මොනවද? ආණ්ඩුව එහෙම ගිවිසුමක් අත්සන් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ද? මෙන්න මේ ප්‍රශ්නවලට ආණ්ඩුව වහාම උත්තර දෙන්න ඕනෙ. රනිල් වික්‍රමසිංහ හිටියෙ ලංකාවේ ඉඩම් ටික, විදුලි බලාගාර, වරාය, තෙල් ටැංකි මේ හැම එකක්ම ඉන්දියාවට විකුණන ජනතාද්‍රෝහී වැඩපිළිවෙළක. ජනතාව ජාතික ජන බලවේගයට ඡන්දය දුන්නේ ඒ වැඩපිළිවෙළ පරාජය කරයි කියන බලාපොරොත්තුවෙන්. හැබැයි දැන් ජාතික ජන බලවේග ආණ්ඩුවත් රනිල්ගේ වැඩපිළිවෙළේම දිගුවක් ඉදිරියට ක්‍රියාත්මක කරමින් යනවා. ආණ්ඩුවට අපි කියනවා, ඒ විනාශකාරී වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මක කරන්න එපා කියලා. මොකද ඒ වැඩපිළිවෙළෙන් වෙන්නේ රටේ ජනතාව තවදුරටත් අනතුරේ හෙළීම. අපි ආණ්ඩුවෙන් එවැනි ප්‍රතිපත්තියක් බලාපොරොත්තු වෙන්නේ නෑ.”

රන්මලී සෝමසිරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT