Home » ගුවන් මගියාගේ අත්බෑගයෙන් ලක්ෂ නවයක් සොරාගත් කුලී රියැදුරා අත්අඩංගුවට

ගුවන් මගියාගේ අත්බෑගයෙන් ලක්ෂ නවයක් සොරාගත් කුලී රියැදුරා අත්අඩංගුවට

by sachintha
April 1, 2025 4:03 pm 0 comment

අත්අඩංගුවට ගත් මුදල්

ඩුබායි සිට පැමිණි ගුවන් මගියකුගේ අත්බෑගයේ තිබූ රුපියල් නව ලක්ෂ හාර දහස් හාරසියයක මුදල් තොගයක් සොරාගත් ගුවන්තොටුපොළ කුලී රථ රියැදුරකු ඊයේ (31) අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය පවසයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපළ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ ඩුබායිහි මානව සම්පත් සහකාර කළමනාකරුවකු ලෙස සේවය කළ මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පැමිණිලිකරු ඉකුත්දා (29) රාත්‍රී 9.30ට එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන්යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති අතර, ඔහු නිවෙසට යාම සඳහා කටුනායක ගුවන්තොටුපොළෙන් කුලී රථයක් ලබාගෙන ඇති බවත්, අමතක වීමකින් එහි තම ලැප්ටොප් පරිගණකය අඩංගු බෑගය දමා ගොස් තිබූ බවත් පැමිණිල්ලේ සඳහන් වෙයි.

එම බෑගයේ ඩිරාම්, ඔස්ට්‍රේලියානු ඩොලර්, අමෙරිකානු ඩොලර් සහ ශ්‍රී ලංකා රුපියල් තිබී ඇති බව පැමිණිලිකරු පොලීසිය හමුවේ සඳහන් කර තිබේ. ඒ අනුව වහා ක්‍රියාත්මක වූ පොලීසිය අදාළ පික් මී රථයේ රියැදුරා සොයා අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු ආරම්භ කර ඇත. ඔහු අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි තරුණයෙකි. එහිදී කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී එම මුදල හංවැල්ල ප්‍රදේශයේ පදිංචි තම පෙම්වතියට ලබා දුන් බව අනාවරණය කර ගැනීමට පොලීසියට හැකි වී තිබේ. පසුව පොලීසිය කළ දැනුම්දීම මත ඇය පොලීසියට පැමිණ එම මුදල භාරදීමට කටයුතු කර ඇතැයි ද වාර්තා වෙයි. මේ අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ විමර්ශන කටයුතු කටුනායක ගුවන්තොටුපොළ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේට් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත, පොලිස් කොස්තාපල් (102313) වික්‍රමසිංහ සහ කාන්තා පොලිස් කොස්තාපල් (12168) සෙව්වන්දි යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

කටුනායක – ටී.කේ.ජී. කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT