ජනතාව බලාපොරොත්තු වූ වෙනස තවදුරටත් ඉදිරියට ගෙන යාමට නම් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවිය යුතු බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසීය.
ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ (31) බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ජන පැතුමට වගකියන ජන බලය මාධ්‍ය හමුව අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.
අපි ආණ්ඩුවට කිසිම සම්බන්ධයක් නෑ. නමුත්, අපි ජනතාව වෙනුවෙන් ආණ්ඩුව පිටිපස්සෙන් ඉඳිමින් ආණ්ඩුව ආරක්ෂා කරගන්න උත්සාහ කරනවා. අරගලයකින් පස්සෙ ඇතිවුණ දේශපාලන වෙනස්කමත් එක්ක බලයට ආපු මේ ආණ්ඩුව අනිත් ආණ්ඩුවලට වඩා වෙනස් එකක්. ඒ කාලේ ප්‍රභූ තන්ත්‍රය ඡන්ද නොපවත්වා බලය දිගටම රැකගන්න තමයි උත්සාහ කළේ.
පළාත් පාලන ඡන්දයත් ඒ වගේ කල්දාපු මැතිවරණයක්. නමුත් ඔවුන්ට හැකි වුණේ නෑ ජනාධිපතිවරණය නවත්වන්න. 2022 ඇතිවුණ ජනතාවගේ නැඟිටීමත් එක්ක ඒකේ නියෝජනයක් විදිහටයි මේ ආණ්ඩුව බලයට අවේ. විශේෂ තත්ත්වයක් වුණේ තට්ටු මාරුවෙන් එහෙට මෙහෙට ගිය ප්‍රභූ දේශපාලනය ඉතිහාසයේ නොවූ විරූ ලෙස පරාජය කරමින් ඇතිවුණ වෙනසක් වීමයි.
සමහරු, මේ ආණ්ඩුව බොරු කියලා බලයට පත්වුණු බව කියනවා. ඒක ජනතාවගේ සබුද්ධිකභාවයට කරන ලජ්ජාවක්. මීට පෙර ආණ්ඩුවලට නොතිබුණ ජනතා වරමක් මේ ආණ්ඩුවට කියනවා . මේ සංකීර්ණ තත්ත්වය තුළ යම්, යම් කොන්දේසිවලට, බලපැම්වලට යටත්වෙන්න සිද්ධවෙනවා.
ආණ්ඩුව ගන්න යම් යම් තිරණවලට උසුළු විසුළු කළත්, කවුරුත් ප්‍රායෝගික විසඳුම් ඉදිරිපත් කරන්නෙ නැහැ. ජන බලය විදිහට මේ සංකීර්ණ තත්ත්වයන් අපි තේරුම් අරන් ඉන්නෙ. යම් පත්වීම්, යම් අස්වීම්, සෞඛ්‍ය සේවකයන් සම්බන්ධයෙන් පොලීසියේ මර්දනකාරි හැසිරීම් ආදිය ගැන පුළුල් සාකච්ඡාවක් ඇතිකරගත යුතුයි කියන අදහසේ අපි ඉන්නවා.
ඒ වගේම මේ වෙනස ඉදිරියට යා යුතුයි. එහෙම යන්න නම් පළාත් පාලන මැතිවරණයත් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ යුතුයි.
දේශපාලන ක්‍රියාකාරී, ජන බලය සාමාජික – විදර්ශන කන්නන්ගර මහතා,
ආණ්ඩුවක් පත්වෙලා ටික දවසක් යනකොට පොඩි පොඩි විවේචන තියනවා. ජනතාවගෙන් බහුතරයක් හිතනවා මේ ආණ්ඩුවට තව ටිකක් කල්දෙන්න ඕනේ කියලා. ආණඩුව වෙනස් වුණාට රාජ්‍ය නිලධාරි තන්ත්‍රය වෙනස් වෙලා නෑ. ආර්ථික අර්බුදයක් සමඟ යන ගමනක් නිසා යම් යම් සීමාවන් ඇතුළෙ තමයි ආණ්ඩුවට ගමන් කරන්න වෙලා තියෙන්නෙ.
මේ ආණ්ඩුවට එකපාරට තනතුරු වෙනස් කරලා රැඩිකල් තීරණවලට යන්න බැහැ.
ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ ලේකම් හැටියට ජනාධිපතිතුමාගේ ආර්ථික උපදේශක හුලංගමුව මහතාව පත්කරන්න යනවා කියලා කසුකුසුවක් යනවා. අපි රජයට කියනවා එහෙම කරන්න ලෑස්ති වෙන්න එපා. ජනතාව මේ පත්වීම්වලට කැමති නැහැ.
ආණ්ඩුව කාලය අරන් මේ අයි.එම්.එෆ්. ගිවිසුම්වලින් ඉවත්වෙන්න ඕනේ. කාලය ගන්න කිවුවට ඒ සඳහා දිගු කාලයක් ගන්න එපා. සම සෞඛ්‍ය සේවකයන්ගේ උද්ඝෝෂණයට ප්‍රතිචාර දක්වපු ආකාරය සම්බන්ධයෙන් විවේචන තිබෙනවා.
පොලීසියට ස්වාධීනව කටයුතු කරන්න ඉඩ දී තිබෙනවා. එහෙම කරන්න එපා. මොකද, ලංකාවේ පොලීසිය ගැන අපි දන්නවා.
පහුගිය දවස්වල බටලන්ද මස්මඩුව ගැන කතා වුණා. ඒ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් විතරක් නොනැවතී, නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕනේ. මේ මස්මඩුවේ දේශපාලන නායකයා රනිල් වික්‍රමසිංහ. මිනීමරු පොලිස් ලොක්කා ඩග්ලස් පීරිස්. ඔවුන් තාම ජීවත් වෙනවා. ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. මේ වෙලාවේ බටලන්ද සිදුවීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න සදාචාරාත්මක වගේම දේශපාලනික අයිතියකුත් මේ ආණ්ඩුවට තියනවා වගේම පාස්කු දින සිද්ධිය සම්බන්ධයෙන් සත්‍ය හෙළිදරව් කර නෛතික ක්‍රියාමාර්ගවලට යොමු වීමත් අවශ්‍යයි.
මේ පළාත් පාලන මැතිවරණ අවස්ථාවේ ගමේ නියෝජිතයන් පත්කිරීමේදී වගකීම්සහගතව වැඩ කළ යුතුයි. පාර්ලිමේන්තුවට පැමිණි දූෂිත ජාවාරම්කාර ආර්ථික හසුරුවන පිරිස් පටන් ගත්තේ ගමෙන්. මේ අත්තිවාරම පෙරළා දැමීමේ අවස්ථාවක් උදා වී තිබෙන්නේ. ඒ සඳහා දේශපාලන සමාජ ආර්ථික වෙනස ඉදිරියට ගෙනියන්න මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජන බලවේගය දිනවන්න ඕනේ, පසුගිය මහමැතිවරණයටත් වඩා වැඩි බලයකින්.
මාධ්‍යවේදී නන්දන වීරරත්න මහතා
පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයන්ටත් බටලන්ද වින්දිතයින්ට වුණු දේ සිද්ධ වෙන්න දෙන්න එපා. ඩග්ලස් පීරිස්ට වැටුණෙ එක නඩුවයි ඒකත් පැහැර ගැනීමක් සම්බන්ධව විතරයි. ඒ නඩුවත් අවුරුදු ගාණක් ඇදෙනවා. ඩග්ලස් සැපේ ගෙදර ඉන්නවා.
පාස්කු දින ප්‍රහාරයට රාජ්‍ය ඔත්තු සේවය ඇතුළු දේශපාලනඥයන් සම්බන්ධයි. ඒ නිසා මේ සිද්ධිය ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ගෙන යා යුතුයි. මේ සිද්ධියට සම්බන්ධ දේශීය විදේශීය නියෝජිතයන් හොයාගෙන මියගිය පිරිස්වලට සාධාරණත්වය ඉටු කරන්න නම් එවැනි දෙයකට යොමු විය යුතුයි. යුක්තිය ප්‍රමාද වෙනවා කියන්නේ යුක්තිය ඉටු නොවීමක්. මේ සිද්ධියෙන් විදේශිකයන් සෑහෙන ප්‍රමාණයකට ජීවිත අහිමි වුණා. ඒ නිසා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ජාත්‍යන්තරයට ගෙනියන්න.
දේශපාලන ක්‍රියාකාරී නීතිඥ ප්‍රදිප් ජයරත්න මහතා:
ජනතාව මේ ආණ්ඩුවෙන් යුක්තිය හා සාධාරණත්වය ඉෂ්ට කිරීම බලාපොරොත්තු වුණා. දැන් ආණ්ඩුවට ඒ සදහා බලය තිබෙනවා. වින්දිතයින් සාක්ෂිකරුවන් ආරක්ෂා කරන්න ආණ්ඩුව වැඩබලන පොලිස්පතිවරයා හරහා චක්‍රලේඛ නිකුත් කරමින් ක්‍රියාමාර්ග අරන් තිබුණත් මේවා සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් නැහැ.
සමාජ හා දේශපාලන ක්‍රියාකාරී කපිල ක්‍රිශාන්ත, දර්ශන ලියනගේ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
රන්මලී සෝමසිරි
ජායාරූප – සුදත් මලවීර