ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් පීඩාකාරි ගිවිසුම් ජනතා අසහනය අවම වන ආකාරයට සංශෝධනය විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අලවතුගොඩ දෙල්ගස්ගොඩ ශ්‍රී ධර්මෝදය පරිවේණාධිපති හුරිගස්වැවේ චන්ද්‍රරතන නාහිමින්ට මල්වතු පාර්ශ්වය මඟින් ගෞරව නාමයක් පිරිනැමීම නිමිත්තෙන් පැවති උත්සවයකදී විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේය.
තවදුරටත් විපක්ෂ නායකවරයා මෙසේ ද පැවසීය.
අපේ රටේ ජනතාව සුවපත් කිරීමේ හා දුකින් මුදාගැනීමේ කාර්යභාරය ඉහළින්ම ඉටුවිය යුතු යුගයක් අද එළඹ තිබෙනවා. බංකොලොත්භාවයට පත් අපේ රටේ බොහෝ ජනයා ගතකරන්නේ අතිශය දුෂ්කර ජීවිතයක්. එදිනෙදා වේල් තුන පිරිමසා ගැනීමට නොහැකිව ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දුක් ගින්නෙන්, කුසගින්නෙන් පෙළෙමින් අතිශය දුෂ්කර ජීවිතගත කරනවා. භාණ්ඩ මිල හා බදු බර වැඩිවීමත් සමඟ ජීවන බර ඉහළ යෑමෙන් ජනතාව පත්ව තිබෙන දුෂ්කරතාව තවත් ඉහළට ගිහින්. ජනතාවගේ දුක, කදුළ, වේදනාව හඳුනා ගනිමින් ඔවුන් දුකින් මුදාගැනීම සඳහා අපි අපේ වගකීම් හා යුතුකම් කොටස ඉටු කළ යුතුයි. රටේ සමස්ත ජනතාවගේ කරමත පටවා තිබෙන ජනතාවට අහිතකර ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් ජනතා හිතකාමී ආකාරයට සංශෝධන විය යුතුයි. ජනතාව ජීවත් කරවීම අපේ වගකීමයි. මිනිසාගේ පරම වගකීම මිනිසා ජීවත් කරවීම යැයිද හෙතෙම පැවසීය.
අසේල කුරුළුවංශ