Home » ශුක්‍රාණු බැංකුව කතුන් 4කට පිහිට වෙයි

ශුක්‍රාණු බැංකුව කතුන් 4කට පිහිට වෙයි

by sachintha
April 1, 2025 4:31 pm 0 comment

කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ ස්ථාපිත ශුක්‍රාණු ධාතු බැංකුවෙන් ශුකාණු ලබාගෙන තැන්පත් කිරීමෙන් පසුගිය මාස තුන තුළදී කාන්තාවන් 4 දෙනෙකු සාර්ථකව ගැබ් ගෙන ඇතැයි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා ‘ දිනමිණ’ට ඊයේ (31) පැවසීය. කාන්තාවන් 20කට පමණ IUI (Intra Uterine Insemination) ක්‍රමවේදය ඔස්සේ ඔවුන්ගේ ගර්භාශය තුළ සක්‍රිය ශුක්‍රාණු තැන්පත් කිරීම සඳහා පසුගිය මාස තුන තුළදී බැංකුවෙන් පරිත්‍යාග කර ඇති බවත් එමඟින් 4ක් සාර්ථකව ගැබ් ගෙන ඇති අතර ඔවුන්ට නොමිලේ මෙම ප්‍රතිකාර ක්‍රමය ලබාදෙන බවත් ඒ මහතා පැවසුවේය.

රටේ ඕනෑම ප්‍රදේශයක සිටින කාන්තාවකට පැමිණ මෙමඟින් ප්‍රතිකාර ලබාගෙන ගැබ් ගැනීමෙන් පසුව තමන්ට පහසු ආකාරයෙන් ප්‍රදේශයේ තිබෙන ළඟම ඇති රෝහලෙන් හෝ මාතෘ සායනයකින් ප්‍රතිකාර ලබා ගත හැකි බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

රජයේ රෝහලක ප්‍රථමවරට ස්ථාපිත මේ බැංකුව පසුගිය දෙසැම්බර් 04 වැනිදා ආරම්භ කළ බවත් පුද්ගලයන් 40ක් පමණ මේ වන විට එහි ලියාපදිංචිව සිටින බවත් ඒ මහතා කීය.

පුරුෂයෙකුගෙන් ශුක්‍රාණු ලබාගැනීමේදී පරීක්ෂණ ගණනාවකට ලක් කරන බවත් එච්.අයි.වී., හෙපටයිටිස්, දියවැඩියාව, කොලෙස්ටරෝල් යනාදී පරීක්ෂණ ගණනාවක් සිදු කරන අතර වයස 45ක් පමණ වන පිරිසගෙන් ශුක්‍රාණු ගන්නා බවත් ඒ මහතා පැවසුවේය.

මෙම පරිත්‍යාගය කිරීමට පැමිණෙන පුද්ගලයන්ගේ ජාන පරීක්ෂාව ඇතුළු සුදුසුකම් පරීක්ෂා කරන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

ශුක්‍රාණු පරිත්‍යාග කිරීම සඳහා දුරකතන ඇමතුම් විශාල සංඛ්‍යාවක් දිනකට ලැබෙන බවත් සුදුසුකම් පරීක්ෂා කර බලා ඔවුන්ට දින ලබාදී කැඳවීම් සිදු කරන බවත් ඒ මහතා කීය.

මඳසරුභාවයෙන් පෙළෙන මවුපියන්ට මෙම අවස්ථාව විශාල සහනයක් වන බවත් 0112678999 හෝ 0112672216 දුරකතන අංකවලින් මේ සම්බන්ධයෙන් වැඩි විස්තර විමසා බැලිය හැකි බවත් ඒ මහතා පැවසුවේය.

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT