Home » 46 වසරක් සපුරන ජාතික නිවාස සංවර්ධන අධිකාරිය

46 වසරක් සපුරන ජාතික නිවාස සංවර්ධන අධිකාරිය

by sachintha
April 1, 2025 4:30 pm 0 comment

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය 1979 අප්‍රේල් මස 01 වැනි දින මෙරට ස්ථාපිත කරනු ලැබුවේ මූලික මිනිස් අවශ්‍යතාවක් වන මිනිස් වාසයට සුදුසු නිවහනක් ශ්‍රී ලාංකිකයන්ට උරුම කර දීම මූලික පරමාර්ථය කර ගනිමිනි. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පිහිට වූ දින සිට මේ දක්වාම එම අරමුණ ඉටු කරමින් ජාතික නිවාස අවශ්‍යතාවෙන් විශාල කොටසක් සපුරාලමින් සිටියි. එදා මෙදා තුර වසර 46ක කාලපරිච්ඡේදය තුළ පවුල් 1,795,155කට ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් නිවාස සිහිනය සැබෑ කර දී ඇත.

ජනතාවගේ නිවාස පිළිබඳ තිබූ බලාපොරොත්තුව සැබෑවක් කර විධිමත් බවින් ඵලදායී සේවාවක් ලබාදීමටත්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කාර්යාල සෑම දිස්ත්‍රික්කයකම ස්ථාපිත කර ඇත.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් සම්පූර්ණ කරනු ලැබූ නිවාස ව්‍යාපෘති අතර රද්දොළුගම, මත්තේගොඩ, රන්පොකුණුගම නිවාස සංකීර්ණ මෙන්ම, ජල්තර රාජ්‍ය සේවකයන් ඉලක්ක කර ගනිමින් නිර්මාණය කරන ලද නිවාස සංකීර්ණ ද ජනතාවගේ සිත් තුළ ගැඹුරින් තැන්පත්ව ඇත.

‘සහභාගිත්ව සංවර්ධන’ සංකල්පය මෙරට නිවාසකරණයේ නව මානයක් සටහන් කිරීමට සමත් වී ඇති අතර, එය ජනතාව තුළ වඩාත් ජනප්‍රිය වන්නේ නිවාස වෙනුවෙන් විශාල දායකත්වයක් දරමින් නිවාස සංවර්ධන අධිකාරිය හා එක්ව සිහින නි‍වෙස ඉදිකිරීමට අවස්ථාවක් එවකට ලැබෙන නිසාවෙනි.

ආදර්ශ ගම්මාන ව්‍යාපෘතියෙන් ද මිනිසුන්ගේ නිවාස අවශ්‍යතාව සැලකිය යුතු ආරකට විසඳාලීමට සමත් වූ බව ද මෙහිලා සටහන් කළ යුතුව ඇත.

යුද්ධයෙන් පීඩාවට පත් වූ සහ නිවාස අහිමි වූ උතුරු පළාතේ පවුල් 2557කගේ නිවාස ගැටලුව මෙන්ම ඉන් තුඩු දෙන සමාජ, ආර්ථික ගැටලු සමනය කිරීම සඳහා මේ නිවාස ආධාර ව්‍යාපෘතිය නිර්මාණය කෙරිණි. මෙයට අමතරව යුද්ධයෙන් පීඩාවට පත් වවුනියාව දිස්ත්‍රික්කයේ බෝගස්වැව ප්‍රදේශයේ අන්ත දිළිඳු පවුල් 1740කගේ නිවාස ගැටලුව මේ නිවාස ආධාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදි. යුද්ධයෙන් පීඩාවට පත් වූ සහ නිවාස අහිමි වූ මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 1000කගේ නිවාස ගැටලුව මෙන්ම ඉන් තුඩු දෙන සමාජ, ආර්ථික ගැටලු සමනය කිරීමට මේ නිවාස ආධාර ව්‍යාපෘතිය සකස් විය. යුද්ධයෙන් පීඩාවට පත් මුලතිව් දිස්ත්‍රික්කයේ, වැලිඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 1084ක නිවාස ගැටලුව මේ ව්‍යාපෘතියෙන් විසදීමට කටයුතු කර ඇත.

වකුගඩු රෝගයෙන් පීඩාවට පත් වූ රෝගී පවුල් 2049කගේ නිවාස ගැටලුව විසඳමින් වකුගඩු රෝගීන්ගේ යහපැවැත්ම සඳහා ඉවහල් වන සෞඛ්‍යසම්පන්න පරිසරය නිර්මාණය කරදීමට මේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.

වසර 30කට වඩා පැරණි නිවාස ක්‍රමවල පොදු පහසුකම් සංවර්ධනය කිරීමෙන් එම නිවාස ක්‍රමවල සෞඛ්‍ය සහ ආරක්ෂිත බව ඉහළ නැංවීමටත්, එමඟින් ප්‍රතිලාභීන්ගේ සමාජ, ආර්ථික තත්ත්වය ප්‍රවර්ධනයත් අරමුණු කර ගත් මේ ව්‍යාපෘති නිසා ප්‍රධාන නගරවල දර්ශනීය බව පවත්වාගැනීමට ද ඉවහල් වී ඇත. එමෙන්ම නි‍වෙස ඉදිකරගෙන ඇති නමුත් කපරාරුව නිම කර නි‍වෙසේ සෞඛ්‍යාරක්ෂිත පරිසරය සකස් කර ගැනීමට නොහැකි වූ අඩු ආදායම්ලාභී සහ දිළිඳු පවුල් 110,267කගේ නිවාස ප්‍රමාණවත් මට්ටමින් මේ ව්‍යාපෘති හරහා සංවර්ධනය වී ඇත. ප්‍රතිලාභී පවුල්වල ආර්ථික, සමාජීය සංවර්ධනය වේගවත් කිරීමට අවශ්‍ය පසුබිම මෙමඟින් සෑදී තිබේ. නිවෙසක් ඉදිකිරීමට ඉඩමක් ඇති නමුත් නිවෙසක් නැති සහ නි‍වෙස අර්ධ වශයෙන් ඉදිකරගෙන ඇති අඩු ආදායම්ලාභී පවුල් විශාල ප්‍රමාණයකගේ නිවාස ගැටලු විසඳා දීමට මේ ව්‍යාපෘතියට හැකි වී තිබේ. ප්‍රතිලාභී පවුල්වල ආර්ථික, සමාජීය සංවර්ධනය වේගවත් කිරීමට අවශ්‍ය පසුබිම මෙමඟින් සැකසී ඇත.

මෙයට අමතරව පෞද්ගලික අංශය සමඟ එක්ව මධ්‍යම පාන්තිකයන් සඳහා නිවාස සංකීර්ණ ඉදිකරදීමට ද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය කටයුතු කරමින් සිටියි. මේ වන විටත් එවැනි නිවාස සංකීර්ණ දෙකක් ජනතා අයිතියට පත්කර ඇත. ඒ වගේම තමන් විසින් ඉදිකරන ලද නිවාස සංකීර්ණවලට පොදු පහසුකම්, සමාජ ප්‍රශ්න ආදී ගැටලු විසඳීමට ද අධිකාරිය ක්‍රියාත්මක වේ.

එමෙන්ම අනවසරයෙන් භුක්ති විඳින ලද සම්පත් ක්‍රමානුකූල ගෙවීම් ප්‍රවාහයකට ඇතුළත් කරගනිමින් ඔවුන් සඳහා නිරවුල් නීතිමය පසුබිමක් නිර්මාණය කරදීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නිරන්තරයෙන්ම කටයුතු කරමින් සිටියි. තමන්ගේම බිම්කඩක අයිතිය උදෙසා හඬා වැටෙන මිනිසුන‍්ට ඔප්පු ලබාදීමේ වැඩසටහනක් ද එදා සිට අද දක්වා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සිදු කරයි. ලෝක ජනාවාස දිනය සැමරීමේ කර්තව්‍යය සඳහා ඍජු දායකත්වය දෙමින්, දරුවන්ට මේ පිළිබඳව අවබෝධය ලබාදීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සිය ප්‍රමුඛතම කාර්යයක් ලෙස ඉටු කරයි.

ශ්‍රී ලාංකේය මධ්‍යම පාන්තික ජනතාවගේ නිවාස ප්‍රශ්නය විසඳීම වෙනුවෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පෞද්ගලික අංශය සමඟ එක්ව ක්‍රියාත්මක කරන මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක්‍රමය ලාංකේය නිවාස ප්‍රශ්නය විසඳීමෙහිලා මහත් ප්‍රයෝජනයක් වූ ව්‍යාපෘතියකි. මේ යටතේ නිවාස ව්‍යාපෘති දෙකක් ජනතා සන්තකයට පත්කර ඇති අතර, දැනට වැඩ අවසන් කරමින් පවතින මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක්‍රම වන වාද්දූව සීබ්‍රීස්, රාගම ලාවණ්‍ය හයිට්ස් නිවාස ව්‍යාපෘති ද කඩිනමින් අවසන් කිරීම සඳහා මේ වන විට මූලික කටයුතු හදාරමින් පවතී.

දශක පහකට ආසන්න කාලයක් පුරාවටම ජාතියේ නිවාස අවශ්‍යතාව ඉටු කිරීම වෙනුවෙන් ගම, නගරය, වතුකරය, ධීවර ක්ෂේත්‍රය, උතුරු නැඟෙනහිර ප්‍රදේශ ඇතුළු දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම විධිමත් නිවාස ගොඩනැංවීමේ ක්‍රියාවලියට උර දෙන ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අදට (01) වසර 46ක් සපිරෙයි.

වත්මන් ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවේ ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ යන ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඵලදායී පුරවැසියෙක් සහ සතුටින් ජීවත්වන පවුලක් නිර්මාණය කිරීම සඳහා අප රටේ සෑම පවුලකටම සුව පහසු නි‍වෙසක් අත්කර දීමෙන් සාර්ව ආර්ථික ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් ස්ථිර නි‍වෙසක් ලබාදීම සහතික කර ඇත. මේ අරමුණට ළඟාවීමේ පළමු පියවර ලෙස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස ඇමැතිවරයාගේ සංකල්පය සහ මාර්ගෝපදේශකත්වය සහ නියෝග අනුව දිවයිනේ අඩු ආදායම්ලාභී සියලුම පවුල්වල නිවාස ගැටලුව සම්පූර්ණයෙන් විසඳීමේ අරමුණින් විවිධ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කෙරේ.

කාලීනව ජනතාවගේ අවශ්‍යතා හඳුනා ගනිමින් ජනතාව බලාපොරොත්තු වන ආකාරයේ නි‍වෙසක අයිතිය ලබා දෙන්නට වර්තමාන නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස ඇමැතිවරයා, නිවාස නියෝජ්‍ය ඇමැතිවරයාගේ සහ නිවාස අමාත්‍යාංශ ලේකම්වරයාගේ උපදෙස් සහ අධීක්ෂණය මත ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සිය කර්තව්‍ය වඩාත් විධිමත් කරමින් සිටියි. වර්තමාන සභාපති අරවින්ද සිරිනාථ මහතාගේ අත්දකීම් සහ පෞද්ගලික ක්ෂේත්‍රයේ පළපුරුද්ද, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නව මානයකට ගෙන යමින් සිටින්නේ තවමත් ඉටු නොවූ නිවාස සිහිනය දකින ජනතාවගේ හදවත් සතුටට පත් කරවමිනි. සාමාන්‍යාධිකාරි සහ ඉහළ කළමනාකාරීත්වයේ වෘත්තීය පළපුරුද්ද ද ඊට එක්ව තිබීම සතුටට කරුණකි.

ශ්‍රී ලාංකේය ජන සමාජයේ නිවාස සිහින ඉටුකරලීමේ රාජ්‍ය පුරෝගාමියා වන ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, අදට වඩා හෙට ඔබට හිසට සෙවණක් වනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT