Home » රටේ අනාගතය පෙන්වන පාර තිබෙන්නේ අපි ළඟ

රටේ අනාගතය පෙන්වන පාර තිබෙන්නේ අපි ළඟ

-දෙයියන්දර ජනරැලිය අමතමින් ජනපති කියයි

by sachintha
April 1, 2025 1:00 am 0 comment

කෙටි කාලයකදී රට විශාල පරිවර්තනයකට ගෙනවිත් තිබෙනවා 

ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ ප්‍රතිලාභ ජනතාවට ගලා ආ යුතුයි   

වැඩියෙන්ම කෑගහන්නේ ගොඩක්ම බය වුණු අයයි    

ඩොලර් උපයමින් 2028 ණය ගෙවිය හැකි ආර්ථිකයක් අපි හදනවා   

රටට අනාගතය පෙන්වන පාර තිබෙනුයේ ජාතික ජන බලවේගයේ බවත් පසුගිය ජනාධිපතිවරණයේ සහ මහමැතිවරණයේ මෙන් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ද ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ‘ජය නියතයි- ගම අපිටයි’ මැයෙන් පවත්වන ජනරැලි මාලාවේ දෙයියන්දර ජනරැලිය අමතමින් ජනාධිපතිවරයා පෙරේදා (30) එසේ පැවසීය. මෙම රැලිය විශාල ජන සහභාගිත්වයකින් පැවැත්විණි.

රට තුළ ස්ථාවර ආර්ථිකයක් නිර්මාණය කිරීමේ ගමන ආරම්භ කිරීමට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට හැකිවූ බවත්, යළි ආර්ථිකය කඩා වැටීමට කිසිසේත් ඉඩ නොතබන බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

දූෂණයෙන්, වංචාවෙන් තොර ආණ්ඩුවක් පළමු වරට නිර්මාණය කරගැනීමට ජනතාවට හැකිවූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පුරවැසියා ලබාදෙන සෑම බදු මුදලක්ම ජනතාව වෙනුවෙන්ම වෙන් කරන බව ද ප්‍රකාශ කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

“මේ රටේ පැවති පාලනය වෙනස් කර රට නව මඟකට හැරවීමට පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාව කටයුතු කළා. එසේම ලංකා ඉතිහාසයේ ගොඩනැඟුණු ප්‍රබලතම පාර්ලිමේන්තු බලය සහිත ආණ්ඩුව පසුගිය මහමැතිවරණයේදී ජනතාව විසින් නිර්මාණය කරදුන්නා. දැන් එළැඹ තිබෙන්නේ පළාත් පාලන මැතිවරණයයි. එහිදී ද මේ රටේ ජනතාව නිවැරදි තීන්දුවක් ගතයුතුව තිබෙනවා.

මේ වනවිට අපේ ආණ්ඩුවට මාස 6ක් ගත වී තිබෙනවා. මේ කෙටි කාලය තුළ අපි රට විශාල පරිවර්තනයකට ගෙනවිත් තිබෙනවා. රටේ පුරවැසියාගේ නිදහස තහවුරු කිරීමට මෙන්ම රාජ්‍ය සේවකයාට, ආයෝජකයාට, ව්‍යාපාරිකයාට මේ සියලු දෙනාට නිදහසේ වැඩ කරන්න පුළුවන් පසුබිම අපි නිර්මාණය කරදී තිබෙනවා.

ඒ වගේම අපි අපේ රටේ දේශපාලන සංස්කෘතිය මුළුමනින්ම පරිවර්තනයකට ලක් කර තිබෙනවා. රටට අවශ්‍ය වන්නේ වංචාව, දූෂණය හා නාස්තියෙන් තොර පාලනයක්. ඒ පාලනය ජාතික ජන බලවේගය විසින් අද රට තුළ ස්ථාපිත කර තිබෙනවා.

අපේ ආණ්ඩුවේ කිසිදු මන්ත්‍රිවරයකුට හෝ ඇමැතිවරයකුට රුපියලක වංචාවක් පිළිබඳව ඇඟිල්ල දිගු කරන්න බැහැ. අපි මේ රටේ ජනතාවගේ මුදල් සතයක්වත් සොරකම් නොකරන, නාස්ති නොකරන ආණ්ඩුවක් ගොඩනඟා තිබෙනවා. එය වැදගත් දේශපාලන පරිවර්තනයක් බව කිවයුතුයි.

එදා මේ රටේ පැවතුණේ මොන වගේ පාලනයක් ද කියලා ජනතාව දන්නවා. මේ හක්මන හිටපු අයට මහ විශාල කුරුඳු වතු හිමි වුණේ කොහොමද? හම්බකරලා නොවෙයි, මහජනයාගේ ධනය සොරකම් කරලා. දෙවුන්දර පැත්තෙ හිටපු අයට නැව් හිමි වුණේ කොහොමද? මහජනයාගේ දේපළ සොරකම් කරලා.

එදා පවුල් පිටින් රට පාලනය කළා. පාර්ලිමේන්තුවේ යාළුවෝ ගැන තව ලැයිස්තු එනවා. මේ සියල්ලෙන් පෙන්නුම් කරන්නෙ මොකක්ද? මේ රට යම් දේශපාලන අධිකාරීන් විසින් යටපත් කරලා, භීතියට පත් කරලා, මහජනතාවගේ දේපළ කෝටි ගණන් නාස්ති කරන දේශපාලනයක් තිබ්බේ. අප එම දේශපාලනයට තිත තියලා තිබෙනවා. ඒක හොඳ නැද්ද? මේක තමයි අලුත් රටකට අලුත් මාවතකට තිබෙන පාර.

ඒ වගේම වංචා, දූෂණ කළ අයට දඬුවම් දිය යුතුයි කියා ජනතාව තුළ විශාල බලාපොරොත්තුවක් තිබෙනවා. දඬුවම් ලබාදීමේ බලයක් ආණ්ඩුවකට නැහැ. නමුත් එම වංචා, දූෂණ පිළිබඳ පරීක්ෂණ කිරීමට අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තිබෙනවා.

එම පරීක්ෂණ මත හෙළිදරව් වන කරුණු අනුව නීතිපති දෙපාර්තමේන්තුවට මහාධිකරණයේ නඩු ගොනු කළ හැකියි. එම නඩු ගොනු කිරීමෙන් පසුව අපගේ කාර්යභාරය අවසන් වෙනවා. ඉන්පසුව එම නඩුව නිසි පරිදි විභාගයට ලක්කර අදාළ දූෂියන්ට දඬුවම් දීම අධිකරණයේ කාර්යභාරයයි.

අපි රජයක් ලෙස අපේ කාර්යභාරය ඉටුකරමින් සිටිනවා. ඒ අනුව පරීක්ෂණ විශාල ප්‍රමාණයක් මේ වනවිට ක්‍රියාත්මක කර තිබෙනවා. වංචා, දූෂණ පිළිබඳ පමණක් නොවයි, පාස්කු ප්‍රහාරය පිළිබඳ පවා පරීක්ෂණ ඉතා විධිමත්ව සිදු කෙරෙමින් පවතිනවා. මෙම අප්‍රේල් 21 වැනිදාට පෙර ඊට වගකිවයුතු කණ්ඩායම් පිළිබඳ හෙළිදරව් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ කරමින් සිටිනවා.

මේ වනවිටත් හිටපු ඇමැතිවරු තිදෙනෙක් රිමාන්ඩ් භාරයේ සිටින බව ඔබ දන්නවා. හිටපු එක් ඇමැතිවරයෙක් සැඟවී සිටිනවා. හිටපු පොලිස්පතිවරයෙක් රිමාන්ඩ් භාරයේ සිටිනවා. මොවුන් රාජ්‍ය සේවකයන් ගස් බැඳ, නීති වීරෝධී ලෙස ඉඩම් අල්ලාගෙන, නීති විරෝධි ලෙස පස් කපා විවිධ අපරාධ සිදු කළ අයයි.

තවත් ප්‍රවෘත්ති බොහොමයක් ඉදිරියේදී ඔබට අසන්නට ලැබේවි. මේ අපරාධකරුවන් පිළිබඳ පරීක්ෂණ අද ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.

මේ ආණ්ඩුව වංචාව, දූෂණය සහ නාස්තිය නතර කළ පාලනයක්. වංචා, දූෂණ අපරාධ සිදු කළ අයට දඬුවම් දීමට උත්සාහ කරන පාලනයක්. නමුත් අනිත් පිරිස වංචා සහ දූෂණවල නිරත වූ අයයි. ඔවුන් උත්සාහ කරන්නේ නැවත වංචා සහ දූෂණවල නිරත වීමටයි. මේ දිනවල රූපවාහිනිය නරඹන විට ඔබට පෙනේවි වැඩියෙන්ම කෑගහන්නේ වැඩියෙන්ම බිය වූ අයයි. ඔවුන් අපරාධයේ ප්‍රමාණය අපිට වඩා හොඳින් දන්නවා. ඒ නිසා ඔවුන් බිය විය යුතුයි.

මේ රට පිරිසුදු රාජ්‍යයක් බවට පත්කිරීමේ ව්‍යායාමයට ජාතික ජන බලවේගයේ අපි පියවර තබා තිබෙන අතර එය ඉටු කරමින් තිබෙනවා. ඒ වගේම අපි රටේ ආර්ථික ස්ථාවරභාවය නිර්මාණය කළා. අනිත් අය මේ රටේ ආර්ථිකය බිඳ දැමූ අයයි. මීට වසර දෙක හමාරකට පෙර අපේ රට ලංකා ඉතිහාසයේ දැවැන්තම ආර්ථික කඩා වැටීමට මුහුණ දුන්නා.

මේ රට බංකොලොත් කළ කණ්ඩායම දැන් නැවත බලය ඉල්ලනවා. නමුත් ජාතික ජන බලවේගය බංකොලොත්භාවයෙන් රට නිදහස් කරගෙන ආර්ථිකය ඉදිරියට ගෙනයෑමට කටයුතු කරන ආණ්ඩුවක්. අද අපි සැලකිය යුතු ප්‍රමාණයකින් ආර්ථික ස්ථාවරභාවය ඇති කර තිබෙනවා. හැම දත්තයකින්ම ආර්ථික ස්ථාවරභාවය පෙන්නුම් කරනවා.

අපේ රටට පසුගිය අවුරුදු 5කට ආසන්න කාලයක් තුළ කිසිදු ආයෝජකයෙක් පැමිණියේ නැහැ. දැන් නැවත ආයෝජකයන් රටට පැමිණීමට පටන්ගෙන තිබෙනවා. එය ආර්ථික ස්ථාවරභාවය පිළිබඳ සංඥාවක්. ඒ වගේම මෙම අප්‍රේල් 5 වැනිදා මෙගා වොට් 120ක සූර්ය බලාගාරයක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සහභාගිත්වයෙන් ආරම්භ කිරීමට අපි සැලසුම් කර තිබෙනවා.

ඒ වගේම සියඹලාණ්ඩුවේ මෙගා වොට් 100ක බලාගාරයක් සහ මන්නාරමේ මෙගා වොට් 50ක බලාගාරයක් ආරම්භ කරනවා. ඒ වගේම විදේශ ආධාර යටතේ ආරම්භ කර අතරමඟ නවත්වන ලද ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් නැවත ආරම්භ කිරීමට එම රටවල් එකඟතාව පළකර තිබෙනවා.

එසේම ලංකාවේ මෙතෙක් සිදු කළ විශාලම ආයෝජනය වන හම්බන්තොට තෙල් පිරිපහදුවේ වැඩ තව මාස කිහිපයකින් ආරම්භ කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. මේ අයුරින් අද රට ස්ථාවර වෙමින් තිබෙනවා.

ඒ වගේම මාස 6කට වැඩි කාලයක සිට ඩොලරය රුපියල් 300 සීමාවේ තබාගෙන සිටීමට අපේ ආණ්ඩුව සමත් වී තිබෙනවා. අද ආයෝජකයන් අපේ රටේ කොටස් වෙ‍ෙළඳපොළ කෙරෙහි විශ්වාස තබා ඇති අතර එය වර්ධනය වෙමින් පවතිනවා.

අද බැංකු පොලී අනුපාතය 10%ට පහළින් තිබෙනවා. ඒ අනුව ක්‍රමානුකූලව රට තුළ නොසැලෙන ආර්ථිකයක් නිර්මාණය කිරීමට අපි සමත් වී තිබෙනවා. 2021 – 2022 වසරවල පැවති තත්ත්වය යළි මේ රටේ ඇති නොවන බවට මම ඔබට සහතික වෙනවා. මොකද අපි හදන්නේ නොසැලෙන ආර්ථිකයක්.

ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ එහි ප්‍රතිලාභ ජනතාවට ගලා ආ යුතුයි. රාජ්‍ය සේවයට අලුතින් 30,000ක් බඳවා ගැනීමට අපි සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ජනතාවට අවශ්‍ය සේවාවන් සැපයීම වෙනුවෙන් රාජ්‍ය සේවාව ශක්තිමත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වසර පහ හයකින් වැඩිකර තිබුණේ නැහැ. අපි රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප ඉතා විශාල ප්‍රමාණයකින් වැඩි කළා. මේ වසරේ පමණක් රාජ්‍ය සේවකයන්ගේ වැඩිවූ වැටුප් වෙනුවෙන් අපි රුපියල් කෝටි 11,000ක් දරනවා.

මෙම වැටුප් වැඩිවීම වාර්ෂිකව ඉහළ යනවා. ඒ අනුව 2028 වනවිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම සඳහා කෝටි 33,000ක් වැය කිරීමට සිදු වෙනවා. අපිට ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. සරිලන වැටුපක් නොතිබූ නිසා වෘත්තීයවේදීන් මේ රට හැර ගියා.

ඒ වගේම අපි අස්වැසුම ප්‍රතිලාභය වැඩි කිරීමට කටයුතු කළා. මෙම ජූලි මාසයේ සිට අස්වැසුම නොලැබෙන එහෙත් ලැබිය යුතු පවුල් ලක්ෂ 4කට අලුතින් අස්වැසුම හිමි වෙනවා. රැකබලා ගතයුතු පිරිස් රැකබලාගත යුතුයි. ඒ වගේම වැඩිහිටි දීමනාව, විශ්‍රාම වැටුප, වකුගඩු දීමනාව, මහපොළ ශිෂ්‍යාධාරය, දරුවන්ගේ කෑම වේලක් සඳහා ලබාදෙන දීමනාව මේ සියලු දීමනා වැඩි කිරීමට අපි කටයුතු කළා.

බන්ධනාගාර තුළ සිටින හැකියාව සහ දක්ෂතාව තිබෙන තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුවක් ලබාදීමට අපි මෙවර අය-වැයෙන් මුදල් වෙන් කළා. ඔවුන් සිරගතව සිට සමාජයට එක්වන්නේ වෘත්තීයමය සහතිකයක් සමඟයි. ඔවුන්ට ඒ අනුව රැකියාවක් හිමි වෙනවා. ඒ වගේම රැඳවුම් මධ්‍යස්ථානවල සිටින දරුවන්ට රුපියල් 5,000ක් ලබා දෙනවා. එයින් රුපියල් 3,000ක් මාසිකව ස්ථාවර ගිණුමකට බැර වෙනවා. එම දරුවෙක් විවාහපත් වනවිට ඔවුන්ට නි‍ෙවසක් තනා ගැනීමට රුපියල් ලක්ෂ 10ක් ලබා දෙනවා.

අපි ජනතාව රැක බලාගත යුතුයි. ඒ වගේම පාසල් දරුවන්ට අධ්‍යාපන උපකරණ ලබාගැනීමට රුපියල් 6,000 බැඟින් ලබා දෙනවා. ඉතිහාසයේ කිසිදා මෙවන් දීමනා ලබා දී නැහැ.

එසේ නම් රටේ ආර්ථිකය ස්ථාවර වනවිට එහි ප්‍රතිලාභ රටේ ජනතාවට ගලා ඒමට අපි සැලසුම් සකස් කර තිබෙනවා. ලංකාවේ ආණ්ඩුව ප්‍රාග්ධන වියදම් සඳහා වෙන්කරන ලද වැඩිම මුදල අපි වෙන්කර තිබෙනවා.

අපි මාතර පුරන්කුඹුරු අස්වැද්දීමට ලක්ෂ 3000ක් වෙන් කර තිබෙනවා. මෙම මුදල් ලැබීමත් සමඟ එම වැඩ ආරම්භ කළ යුතුව තිබෙනවා. ඔබට තිබෙන අභියෝගය එම මුදල් මෙම දෙසැම්බර් මාසයට පෙර වියදම් කිරීමයි. මම දිසාපතිවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් කැඳවා මේ පිළිබඳ උපදෙස් ලබා දී තිබෙනවා. මීට පෙර සිදුවූයේ වැඩ කරන්න මුදල් නොතිබුණු එක. දැන් මුදල් තිබෙන අතර වැඩ කළ යුතුව තිබෙනවා.

මේ අනුව රට ගොඩනැඟීමට අවශ්‍ය ආණ්ඩුවක් අද ගොඩනැඟී තිබෙනවා. ඒ වගේම නිල්වලා ව්‍යාපෘතිය පිළිබඳ විවාදය ඔබ අපට අවසන් කර දෙන්න. අපි ඊට අවශ්‍ය මුදල් ඉදිරි අය-වැයෙන් වෙන්කිරීමට බලාපොරොත්තු වෙනවා.

අපි මහජනතාවගේ මුදල් සතයක් නාස්ති කරන්නේ නැති ආණ්ඩුවක්. මහා භාණ්ඩාගාරයට එන හැම සතයක්ම පෙරළා පුරවැසියාට ලබාදෙන ආණ්ඩුවක්. අපි සෑම ව්‍යාපෘතියකදීම කටයුතු කරන්නේ රට සහ ජනතාවගේ පැත්තෙන් හිතලයි.

මෙතෙක් පැවති ආණ්ඩු, ව්‍යාපෘති ක්‍රියාත්ම කරද්දි සිතුවේ තමන්ට කොපමණ මුදල් ලැබෙනව ද යන්න පමණයි. නමුත් අපි සෑම ආයෝජනයක් පිළිබඳවම තීරණයක් ගන්නේ රටට සහ ජනතාවට එය කොතරම් සුබවාදී ද, නැද්ද කියලා සිතලයි.

අපි 2028දී නැවත ණය ගෙවීම ආරම්භ කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය උත්පාදනය කළ යුතුයි. 2028 වසරේදී ඉතා හොඳින් ණය ගෙවිය හැකි ආර්ථිකයක් අපි හදනවා. ඒ පිළිබඳ සංඥා මේ වනවිටත් ලැබී තිබෙන අතර මේ වසර මෙරටට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි වසර බවට පත්වෙනවා.

ඒ වගේම ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම මේ වසරේදී ලංකාව උපයා ගන්නවා. ඒ වගේම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් වැඩිම ඩොලර් එවන වසර බවට මේ වසර පත්වෙනවා. මේ අයුරින් මහා භාණ්ඩාගරයට වැඩිම ආදායමක් ලැබෙන වසර බවට 2025 වසර පත්වෙනවා.

අද රට ඉතා හොඳ දිශාවකට ගමන් කරමින් තිබෙන අතර රටට අවශ්‍ය පරිවර්තනය සිදු කරමින් තිබෙනවා. මේ වැඩපිළිවෙළ කිසිවෙකුට ආපසු හරවන්න බැහැ. විරුද්ධ අයට අද තිබෙන්නේ එකම කතාවයි. එක නාළිකාවක රාත්‍රී 7.00ට ප්‍රවෘත්තිවලින් විකාශය වන්නේ ඔවුන්ගේ අඳෝනාව පමණයි. මේ පිටවන්නේ ඔවුන්ගේ වේදනාවයි. ඔවුන් කිසිදා මෙවන් ආණ්ඩුවක් අපේක්ෂා කළේ නැහැ.

ඔවුන් මේ ආණ්ඩුව වැටෙනතුරු බලා සිටියා. ඒ වගේම රටේ ආර්ථිකය බිඳ වැටෙනතුරු බලා සිටියා. නමුත් ඔවුන්ගේ එම අපේක්ෂාවන් කිසිවක් ඉටු වුණේ නැහැ.

අද ශක්තිමත් ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනැඟෙමින් තිබෙනවා. ඉන්දියානු රාජ්‍ය නායකයෙක් වසර 10කට පසුව ලංකාවට පැමිණෙනවා. ආණ්ඩුවට තවම ගතවී තිබෙන්නේ මාස 6යි. මේ අයුරින් ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනැඟී තිබෙනවා.

අපි චීනය සමඟ ඉතා ශක්තිමත් සබඳතා ගොඩනඟා ගනිමින් සිටිනවා. දැනටමත් ජපානයෙන්, වියට්නාමයෙන් ආරාධනා ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාව ඉහළින් ඔසවා තැබිය හැකි ඉතාමත් හොඳ රාජ්‍යතාන්ත්‍රික සබඳතා අද ගොඩනැගී තිබෙනවා.

අද අපේ රටට ආයෝජකයන් පැමිණීමට පටන් ගෙන තිබෙනවා. පෞද්ගලික අංශයේ ආයෝජකයන් විශාල විශ්වාසයක් තබා තිබෙනවා. මේ අයුරින් රට අලුත් දිශාවකට ගමන් කරමින් තිබෙනවා. මේ ගමනට යළි ශක්තියක් ලබාදිය යුතුයි. එහිදී පළාත් පාලන මැතිවරණය ඉතා වැදගත් වෙනවා. ඒ නිසා පළාත් පාලන මැතිවරණයේදී විශ්වාසවන්ත කණ්ඩායමක් පත්කරගත යුතුයි. අපි ඉතාමත් ශක්තිමත් ප්‍රාදේශීය සභාවක් හදමු.

අපි ජාතික වශයෙන් ජයග්‍රහණ රැසක් සමඟ විශාල ශක්තිමත්භාවයක් ගොඩනඟාගෙන තිබෙනවා. මේ ශක්තිමත්භාවයේ ප්‍රතිඵල ගමට ඒමට නම් ගමේ ප්‍රාදේශීය සභාව නිසි ලෙස ස්ථාපිත කළ යුතුයි.

එසේ නොමැතිවුවහොත් ජාතික වශයෙන් ලබන ජයග්‍රහණය ගමට ගලාගෙන එන්නේ නැහැ. ඒ නිසා ගමේ බලය ශක්තිමත් කරගත යුතුයි. මැයි මාසයේ 6 වැනිදා අපි සියලු දෙනා එක්වී ශක්තිමත් ප්‍රාදේශීය සභාවක් ගොඩනඟා ගනිමු. ඒ වෙනුවෙන් එක්වන ලෙස සියලු දෙනාට ආරාධනා කරනවා.

උපාලි කරුණාරත්න සහ දෙයියන්දර සමූහ

තමරසිරි විජේසේකර,

වැලිගම විශේෂ – ටී.කේ මහින්ද

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT