Home » පුත්තලමේ නීතිඥවරිය රිමාන්ඩ් කිරීමේ නියෝගය අභියාචනාධිකරණයෙන් අත්හිටුවයි
අධිකරණයට අපහාස කිරීමේ සිද්ධිය

පුත්තලමේ නීතිඥවරිය රිමාන්ඩ් කිරීමේ නියෝගය අභියාචනාධිකරණයෙන් අත්හිටුවයි

by sachintha
April 1, 2025 4:32 pm 0 comment

අධිකරණයට අපහාස කළ බවට තීන්දු කරමින් නීතිඥ එස්.ඒ.පී. උදයංගනී රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පුත්තලම මහාධිකරණ විනිසුරුවරිය පසුගිය 28 වැනිදා දෙන ලද නියෝගය ක්‍රියාත්මක වීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ අභියාචනාධිකරණය එම නීතිඥවරිය වහාම නිදහස් කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට සහ වාරියපොළ බන්ධනාගාර අධිකාරීවරයාට ඊයේ (31) නියෝග කළේය.

බන්ධනාගාරයෙන් නිදහස් වීමෙන් පසුව ලබන අප්‍රේල් මස 28වැනිදා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස එම නීතිඥවරියට නියම කෙරිණ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කරන ලදි.

අභියාචනාධිකරණය වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවන ලදි.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ උපදේශක නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම් මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතා දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කළේය.

එස්.ඒ. පී. උදයංගනී නමැති නීතිඥවරිය 2019 වසරේ සිට පුත්තලම මහාධිකරණයේ නඩු කටයුතු සඳහා පෙනී සිටි බව එහිදී සඳහන් කෙරිණ.

ඇයගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරුවරිය මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කර ඇතත් ඉන් අනතුරුව ද ඇය කිහිප වරක් අධිකරණයේ නඩු කටයුතු සඳහා පෙනී සිටි බව සඳහන් විය.

පසුගිය 28 වැනිදා ඇප අයදුම්පතක් සම්බන්ධයෙන් පුත්තලම මහාධිකරණය හමුවේ පෙනී සිටි එස්.ඒ.පී. උදයංගනී නමැති නීතිඥවරිය අධිකරණයට අපහාස කළේ මහාධිකරණ විනිසුරුවරිය තීරණය කර ඇති අතර පසුව ඇය ඇපමත මුදා හැරීමට නියෝග කර තිබේ.

එහෙත් සිකුරාදා ප.ව. 2.00ට පමණ අදාළ නියෝගය ලබා දීම හේතුවෙන් එදින ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවී ඇති අතර ඇප කොන්දේසි ලිහිල් කරන ලෙස නීතිඥවරියක මඟින් කළ ඉල්ලීම ද ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන් කෙරිණ.

අනතුරුව අදාළ නීතිඥවරිය රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා විභාග කිරීමේ විධිමත් ක්‍රියා පටිපාටියක් පවතින අතර මහාධිකරණ විනිසුරුවරිය එම ක්‍රියා පටිපාටිය අනුගමනය නොකර අදාළ නීතිඥවරියට එරෙහිව චෝදනා ඉදිරිපත් කර ඇති බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව අදාළ නීතිඥවරිය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහාධිකරණ විනිසුරුවරිය දුන් නියෝගය ක්‍රියාත්මක වීම අත්හිටුවන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම පෙත්සම විභාග කිරීමට අවසර දෙන ලෙසත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අදාළ නීතිඥවරිය නිදහස් කරන ලෙස වාරියපොළ බන්ධනාගාර අධිකාරිවරයා වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල අනතුරුව මෙම නියෝග නිකුත් කළේය.

ජ්‍යෙෂ්ඨ උපදේශක නීතිඥ ජී.ජී. අරුල් ප්‍රගාසම් මහතාගේ උපදෙස් මත නිරංජන් අරූල් ප්‍රගාසම්, සේනානි දයාරත්න, ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පිරිස්, ෆයිසර් මුස්තාපා සමඟ ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තෆා මහතා පෙත්සම්කාර නීතිඥ සංගමයේ සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටියහ.

පුත්තලම මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවන්දුරුගොඩ, එම අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, වාරියපොළ බන්ධනාගාර අධිකාරීවරයා, බන්ධනාගාර ගත වූ නීතිඥ එස්.ඒ.පී. උදයංගනී, නීතිපතිවරයා මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවෝ වෙති.

නෙල්කා මැදගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT