බැලූ බැලූ සෑම අතම සරුසාර එළවළු වගාවන්ය. එක් පසෙකින් සරුවට වැඩුණු රාබු වගාවකි. අනෙක් පසෙන් වම්බටු, බටු, මිරිස්, මෑ, පතෝල, කරවිල, බෝංචි, දියලබු ඇතුළු එළවළු වර්ග වගා කර ඇති බිම් ය. තවත් දුර ඇවිද ගියවිට අල වර්ග වගා කළ බිම්ය. අඹ හා පොල් වගාවන් සහ සරුවට වැඩුණු කුරුඳු වගාවන්ය.
මේ සරුබිම පිහිටා ඇත්තේ මීගමුව, දළුපොත, පල්ලන්සේන පිහිටි තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේය. අක්කර 37ක වපසරියක පිහිටා ඇති මෙම මධ්‍යස්ථානයේ අක්කර 30කට ආසන්න භූමි ප්‍රමාණයක ඉහත කී බෝග වගාවන්ට අමතරව පොල්, පුවක්, පේර, කෙසෙල්, ගස්ලබු, කොච්චි, බිමල් වගාවද සරුසාරව සිදු කෙරෙන්නේය. මේ සඳහා වෙහෙසෙන රැඳවූවන් සංඛ්‍යාව 400ක් පමණ වෙයි.
මේ සියලු වගාවන් සිරකරුවන්ගේ දෑතින් පස සකස් කර, වස විස නැතිව සකස් කළ පොහොර යොදා වේලාවට වතුර දමා නිසි කලට අස්වැන්න නෙළා ගන්නේය. මෙහි සිටින තරුණ රැඳවූවන් තමන් දැනුම්වත්ව හෝ නොදැනුම්වත්ව සිදු කළ වරදට කෙටි කාලයකට අධිකරණය මගින් දඬුවම් නියම කළ අයයි. නිවෙස්වල සිටින සමයේ කැත්ත, උදැල්ල නොඇල්ලූ ඔවුන් හරිහරියට එළවළු, පලතුරු වගා කරන්නේ පාරම්පරික ගොවීන් මෙනි. මේ සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම උපදේශකවරුන්ගෙන් ලැබෙන්නේ නොමඳ සහායකි.
මේ තරුණ දෑත් ගොවිතැනට හුරු කර වවන බෝගවල අස්වැන්න බන්ධනාගාරවල රැඳවූවන්ගේම ආහාර සඳහා යොදා ගනු ලබයි. එමෙන්ම ඒවායෙහි අතිරික්තය සාමාන්‍ය වෙළෙඳපොළට නිකුත් කර ආදායම් ඉපැයීමෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අතිරේක ආදායම් හිමිකර දෙයි. විශේෂයෙන්ම පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ අක්කර තුනකට ආසන්න භූමියක වූ සරුසාර කුරුඳු වගාව බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ඉහළ ආදායම් හිමිකර දෙන්නේය. මුල් කාලයේදී කුරුඳු තැළීමට පුහුණු තැළුම්කරුවන් නොමැතිවීම නිසා එම කටයුතුවලදී අපහසුතා රැසක් මතුවුණේය. මේ පිළිබඳව එම විශෝධනන මධ්‍යස්ථානයේ සහකාර බන්ධනාගාර අධිකාරි සමන්ත ලියනගේ මහතා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ අවධානයට යොමු කර එම උපදේශකත්වය මත දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් රැඳවූවන්ට පුහුණුව ලබාදෙන ලදි. එහිදී රැඳවූවන් 20ක් සහ එම විශෝධන කඳවුරේ නිලධාරීහු කිහිපදෙනෙක් ඒ සඳහා මනා පුහුණුවක් ලැබූහ. ඒ අනුව දැන් එම විශෝධන මධ්‍යස්ථානයේදී රැඳවූවන් විසින් තළන කුරුඳු (ඉස්තරම් වර්ගය) කිලෝවක් රුපියල් 3000 – 4000ක් අතර මිලකට අලෙවි වෙයි. ඉතිරි කුරුඳු එම විශෝධන මධ්‍යස්ථානය ඉදිරිපිට ඇති එළවළු, පලතුරු ඇතුළු බෝග අලෙවිසලෙහි මහජනතාවට අලෙවි කරයි. හොඳම තත්ත්වයේ කුරුඳු අලෙවිය සඳහා ටෙන්ඩර් කැඳවීමක් ද සිදුකරනු ලබයි. දවසකට මෙම විශෝධන මධ්‍යස්ථානයේ රැඳවූවන් විසින් තළා සකසන කුරුඳු නිෂ්පාදනය කිලෝග්‍රෑම් 100 ඉක්මවයි. ඒ අනුව දිනකට මෙම කඳවුරේ නිෂ්පාදනය වන කුරුඳුවල වටිනාකම රුපියල් ලක්ෂ 1 -2 දක්වා වෙයි. මේවා අලෙවියෙන් උපයන ආදායම බන්ධනාගාර දෙපාර්තමේන්තුවට මෙන්ම දේශීය ආර්ථිකයට ද විශාල සවියක් වන්නේය.
කුරුඳු භෝගයට පසු මෙම විශෝධන කඳවුරෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට වැඩිම ආදායම් ලබා දෙන්නේ බිම්මල් වගාවයි. මේ සඳහා පුහුණුව ලැබූ රැඳවූවන් නිෂ්පාදනය කරන බිම්මල් කිලෝග්‍රෑම් 100ක් පමණ දවසකට අස්වැන්න වශයෙන් නෙළාගනී. මේ බිම්මල් නියමිත උෂ්ණත්වයේ බොයිලේරුවල සකසා නිසි ප්‍රමිතියට පැකට් කෙරෙන අතර දිනකට බිම්මල් පැකට් 100ක් -150ක් අතර ප්‍රමාණයක් නිපදවනු ලබයි. මේ බිම්මල් පැකට්ටුවක තොග මිල රුපියල් 130ක් පමණ වන අතර සිල්ලර මිල රුපියල් 160කි. බිම්මල් වෙෙළඳාමෙන් පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානය දිනකට උපයන ආදායම රුපියල් 10,000කි. මාසික ආදායම රුපියල් ලක්ෂ 3 -4ක් අතර වේ. පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානයේ නිෂ්පාදිත බිම්මල් සඳහා මේ වනවිට ඒ අවට හෝටල් සහ අලෙවිසල්වලින් ඉහළ ඉල්ලුමක් තිබේ. එය තව තවත් වර්ධනය කර සංචාරක හෝටල්වලට ලබාදීමටත් චීනය ඇතුළු විදෙස් රටවලට මෙම නිෂ්පාදන අපනයනය කිරීමට ඇති හැකියාව පිළිබඳව රජයේ අවධානය යොමු කිරීමටත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.
එමෙන්ම බිම්මල් තවම රැඳවූවන්ගේ ආහාර වේලට එක් කිරීමට නීතිමය අවසරයක් නැත. මස්, මාංස වෙනුවට එම පෝෂණ ගුණය රැගත් බිම්මල් රැඳවූවන්ගේ ආහාර වේලට එක් කිරීමට හැකිනම් එය ද වූ වාසිසහගත කරුණකි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළින් දේශීය ආර්ථිකයට ද මනා දායකත්වයක් සපයන ගෘහස්ථව සිදුකරන මෙම නිෂ්පාදන ද්විත්වය හැර එළිමහන් බිම් දෙස බැලූ බැලූවිට පෙනෙන්නේ හරිත වර්ණයෙන් දිදුලන වගා බිම්ය. මේ තුළින් නව කෘෂිකාර්මික ප්‍රවේශපත් කරා රැඳවූවන් යොමු කරන හරිතාගාර වගාව (Green House) පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානයේ කෘෂිකාර්මික අංශයෙ වඩාත් කැපී පෙනෙන අංශයකි. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ සංකල්පයක් මත ඉදිවූ මේ හරිතාගාරය රැඳවූවන්ගේ කෘෂිකාර්මික දැනුම ඉහළට ඔසවා තබයි. එම හරිතාගාරය තුළ සරුවට වැඩුණු කොච්චි වගාවකි. විසිරුම් හා බිංදු ජල තාක්ෂණය යොදාගනිමින් රැඳවූවන්ගේ දෑතින් සරුවට වගා කරන මෙම කොච්චි වගාවෙන් නෙළා ගන්නා අස්වැන්න වෙළෙඳපොළට අලෙවි කරන්නේ කිලෝවක් රුපියල් 1500ක් වැනි මුදලටයි.
බැලූ බැලූ අත හරිත වර්ණයෙන් ඔප්නැංවුණු මෙම විශෝධන මධ්‍යස්ථානයේ උඩරට, පහතරට එළවළු, අල වර්ග, සියලුම පලා වර්ග, අඹ වර්ග වගා කරයි. මේ නිෂ්පාදනවලින් කිලෝ 300 – 500ක් අතර ප්‍රමාණයක් සෑම දිනකම මීගමුව, මහර, මැගසින්, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය සහ වැලිකඩ බන්ධනාගාරය වෙත ප්‍රවාහනය කරන්නේ එම බන්ධනාගාරවල රැඳවූවන්ගේ දෛනික ආහාර වේල් සඳහා එක්කර ගැනීමටය. අප පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානයට යනවිට වගාබිම් අසල ගොඩ ගසා තිබූ එළවළු, පලතුරු වර්ග රැසක් විය. එදින මහර බන්ධනාගාරයට, මීගමුව, මැගසින් සහ රිමාන්ඩ් බන්ධනාගාරයට පැටවීමට තිබූ එළවළු, අඹ සහ කීර ප්‍රමාණය කිලෝ 450 ඉක්මවා තිබිණි. හොඳින් වැඩුණු බණ්ඩක්කා, රාබු, මෑකරල්, වට්ටක්කා, කීර වර්ග, අඹ, බටු ඒ අතර විය.
මෙම රැඳවූවන්ගේ කෘෂිකාර්මික හැකියාවන් අගයමින් අදහස් දක්වන පුනරුත්ථාපන නිලධාරි ජයන්ත අදාසූරිය මහතා පෙන්වා දෙන්නේ මෙම විශෝධන මධ්‍යස්ථානයේ කෘෂිකර්මාන්තයේ යෙදී සිටින බහුතරයක් රැඳවූවන් සමාජගත වන්නේ දක්ෂ ගොවීන් මෙන්ම ව්‍යවසායකයන් බවට පත්වෙමින් බවයි. මෙම බන්ධනාගාරයේ ක්‍රියාත්මක වන ‘හරිතාගාර’ සංකල්පය නවීන කෘෂිකර්මාන්තයට රැඳවූවන්ව යොමු කරන අතර, නිදහස ලබා යන ඔවුන්ට එය නවජීවනෝපාය ක්‍රමයක් ලෙස යොදාගත හැකි බවයි අදාසූරිය මහතා පෙන්වා දෙන්නේ. බන්ධනාගාර රැඳවූවන්ට ජීවනෝපාය ක්‍රම හඳුන්වාදීම වගේම බන්ධනාගාර දෙපාර්තමේන්තුවට හොඳ ආදායමක් මෙන්ම රටට බරක් නැති පුද්ගලයකු බන්ධනාගාරයකින් සමාජගත කිරීමට මේ තුළින් හැකිවීම ඉතා වැදගත් බව ද ඒ මහතා අවධාරණය කර සිටියි.
මේ සරුසාර බිමට හිමිකම් කියන දළුපොත, පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය භාර සහකාර බන්ධනාගාර අධිකාරි සමන්ත ලියනගේ මහතා පෙන්වා දෙන්නේ මෙම බන්ධනාගාරය රටට ණය නැති බවයි. ‘සිරකරුවන් රැකබලා ගැනීම වගේම පුනරුත්ථාපනය ද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වගකීමක්. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ උපදේශකත්වය යටතේ අප මෙම බන්ධනාගාරයේ කෘෂිකර්ම අංශය ඉතාම දියුණු තත්ත්වයකට ගෙනැවිත් තිබෙනවා. ඒ වගේම මෙහි කර්මාන්ත අංශය, වඩු වැඩ, පෙදරේරු, කම්හල්, බේකරි අංශවලින් ද රැඳවූවන්ගේ දායකත්වය තුළින් ජාතික ආර්ථිකයට විශාල මුදලක් දායක කර තිබෙනවා. 2024 වසරේදී දළුපොත, පල්ලන්සේන මෙම විශෝධන මධ්‍යස්ථානයේ නිෂ්පාදන මඟින් රුපියල් දෙකෝටි හාර ලක්ෂයක මුදලක් දායක කළා. 2023 වසරේදී ජාතික ආර්ථිකයට දායක කළ මුදල 11,099,622 ක්.
අප දැන් යන්නේ දුෂ්කර ගමනක. බන්ධනාගාරය රටට බරක් නොවී, දේශීය ආර්ථිකයට දායකවීමට ලැබීම පොදුවේ අප රැඳවූවනුත්, බන්ධනාගාර නිලධාරීනුත් ලද ජයග්‍රහණයක්. මේ රැඳවූවන් හිරෙන් නිදහස් වෙලා ගියාම ඔවුන්ට රැකියාවක නිරත වන්න කෘෂිකර්ම දැනුම, කර්මාන්ත දැනුම, වඩු වැඩ, පෙදරේරු වැඩ මේ ආදී බොහෝ දැනුම ඔවුන්ට ලබා දී තිබෙනවා. විශේෂයෙන්ම බිම්මල් වගා ව්‍යාපෘතියට තරුණ සිරකරුවන් බොහෝ උනන්දුවෙන් එකතුවී සිටිනවා. නව රජයේ ප්‍රතිපත්තිය හා දැක්ම අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව රටට බරක් නොවී , රාජ්‍ය භාණ්ඩාගාරයට බරක් නොවී ඉදිරියට යාමට මෙවැනි ව්‍යාපෘති වෙනත් බන්ධනාගාරවලත් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.ඒ වගේම රැඳවූවන්ට වසවිස නැති නැවුම් එළවළු ඇතුළු බෝග ඔවුන්ගේ ආහාරවේලට එක්කර ගැනීමට මේ තුළින් හැකිවෙලා තිබෙනවා. මේ පල්ලන්සේන විශෝධන කඳවුර, බන්ධනාගාර දෙපාර්තමේන්තුවටත් රටටත් බරක් නැති ආයතනයක්. සමන්ත ලියනගේ මහතා පවසන්නේ මහත් අභිමානයෙන්.
බුද්ධිකා ඉඹුලාන
ඡායාපරූප – රුක්මාල් ගමගේ