Home » අධිවේගී මාර්ග යළි පණගැන්වීම රටේ සංවර්ධනයට කදිම අවස්ථාවක්

අධිවේගී මාර්ග යළි පණගැන්වීම රටේ සංවර්ධනයට කදිම අවස්ථාවක්

by sachintha
April 1, 2025 4:00 pm 0 comment

පසුගිය අවුරුදු කිහිපය තුළ අපේ රට දැඩි ආර්ථික අර්බුදයක් වෙත ගොදුරුව පැවැතුණි. එහි ප්‍රතිඵලය වූයේ මෙරට අවුරුදු ගණනාවක් එක තැන නැවතීමයි. එයට හේතුවූයේ මෙරට ආර්ථිකය අක්‍රිය වීම නිසා රට තුළ ක්‍රියාත්මක වූ සංවර්ධන ව්‍යාපෘති සියයකට වැඩි ප්‍රමාණයක් නැවතී යාමය.

 

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වාත්, කුරුණෑගල සිට ගලගෙදර දක්වාත් ඉදිකිරීම් ඉදිරියේදී කඩිනම් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මැදහත් වීම මත ආරම්භ කිරීමට තීරණය කර තිබේ. එසේම අධිවේගී මාර්ගවල ඉදි නොකළ කොටස් නැවත කඩිනමින් ඉදිකිරීම් ආරම්භ කර මෙරට ජාතික අධිවේගී මාර්ග පද්ධතිය වෙත එකතු කිරීම මඟින් මෙරට ආර්ථිකය වෙත සැලසෙන සේවය කෙබඳුද ? එමඟින් මෙරට ආර්ථිකය ප්‍රසාරණය වන්නේ කෙසේද? මෙරට සංචාරක කර්මාන්තය සඳහා මෙම අධිවේගී මාර්ග ඉදිකිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවාද ආදී කරුණු කාරණා පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා දැක් වූ අදහස් ඇසුරෙන් මෙම ලිපිය සැකැසුණි.

පසුගිය අවුරුදු කිහිපය තුළ අපේ රට දැඩි ආර්ථික අර්බුදයක් වෙත ගොදුරුව පැවැතුණි. එහි ප්‍රතිඵලය වූයේ මෙරට අවුරුදු ගණනාවක් එක තැන නැවතීමයි. එයට හේතු වූයේ මෙරට ආර්ථිකය අක්‍රිය වීම නිසා රට තුළ ක්‍රියාත්මක වූ සංවර්ධන ව්‍යාපෘති සියයකට වැඩි ප්‍රමාණයක් නැවතී යාමය. ඒ ව්‍යාපෘති රාශිය අතර මෙරට ආර්ථිකය ප්‍රසාරණය වීමට සහ ආර්ථිකයේ සක්‍රිය භාවයට විශාල ලෙස බලපානු ලබන අංග බවට පත්ව තිබෙන අධිවේගී මාර්ග ව්‍යාපෘතිද එකතැන නැවතී තිබීම නිසා රට ඉදිරියට ගමන් ගත් රිද්මය ද බිඳ වැටුණි. පසුකාලීනව මධ්‍යම අධිවේගී මාර්ගයේ මැද කොටස වන මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස විවෘත කළද එමඟින් ආර්ථිකයට සහ සමාජයට ලැබිය යුතු ශක්‍යතාවය නොලැබුණි.

ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම

මෙසේ මෙම අධිවේගී මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය එකතැන නැවතීමට ප්‍රධාන හේතුවක් බවට පත් වූයේ අප රට බංකොලොත් රටක් බවට පත් වීමත් අප රටේ විදෙස් සංචිත විශාල ලෙස පහළ යාමත් යන කරුණුය. ඒ නිසා අධිවේගී මාර්ග ඇතුළු සංවර්ධන කටයුතු සඳහා වූ විදෙස් ආධාර මෙරටට නොලැබිණි. එහි ප්‍රතිඵලය වූයේ මෙම සංවර්ධන කාර්යයන් එකතැන නැවතීමය. එයට හේතු වූයේ ණය ලබා දෙන රාජ්‍ය සහ සංවිධාන බංකොලොත් වූ රටක් වෙත ණය මුදල් ලබා දීම සහ අවශ්‍ය කරනු ලබන සහාය ලබා දීම නොකළ අතර එහි ප්‍රතිඵලය වූයේ අධිවේගී මාර්ග සහ සෙසු සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක නොවීමය. එහෙත් එය මෙරට ආර්ථික සහ සමාජ ක්‍රියාකාරීත්වයට බලවත් පහරක් බවට පත්ව තිබුණි. ඒ නිසා මෙරට ආර්ථිකය එකතැන නැවතීම නිසා රටේ ආර්ථිකය මෙන්ම සංවර්ධන කාර්යයද දැඩි බාධාකාරී තැනකට පත්ව තිබුණි.

එහෙත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සමඟ මෙරට එකතැන සිරවීමකට ලක්ව තිබූ ආර්ථිකය නැවත කෙමෙන් සක්‍රිය වීම ආරම්භ වූ අතර එසේ සක්‍රිය වූ ආර්ථිකයත් සමඟ රට තුළ නැවත සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කළ හැකි ආර්ථික තත්ත්වයක් ලැබුණි. එම සංවර්ධන ක්‍රියාකාරකම් නැවත ඇරඹීම අනිවාර්ය දෙයක් බවට පත් විය. එසේ නොවුණහොත් මෙරට ආයෝජකයන් නැවත ආකර්ෂණය කර ගැනීම, අන්තර් ජාතික විශ්වාසය ඇති කර ගැනීම ඇතුළු කරුණු රැසකට බාධා ඇති විය හැකි තත්ත්වයක් තිබුණි.

උදාහරණයක් ලෙස මෙරට අධිවේගී මාර්ග පද්ධතියේ ප්‍රධානම මාර්ගයක් ලෙස සැලකෙන කඩවත – මහනුවර අධිවේගී මාර්ගය ඉදිකිරීම 2015දී ආරම්භ වූ අතර එම මාර්ගයේ ආරම්භක කොටස වන කඩවත – මීරිගම සහ කුරුණෑගල මහනුවර කොටස ඉදිකිරීම් සම්පූර්ණ නොවී මීරිගම කුරුණෑගල කොටස පමණක් ඉදිකිරීම් සම්පූර්ණ කර ජනතා අයිතියට පත් වුවද එම මාර්ගයෙන් මෙතෙක් ලබා ගත යුතුව ඇති ප්‍රයෝජනයෙන් අඩක්වත් සපුරා ගැනීමට හැකියාව ලැබී නැත. එම මාර්ග කොටසේ වාහන අඩු ප්‍රමාණයක් ධාවනය වීමත් එයින් ජාතික පද්ධතියට ලැබිය යුතු දායකත්වය නොලැබීමත් නිසා මෙම මාර්ග කොටස ඉදිකිරීමෙන් ලැබිය යුතු ආර්ථික ප්‍රතිලාභ මෙතෙක් ලැබී නොමැත. විශාල මුදල් ආයෝජනයකින් ඉදිකළ මෙම මාර්ගය නිසි ප්‍රයෝජනයකට නොගෙන තිබීම තුළ සිදුවන්නේ සිදුකළ ආයෝජනයේ ප්‍රතිලාභ නිසි ලෙස නොලැබී යාමය. ඒ නිසා මෙම මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටස කඩිනමින් ඉදිකිරීමට කටයුතු කිරීමට රජය තීරණය කිරීම ඉදිරිගාමී සහ ආර්ථිකය ශක්තිමත් කරනු ලබන වැදගත් පියවරක් ලෙස සඳහන් කළ හැකිය.

 

ආර්ථික ප්‍රතිලාභ

මෙරට මුල්ම අධිවේගී මාර්ග කොටස වන කොට්ටාව සිට ගාල්ල දක්වා කොටස ඉදිකිරීම සිදු කර වාහන ධාවනය සඳහා ඉඩ ලබා දුන්නද එම මාර්ගයෙන් අපේක්ෂා කළ තරමේ ආර්ථික සහ සමාජ ප්‍රතිලාභයක් නොලැබුණි. එහෙත් මෙම මාර්ගය සූරියවැව දක්වා දීර්ඝ කර වටරවුම් මාර්ගය ඔස්සේ කටුනායක ගුවන්තොටුපොළ දක්වා සම්බන්ධ කිරීම නිසා අද වන විට මෙම මාර්ගයෙන් ලැබිය යුතු ප්‍රතිලාභය ඉතාමත් හොඳින් මෙරට ආර්ථික ක්‍රියාවලියට ලැබෙමින් පවතී. එම මාර්ගය මධ්‍යම අධිවේගයටද සම්බන්ධ වීමට අවශ්‍ය කරනු ලබන කඩවත කුරුණෑගල කොටස සම්පූර්ණ වීම තුළ මධ්‍යම අධිවේගයේ වටිනාකමද ඉහළ යන අතර රටක මාර්ග පද්ධතිය මේ ආකාරයට දියුණු වීම තුළ මෙරට ආර්ථික වර්ධනය, ආයෝජකයන්ගේ ආකර්ෂණය පමණක් නොව සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම සඳහා ද මෙම මාර්ග සංවර්ධනය තුළ විශාල අවස්ථා උදාකර ගැනීමට හැකියාව තිබේ.

තවද කටුනායක ගුවන්තොටුපොළ ප්‍රතිසංස්කරණය කිරීම වරාය සහ වරාය නගරය වෙත ඉදිවන ගුවන් මාර්ගය ද මෙරට ආර්ථිකය නැවත ප්‍රකෘති කර ගැනීමට මෙන්ම ආර්ථික වර්ධන වේගය දීර්ඝ කාලීනව ආරක්ෂා කර ගැනීමට අවස්ථාවක් උදාවී තිබේ. ඒ තත්ත්වය තුළ අඩපණ වී තිබෙන මෙම කාර්ය නැවත ආරම්භ කිරීමට ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග මෙරට ආර්ථික සහ සාමාජීය පාර්ශ්වවලට හොඳ සහායක් ලබා දීමක් ලෙස සැලකිය හැකිය.

අද වන විට මෙරටේ ආර්ථික වර්ධනය නැවත නැඟී සිටිමින් පවතී. 2024 වර්ෂයේ සංඛ්‍යා දත්ත අනුව ආර්ථික සංවර්ධන වේගය සැලකිය යුතු මට්ටමකට පත්ව තිබේ. එහෙත්, රට තවමත් සම්පූර්ණයෙන්ම ප්‍රකෘති තත්ත්වයට පත්ව නැත. රට යළිත් ඕනෑම අවස්ථාවක පහළට වැටීමේ අනතුරක් ඇත. ඒ නිසා සියලු තීන්දු තීරණ ගත යුතුව තිබෙන්නේ රට පිළිබඳ අවධානය යොමු කරමිනි. එනිසා රට තුළ ස්ථාවරභාවය දීර්ඝ කාලීනව ආරක්ෂා කර ගත හැකි පියවරක් වෙත ගමන් කළ යුතුව තිබේ. එහිදී ආර්ථිකය බලගැන්විය හැකි අධිවේගී මාර්ග ව්‍යාපෘති ඇතුළු මාර්ග සහ සංවර්ධන ව්‍යාපෘති ඇති කිරීම හොඳ ප්‍රවේශයකි.

ව්‍යාපාරික අවස්ථා රැසක්

අනෙක් අතින් ගත හැකි තවත් කරුණක් වන්නේ මෙවැනි මහා පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රම ආරම්භ වීම තුළ මෙරට රැකී රක්ෂා සහ ව්‍යාපාරික අවස්ථා රැසක් විවෘත වේ. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රාදේශීය සමාජීය සංවර්ධනයටද අවස්ථා සැලසේ. මෙය දීර්ඝ කාලීනව ප්‍රාදේශීය මට්ටමට හොඳ අවස්ථාවකි. තවද අධිවේගී මාර්ග පද්ධතිය පුළුල් ලෙස විහිදී යාම නිසා දුර බැහැර ප්‍රදේශවල ඇති ග්‍රාමීය නිෂ්පාදන කඩිනමින් නගර වෙත ගෙන ඒමට හැකියාව ලැබේ. ඒ තුළින් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් වන අතර එහි ප්‍රතිඵලය බවට පත්වන්නේ ගමේ සිටින සාමාන්‍ය ගොවියාට ද ආර්ථික ප්‍රතිලාභ විශාල ලෙස ලැබීමය.

මෙරටට වඩාත් පහසුවෙන් විදෙස් සංචාරකයන් ආකර්ෂණය කර ගත හැක්කේ අඩු පැකේජ්වලට මෙරටට සංචාරකයන් ගෙන්වා ගැනීම කෙරෙහිය. අද තත්ත්වය තුළ දින දෙකක සංචාරයකදී සාමාන්‍ය ලෙස ආවරණය කළ හැක්කේ කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශය. එහෙත්, මධ්‍යම අධිවේගී මාර්ගය පූර්ණ කිරීම තුළ දින දෙකක හෝ තුනක සංචාර සඳහා පැමිණෙන සංචාරකයන් වෙත මෙම මාර්ග පද්ධති භාවිත කිරීම මඟින් වඩාත් පුළුල් සංචාරක අත්දැකීමක් ලබාගත හැකිය. මහනුවර, කුරුණෑගල, අනුරාධපුර සහ දකුණු කොළඹ ඇතුළු කලාප රැසක අත්දැකීම් අධිවේගී මාර්ග පද්ධතිය පූර්ණ වීම තුළ ලබා ගැනීමට පුළුවන. අප රටට පැමිණෙන සංචාරක ප්‍රමාණය වැඩි කර ගැනීමට ද, ඔවුනට පුළුල් අත්දැකීම් ලබා දෙන අතර විදේශ විනිමය වැඩි වැඩියෙන් දිනා ගැනීමටද හැකියාව ලැබෙන්නේ එවිටය.

උදිත ගුණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT