Home » සතීෂාත් සියලු දෙනා හඬවමින් කථිකාචාර්ය ගයන්ත අසළින් මිහිදන් වෙයි

සතීෂාත් සියලු දෙනා හඬවමින් කථිකාචාර්ය ගයන්ත අසළින් මිහිදන් වෙයි

by chanaka
April 1, 2025 1:31 pm 0 comment

මීරීගම – මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉකුත් 18වැනිදා මධ්‍යම රාත්‍රියේ සිදු වූ බිහිසුණු මාරක රිය අනතුරින් මරුමුවට පත් වු කැලණිය විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යා ඒකක ප්‍රධානි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගුණේන්ද්‍ර ගයන්ත මහතාගේ බිරිය වූ සතීෂා නිලන්ති මහත්මිය ද තම තුන් නිවුන් දරුවන් අතහැර පසුගියදා 26වැනිදා ජීවිතයෙන් සමු ගත් අතර, ඇයගේ අවසන් කටයුතු සෙනසුරාදා (29) සිදුවිය.

මොවුන් වාහන සේවා ආයතනකින් ලබා ගත් වෑන් රථයකින් වන්දනා ගමනට කථිකාචාර්යවරයා සමඟ බිරිය සතීෂා නිලන්ති, ඇයගේ නිවුන් දරුවන් තිදෙනා, මව, සොහොයුරා, සොහොයුරාගේ බිරිය හා නිවුන් දරුවන් බලා ගැනීමට ආචාර්යවරයාගේ ගෝලයකු ද ඇතුළත් වූහ.

මේ වන්දනා ගමන නිම කර නැවත ඉකුත් 18වැනිදා තම නිවෙස් බලා ඔවුහු පැමිණෙමින් සිටියහ. එහිදී ඔවුන් ගමන් ගත් වෑන් රථය ඵහි රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම අධිවේගී පිවිසුම ආසන්නයේදී සිමෙන්ති පටවා ගත් ලොරි රථයක ගැටී අනතුරට ලක්විය. මේ අනතුර සිදුවන විට වෑන් රථය මීරිගම දෙසට ධාවනය වූ අතර එම දිශාවටම ඉදිරියෙන් ලොරිය ධාවනය වෙමින් තිබී ඇත. මේ අනතුර සිදු වූ ස්ථානයේදීම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා මරුමුවට පත්විය. ඊට දින හතරකට පසුව (22) බිරියගේ එකම සහෝදරයා වූ රවිදු තීක්ෂණ මහතා (35) මරුමුවට පත්විය. රවිදු තීක්ෂණ මහතා තම බිරිය සමඟ ඩුබායි රැකියාවක නිරත වී සිටියහ. එම යුවළ මෙරටට පැමිණියේ ද තම පියාණන්ගේ වර්ෂ පූර්ණ පින්කම වෙනුවෙනි. මේ අනතුරේදී තුවාල ලැබූ නිවුන් දරුවන් තිදෙනා කොළඹ ළමා රෝහලට ඇතුළත් කළ අතර එම දරුවන් සුවය ලැබීමෙන් පසු ඥාතීන් වෙත භාර දෙන ලදි.

එසේම සෑම දෙනාම දැඩි වේදනාවකට පත් කරමින් පසුගියදා 26වැනිදා මරණයට පත්වූයේ මාකොළ-දකුණ, රන්කෙත්යාය පාර, ගාමිණී මාවතේ පදිංචිව සිටි තුන් නිවුන් දරුවන්ගේ මව වන නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ ප්‍රජා සංවර්ධන සහකාර සතීෂා නිලන්ති නමැති 42 හැවිරිදි කාන්තාවයි.

ඇය 1983 වසරේ නොවැම්බර් මස 22 වැනි දින උපත ලබා තිබූ අතර ඇය, කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේ ආදි සිසුවියකි. 2016 වසරේදී ආදර සබඳතාවකින් කථිකාචාර්ය ගුණේන්ද්‍ර ගයන්ත මහතා සමඟ විවාහ වූ ඇයට විවාහ වී වසර හයකට පමණ පසුව මේ නිවුන් දරුවන් තිදෙනා ලැබුණි.

ඉකුත් 12 වැනිදා සතිෂා නිලන්ති මහත්මියගේ ආදරණීය පියාණන් අභාවප්‍රාප්ත වී වසරක් පිරීම නිමිති කරගෙන බෞද්ධයා නාළිකාවේ ධර්ම දේශනාවක් පවත්වා පසුදින (13) දහවල් ගොතටුව නව නගරයේ බටදොඹ ගාඩ්න්ස් පිහිටි නි‍‍ෙවසේදී ගරුතර සංඝරත්නය උදෙසා සපිරිකර සංඝගත දක්ෂිණාවක් ද පිරිනැමිණි. එම ගුණ සමරු පින්කම නිමාවට පත්වීමෙන් අනතුරුව 15වැනිදා පවුලේ උදවිය යාපනය, නාගදීපයේ තෙදිනක වන්දනා ගමනක නිරතවූහ.

දරුවන්ට අවුරුදු 02 ලබන්නා වු අද(01) නි‍වසේ උපන් දින සාදයක් පැවැත්වීමට ද මවුපියන් කටයුතු කර තිබිණි. මියගිය කථිකාචාර්යවරයාගේ බිරිය සතීෂා නිලන්ති මහත්මියගේ දේහය මාලඹේ මල් ශාලාවක තැන්පත් කර පසුගියා 29වැනිදා දහවල් මාකොළ-දකුණ,රන්කෙත්යාය පාර,ගාමිණී මාවතේ පිහිටි සිය නිවෙසට රැගෙනවිත් තිබුණි.

එදිනම පස්වරුවේ මාකොළ, නෙල්ලිගහවත්ත පොදු සුසාන භුමියේ විශාල පිරිසකගේ සෝ සුසුම් මැද දේහය භුමදාන කෙරුණේ ඇයගේ ස්වාමිපුරුෂයා වූ අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගුණේන්ද්‍ර ගයන්ත මහතාගේ දේහය මිහිදන් කර ඇති ස්ථානයේ දීම වීම සංවේදී කරුණක් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT