Home » එන්එස්එල් සිවුදින ක්‍රිකට් දඹුලු ක්‍රීඩකයෝ කඩුලු 8කින් ජය ගනිති

එන්එස්එල් සිවුදින ක්‍රිකට් දඹුලු ක්‍රීඩකයෝ කඩුලු 8කින් ජය ගනිති

by sachintha
March 31, 2025 4:23 pm 0 comment

අකිල ධනංජයගේ විශිෂ්ට පන්දු යැවීමත්, පවන් රත්නායක සහ නායක ධනංජය ද සිල්වාගේ ශතකයත් හේතුවෙන් කොළඹ කණ්ඩායම සමඟ පැවති තරගයෙන් කඩුලු 8ක ජයක් හිමිකර ගැනීමට දඹුල්ල කණ්ඩායම ඊයේ සමත් විය.

එන්එස්එල් සිවුදින ක්‍රිකට් තරගාවලිය යටතේ දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් කොළඹ පිල පළමු ඉනිමට රැස් කළ 300ට පිළිතුරු ලෙස ලකුණු 400ක් රැස් කිරීමට දඹුලු පිල සමත් විය. ලකුණු 100ක් පසුපසින් දෙවැනි ඉනිම ඇරඹූ කොළඹ පිල ලකුණු 232කට දැවී ගියේ දඹුල්ල ලකුණු 133ක ඉලක්කයක් දෙමිනි. එම ඉලක්කය කඩුලු 2ක් දැවී තිබියදී සපුරා ගැනීමට දඹුල්ල කණ්ඩායමට හැකි විය.

දඹුලු දෙවැනි ඉනිම වැනසූ අකිල ධනංජය ලකුණු 104කට කඩුලු 7ක් දවාගත් අතර, මින් පෙර තරගයේදී ද ඔහු ඉනිමකදී කඩුලු 7ක් බිඳ දැමීමට සමත්ව තිබිණි. මේ තරගයේ පළමු ඉනිමේ ලකුණු 91කට කඩුලු 3ක් දවා ගැනීමට ද ඔහුට හැකි විය.

දඹුලු පළමු ඉනිමේදී පවන් රත්නායක ලකුණු 163ක් සහ නායක ධනංජය ද සිල්වා ලකුණු 142ක් රැස් කිරීමට සමත් වූහ. 26 වැනි පළමු පෙළ ශතකය රැස් කළ ධනංජය පන්දු 202කදී හතරේ පහර 13ක් සහ හයේ පහරක් එල්ල කළ අතර, පවන් රැස් කළේ 9 වැනි ශතකයයි. ඊට පන්දු 255කදී හතරේ පහර 22ක් ඇතුළත් විය.

කොළඹ පිල වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ශතකයක් (119) සහ අර්ධ ශතකයක් (92) රැස් කරමින් ඉනිම දෙකේම වැඩිම ලකුණුලාභියා විය.

මේ අතර යාපනය සහ මහනුවර අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගය ඊයේ ජය පරාජයෙන් තොරව නිමා විය.

මේ සතියේ කැපී පෙනෙන පිතිකරු බවට පත්වූ රවිඳු රසාන්ත සිය පළමු පෙළ දෙවැනි ද්විත්ව ශතකය ලෙස නොදැවී ලකුණු 206ක් රැස කිරීමට සමත් වූයේ යාපනය දෙවැනි ඉනිමේදීය. අවාසනාවන්ත ලෙස ඔහුට පළමු ඉනිමේදී ශතකය අහිමි වී ගියේ ලකුණු 3කිනි.

නිරෝෂන් දික්වැල්ල ද යාපනය දෙවැනි ඉනිමේදී ශතකයක් (113) රැස් කිරීමට සමත් විය.

23 හැවිරිදි රවිඳු පසුගිය ජනවාරි මස පළමු පෙළ මංගල ශතකය ද්විත්ව ශතකයකින් (244) සරසා ගැනීමට සමත් වූයේ පළමු පෙළ තුන්දින තරගාලියේදී කෝල්ට්ස් පිල නියෝජනය කරමිනි. අනතුරුව පසුගිය සතියේ කොළඹ පිලට එරෙහි ලකුණු 107ක් රැස් කළ ඔහු ඊයේ දෙවැනි ද්විත්ව ශතකය රැස් කළේ පන්දු 351කදී හතරේ පහර 26ක් එල්ල කරමිනි.

දඹුල්ලට ජය

කොළඹ පළමු ඉනිම – 300 (ඕවර 76.2) කුසල් මෙන්ඩිස් 119 (දුලාජ් සමුදිත 70/3, අකිල ධනංජය 91/3, මොහොමඩ් ශිරාස් 48/2) සහ දෙවැනි ඉනිම – 232 (ඕවර 64.5) කුසල් මෙන්ඩිස් 92 (අකිල ධනංජය 104/7, මොහොමඩ් ශිරාස් 42/3)

දඹුලු පළමු ඉනිම – 400 (ඕවර 96.1) පවන් රත්නායක 163, ධනංජය ද සිල්වා 142 (ධනංජය ලක්ෂාන් 9/4, ප්‍රමෝද් මදුෂාන් 103/4, කසුන් රාජිත 97/2) සහ දෙවැනි ඉනිම – 133/2 (ඕවර 23.3)

යාපනය – මහනුවර

යාපනය පළමු ඉනිම – 201 (ඕවර 68.1) රවිඳු රසාන්ත 97 (චමිඳු වික්‍රමසිංහ 54/5, සහන් ආරච්චිගේ 20/2) සහ දෙවැනි ඉනිම – 491/9 (ඕවර 113.4) ඉනිම අත්හිටුවන ලදි. රවිඳු රසාන්ත නොදැවී 206, නිරෝෂන් දික්වැල්ල 113, ඇන්ජලෝ මැතිව්ස් 51 (ශිරාන් ප්‍රනාන්දු 89/3, ළහිරු කුමාර 45/2)

මහනුවර පළමු ඉනිම – 332 (ඕවර 85.1) ජනිෂ්ක පෙරේරා 97 (තරිඳු රත්නායක 99/5, අසංක මනෝජ් 64/3, ජනිත් ලියනගේ 27/2) සහ දෙවැනි ඉනිම – 197/4 (ඕවර 58.1) සහන් ආරච්චිගේ නොදැවී 52, සොහාන් ඩී ලිවේරා නොදැවී 52, පැතුම් නිස්සංක 51

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT