Home » මහනුවර-සීඑච්-සීආර් සහ හැව්ලොක් ක්ලිෆර්ඩ් කුසලාන අවසන් හතරට

මහනුවර-සීඑච්-සීආර් සහ හැව්ලොක් ක්ලිෆර්ඩ් කුසලාන අවසන් හතරට

by sachintha
March 31, 2025 4:22 pm 0 comment

සියවසකට අධික ඉතිහාසයකට හිමිකම් කියන ආසියාවේ පැරණිතම ‘ක්ලිෆර්ඩ් කුසලාන’ පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට මහනුවර ක්‍රීඩා සමාජය, සීඑච් ඇන්ඩ් එෆ්සී, සීආර් ඇන්ඩ් එෆ්සී සහ හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත් විය.

අන්තර් සමාජ පළමු පෙළ ලීග් තරගාවලිය අවසානයේදී ප්‍රසාද ලකුණු සටහනේ ලැයිස්තුගත වීම අනුව අර්ධ අවසන් වටයේ සිට පැවති ක්ලිෆර්ඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය හෙට (අප්‍රේල් 1) මහනුවර පිල සහ සීඑච් පිල අතර නිත්තවෙලදී පැවැත්වෙන අතර, සීආර් පිල සහ හැව්ලොක් පිල අතර දෙවැනි අවසන් පූර්ව තරගය අනිද්දා (අප්‍රේල් 2) හැව්ලොක් පිටියේදී පැවැත්වීමට නියමිතය.

මෙවර ලීග් තරගාවලියේ ශූරතාව දිනාගනිමින් සිය අපරාජිතභාවය රැකගත් මහනුවර ක්‍රීඩකයන් පසුගියදා නිත්තවෙලදී නිමාවට පත්වූ ක්ලිෆර්ඩ් කුසලාන අර්ධ අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය ලකුණු 41-8කින් පරාජයට පත් කළ අතර, මෙවර කුසලානය අත්පත් කරගැනීමේ වැඩිම අවස්ථාව ඇති කණ්ඩායම බවට ද පත්වී සිටියි. අර්ධ අවසන් පූර්ව තරගයේ පළමු භාගය නිමා වනවිට ලකුණු 17-5කින් පෙරමුණ ගත් මහනුවර පිල එම තරගය පුරා ගෝල් 3ක් සහ උත්සාහක දිනුම් 4ක් තැබීමට සමත් වීම කැපී පෙනිණි. කෝඩුකාර ශ්‍රී ලයන්ස් පිලට රැස් කිරීමට හැකිවූයේ උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් පමණි.

සීඑච් පිල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව රත්මලානේ පැවති දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයෙන් ලකුණු 22-10ක ජයක් වාර්තා කරමිනි. එම තරගයේ පළමු භාගය අවසන් වන විට ලකුණු 19-10කින් පෙරමුණ ගත් සීඑච් ක්‍රීඩකයන් තරගය පුරා ගෝල් 2ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් රැස් කළ අතර, ගුවන් හමුදා පිලේ ලකුණු සංඛ්‍යාවට ගෝලයක් සහ දඬුවම් පහරක් එක්විය.

පසුගිය වසරේ ක්ලිෆර්ඩ් කුසලානය ජයගත් පොලිස් ක්‍රීඩා සමාජයට මෙවර අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉවත්වීමට සිදුවූයේ සීආර් පිල හමුවේ ලකුණු 31-20කින් පරාජයට පත්වීමෙනි. තරගයේ පළමු භාගය නිමා වනවිට ලකුණු 13-7කින් පෙරමුණ ගැනීමට පොලිස් පිල සමත්වූවද දෙවැනි භාගයේදී දැඩි ආක්‍රමණශීලීත්වයක් පෙන්නුම් කළ සීආර් ක්‍රීඩකයන් තරගය ජයගත්තේ ගෝල් 4ක් සහ දඬුවම් පහරක් මඟිනි. පොලිස් පිලට රැස් කිරීමට හැකිවූයේ ගෝල් 2ක් සහ දඬුවම් පහර 2ක් පමණි.

යුද හමුදා පිලට එරෙහිව ලකුණු 40-18ක ජයක් ලැබූ පසුගිය වසරේ ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලියේ අනුශූරයන් වන හැව්ලොක් පිල මෙවර අඛණ්ඩව දෙවැනි වරටත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත් විය. හැව්ලොක් පිටියේ පැවති සිවුවැනි අර්ධ අවසන් පූර්ව තරගයේ පළමු භාගයේදී ලකුණු 26-11කින් පෙරමුණගත් හැව්ලොක් පිල තරගය පුරා ගෝල් 5ක් සහ උත්සාහක දිනුමක් තැබූ අතර, යුද හමුදා පිලේ ලකුණු සංඛ්‍යාවට ගෝලයක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 2ක් එක්විය.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT