Home » බණ්ඩාරවත්ත සුසාන භූමියට හරක් මළ සිරුරු දෙකක් ගෙනත් දාලා

බණ්ඩාරවත්ත සුසාන භූමියට හරක් මළ සිරුරු දෙකක් ගෙනත් දාලා

by sachintha
March 31, 2025 4:32 pm 0 comment

බේරුවල නගර සභා බලසීමාවට අයත් බණ්ඩාරවත්ත සුසාන භූමි පරිශ්‍රයට මියගිය ගවයන් දෙදෙනකුගේ සිරුරු දෙකක් ගෙනත් දමා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසියට ප්‍රදේශවාසියකුගෙන් ලද දුරකතන ඇමතුමක් ඔස්සේ විමර්ශන සිදු කරන බව බේරුවල පොලීසිය පැවසීය.

පොලීසිය එම ස්ථානයට කඩිනමින් ළඟා වන විට සුසාන භූමි‍ය ආසන්නයේ එම මියගිය සතුන් දෙදෙනා සුසාන භූමියට ගෙනත් දමන්නට ඇතැයි සැකකරන අයගේ යැයි සිතිය හැකි සැක කටයුතු ලෙස දමා ගොස් තිබූ ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන විමර්ශන සිදු කර ඇත. ඒවායේ අයිතිකරුවන් මේ වනවිට හඳුනාගැනීමට කටයුතු කරන බව වැඩබලන බේරුවල පොලිස් ස්ථානාධිපති දයන්ත වටගෙදර මහතා පැවසීය. අනතුරුව බේරුවල නගර සභාවේ ලේකම් උත්පලා ගුණවර්ධන, මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් වන තාරක පියල්, රංගන ඉෂාර, බේරුවල පශු වෛද්‍ය නිලධාරි වෛද්‍ය මිහිර රාජ් තුෂාන් යන මහත්ම මහත්මීන් මෙලෙස මියගොස් සිටි සුසාන භූමියේ දමා ගොස් තිබූ එළ ගවයන් දෙදෙනා පරීක්ෂාවට ලක් කර පශ්චාත් මරණ පරීක්ෂණයක් ද සිදු කර සිරුරු කොටස් ලබාගෙන අනතුරුව පිටවල සුසාන භූමියේදී එම එළ ගව සිරුරු කොටස් එම නිලධාරීන් හා පොලීසිය ඉදිරියේ වළ දැමීමට කටයුතු කර තිබේ.

මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විමර්ශන සිදු කරන බේරුවල පොලීසිය ප්‍රකාශ කළේ, මෙම ගවයන් කිසියම් ප්‍රදේශයකින් සොරකම් කර රැගෙනවිත් ඇති සතුන් ද යන්න පිළිබඳ විමර්ශන සිදු කරන බවත්, පොලිස් භාරයට ගත් සුසාන භූමියේ දමා ගොස් තිබූ වාහන දෙකේ අයිතිකරුවන් ඔස්සේ මෙම සතුන්ගේ අයිතිකරුවන් හා ඊට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත්ය. පොලීසිය පැවසුවේ එම සතුන් දෙදෙනා කිසියම් රෝගයකින් පෙළී මියගියේ ද යන්න සැක කරන අතර, පශු වෛද්‍ය පරීක්ෂණ වාර්තාවලින් ඒ පිළිබඳව දැනගැනීමට හැකි බවයි.

අලුත්ගම – තුසිත කුමාර ද සිල්වා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT