Home » පාණදුර අලුත් පාලමේ සිට මොරටුව තෙක් ගාලු පාරේ විදුලි පහන් අක්‍රියයි

පාණදුර අලුත් පාලමේ සිට මොරටුව තෙක් ගාලු පාරේ විදුලි පහන් අක්‍රියයි

by sachintha
March 31, 2025 4:30 pm 0 comment

ගෙවුණු මාස 3දී මාරක අනතුරු ඇතුළු අනතුරු 30ක් වෙලා – ප්‍රදේශවාසීන්ගෙන් චෝදනා

විදුලි පහන් හදන්න ටෙන්ඩර් කැඳවූවා: කඩිනමින් හදනවා – මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්

පාණදුර අලුත් පාලම මත සිට මොරටුව නගරය දක්වා මාර්ග දෙපස විදුලි පහන් වසර ගණනාවක සිට අක්‍රියව පැවතීමෙන් පැය 24 පුරාම දහස් ගණනක් වාහන ධාවනය වන නව ගාලු පාර දැඩි අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇතැයි මාර්ගය දෙපස පදිංචිකරුවෝ පවසති.

කිලෝමීටර 6ක පමණ සම්පූර්ණ දුරකින් යුත් එම මාර්ගය එගොඩඋයන පොලිස් වසමට කිලෝමීටර් 4.50ක් වශයෙන් සහ මොරටුව පොලීසියට කිලෝමීටර 1.50ක දුර ප්‍රමාණයකට අයත්ය. මෙවැනි ජනාකීර්ණ මාර්ගයක් දෙපස විදුලි පහන් අක්‍රියව පැවතීම දෙපස පදිංචිකරුවන්ගේ ජීවිතවලට මෙන්ම එම මාර්ගයේ ධාවනය කරන වාහනවල රියැදුරන්ට ද දැඩි අවදානම් තත්ත්වයක් බව ඔවුහු පෙන්වා දෙති. ඔවුන් පවසන්නේ මෙම තත්ත්වය මත අවශ්‍යතාවයක් සඳහා මාර්ගය හරහා මාරු වීම මරුවාට අත වැනීමක් බවයි. ඇතැම් පුද්ගලයන් සිය ජීවිත ආරක්ෂාව පතා මාර්ගය හරහා මාරුවීමේදී ජංගම දුරකතනයේ විදුලි බල්බය හෝ හුළු අත්තක් දල්වාගෙන මාර්ගය හරහා මාරුවීමට කටයුතු කරන අයුරු දක්නට ලැබිණි.

මීට වසරකට පමණ ඉහතදී මෙම මාර්ගයේ ඇතැම් ස්ථානවල සිදුවූ අනතුරුවලදී තුවාල ලද පුද්ගලයන් මාර්ගයේ ඇදවැටුණු පසු ඊට පසුපසින් පසින් පැමිණි වාහනවලට යටව මියයෑමට හේතුව ද මෙම අධික අඳුර බව ඔවුහු කියා සිටිති. ඊට අමතරව පදික වේදිකාවේ ගමන් ගන්නා මගීන් සුනඛයන්ගේ ඇඟේ ගැටී තුවාල වන අවස්ථා මෙන්ම විවිධ අනතුරුවලට ලක්වීම් ද නිරතුරුවම සිදු වන බව ඔවුහු කියා සිටිති. වසර ගණනාවකට ඉහතදී සවි කරන ලද මීටර් ගණනාවක් උසැති විදුලි පහන්වලට ලවණ බැඳීම හේතුවෙන් මෙම විදුලි පහන් අක්‍රිය වී ඇති බව දැනගන්නට ඇති බව පවසන දෙපස පදිංචිකරුවෝ, මේ වනවිට ඒවා කොයි මොහොතක හෝ දිරාපත්ව කඩා වැටීමේ අවදානමකට ලක්විය හැකි බවද වැඩිදුරටත් පෙන්වා දෙති. ඔවුන් තවදුරටත් පෙන්වා දෙන්නේ, අඳුරේ පවතින කිලෝමීටර් හය තුළ පවතින පදිකයන්ගේ මාරුව සඳහා සවි කර තිබෙන මාර්ග සංඥා පුවරු ද සම්පූර්ණයෙන්ම අක්‍රිය තත්ත්වයට පත්ව ඇති බවයි.

මෝදර, එගොඩඋයන, කටුකුරුන්ද, කොරළවැල්ල හා මොරටුවැල්ල ආදී ප්‍රදේශ රැසක් රාත්‍රියට මෙලෙස දැඩි අඳුරේ පැවතීම නිසා මෙම වසරේ ගෙවුණු මාස තුනට පමණක් මාරක රිය අනතුරු දෙකක් ඇතුළු රිය අනතුරු තිහකට අධික සංඛ්‍යාවක් සිදුව ඇති බවත්, බරපතළ තුවාල, සුළු තුවාල ලැබූ පිරිස් ඇතුළු වාහන අලාභ සම්බන්ධයෙන් පොලීසිවලට වාර්තා වී ඇති බවත් පොලීසිය සඳහන් කළේය. ඒ අනුව ජනතාව පෙන්වා දෙන්නේ, තවත් මාරක අනතුරක් සිදුවී ජීවිතයක් අහිමිවීමට පෙර නව ගාලු පාරට අත්ව ඇති ඉරණම පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙසයි.

මේ පිළිබඳ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්.පී.එම්. සූරියබණ්ඩාර මහතාගෙන් කළ විමසීමේදී එහු කියා සිටියේ, මාර්ග දෙපස අක්‍රියව පවතින විදුලිය නැවත ලබා දීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබෙන බැවින් ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT