රුපියල් කෝටි එකහමාරකට අධික මුදලක් වියදම් කරමින් මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල නගරයේ ඉදි කරන්නට යෙදුන නව බස් ඩිපෝව අතරමග නවතා දමා කැලෑවට ගොස් එහි සම්පත් විනාශ වී යාමේ තර්ජනයකට ලක්ව ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
2021 වසරේ මෙම නව ඩිපෝව ආරම්භ කිරීම සඳහා හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ යෝජනාවකට අනුව එවකට ප්‍රවාහන අමාත්‍යවරයාව සිටි දිලුම් අමුණුගම මහතා උත්සවශ්‍රීයෙන් මෙහි මුල්ගල තබා වැඩකටයුතු ආරම්භකොට තිබිණි.
එදා මුල්ගල් තබන දිනයේ එවකට ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම අමාත්‍යවරයා ගෙන් අප විමසීමේදී ඔහු පවසා සිටියේ මේ සඳහා මුදල් ප්‍රතිපාදන නොමැතිව ආරම්භ කළ බවත් ලංගම බස් ඩිපෝ ඉදිකිරීමේදී කෙක්කෙන් හෝ කොක්කෙන් ඉදිකරන බවයි. කෙසේ වෙතත් ලංකාවේ බස් ඩිපෝ අතරින් එකසිය අටවන බස් ඩිපෝව මෙය බවද ඔහු මෙහිදී සඳහන් කරන්නට විය.
කෙසේ වෙතත් මෙහි ඉදිකිරීම් කටයුතු පසුගිය කාලයේ යුද හමුදාවේ ශ්‍රමයෙන් ගොඩනැඟිලි ඉදිකොට තිබිණි. ඩිපෝව ආරම්භ කිරීම සඳහා අබලන් වූ බස් රථ දෙකක් එම ස්ථානයේ ස්ථාපිත කොට සේවය සඳහා පැමිණි පිරිස් එහි නේවාසිකව සිටීම විශේෂත්වයකි.
පසුව හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ විමධ්‍යගත අරමුදල්වලින් රුපියල් කෝටි එකහමාරක් පමණ වියදම් කරමින් මෙම බස් ඩිපෝව ඉදිකිරීමට කටයුතු කර ඇති බව පෙන්වා දෙති. කෙසේ වෙතත් මේ වන විට නව බස් ඩිපෝව සම්පූර්ණයෙන්ම කැලෑවට යට වී ඇති අතර රැගෙන වීත් තිබූ බස් දෙකද මහ ඝන කැලෑවකට යට වී අලුතෙන් ඉදිකරන ලද ගොඩනැඟිලි ද විනාස මුඛයට පත්වෙමින් තිබේ.
එමෙන්ම ලග්ගල නව නගරයේ බස් නැවතුම්පොළද මෙ වන විට නිසි කළමනාකාරිත්වයක්, නඩත්තුවක් නොමැති නිසා දැඩිව විනාශ වී යාමේ තර්ජනයකට ලක්ව තිබෙන බව ජනතාව පෙන්වා දෙති.
එහි වැසිකිළියේ වහල සියල්ල කඩාබිඳ දමා තිබෙන ආකාරයත්, වැසිකිළි කොටසක් සම්පූර්ණයෙන්ම ඉබි යතුරු දමා වසා ජනතාවට පාවිච්චි කිරීමට නොහැකි තත්ත්වයක පත්ව තිබෙන අතර ඉතිරි විවෘතව ඇති කොටසේ ජල නළ පුපුරා මහා ජල කඳක් අපතේ යන අයුරුද දැකගැනීමට හැකි වී තිබේ. එමෙන්ම මෙම නව ඩිපෝව ඉදිකිරීම සඳහා ආහාර පාන ලබාදුන් පෞද්ගලික ව්‍යාපාරිකයන් හට රුපියල් ලක්ෂ දෙකකට අධික මුදලක් ගෙවීමට තිබෙන බවද එම ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති. ආහාර ලබාදී එම මුදල ද අහිමිව අවසානයේදී තමන්ට ඩිපෝවද අහිමි වී ඇතැයි ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව පෙන්වා දෙන අතර මේ වන විට ලග්ගල ප්‍රදේශයේ ජනතාවට ගමනාගමන පහසුකම් ද නිසි ලෙස ක්‍රියාත්මක නොවෙන බව ඔවුහු පෙන්වා දෙති.
කෙසේ වෙතත් මෙම ඉදිකිරීම් කටයුතු මාතලේ ඩිපෝවේ ඩිපෝ කළමනාකාරවරයාට මුල්ගල තැබුණු දිනයේම පැවරීම් කිරීම සිදු කරන්නට විය. ඒ අනුව මාතලේ ඩිපෝවේ ඩිපෝ කළමනාකරු එච්.එම්.පී.ඩී. හේරත් මහතාගෙන් අප මේ පිළිබඳව විමසීමේදී ඔහු පවසා සිටියේ නව ලග්ගල ඩිපෝවේ වැඩකටයුතු මේ වන විට අවසන් වී මාස ගණනාවක් ගතව තිබෙන බවයි. එය විවෘත කර ගැනීමට තවමත් හැකි වී නැති බව හෙතෙම සඳහන් කළේය. ඉදිකිරීම් කටයුතු කරන ලද යුද හමුදාවේ සෙබළුන් හට ආහාරපාන ලබාදුන් ව්‍යාපාරිකයන්ගේ මුදල් ගෙවීම සඳහා මේවන විට මූලස්ථානයට ලියකියවිලි යවා තිබෙන බවද ඔහු සඳහන් කරන්නට විය.
සීගිරිය විශේෂ