දිවයින පුරා සවිකර ඇති ලංකා විදුලි බල මණ්ඩලයට අයත් වෝල්ට් 33000 විදුලි ට්‍රාන්ස්ෆෝමරවල තඹ සහිත අර්ත් වයර් (බිම් කම්බි ) කපා සොරාගන්නා සොර කල්ලියක සැකකරුවකු හාලිඇළ නගරයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක අර්ත් වයර් සොරෙන් කපමින් සිටියදී ඊයේ (30) අලුයම අත්අඩංගුවට ගත් බව හාලිඇළ පොලීසිය පවසයි.
මොහු සන්තකයේ ගමන්මලු දෙකක දමා සඟවා තිබූ හොරෙන් කපන ලද අර්ත් වයර් රෝල් 13ක්, යකඩ කපන විශාල කටර් එකක්, යතුරුපැදියක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
රත්නපුර, කහවත්ත, පනාවැන්න, අක්කර හත ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයකු මෙසේ අත්අඩංගුවට ගත් බවද පොලීසිය පවසයි.
හාලිඇළ පොලීසියේ නිලධාරින් රාත්‍රී ජංගම සංචාර රාජකාරියේ නිරතව සිටියදී හාලිඇළ, බණ්ඩාරවෙල මාර්ගයේ ගණදෙවි කෝවිල අසල පිහිටි ලංකා විදුලි බල මණ්ඩලයට අයත් වෝල්ට් 33000 විදුලි ට්‍රාන්ස්ෆෝමරය අසල සැක කටයුතු තරුණයන් දෙදෙනකු කිසිවක් කපමින් සිටින අයුරු පොලිස් නිලධාරින් දැක සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී එක් අයෙක් පැන පලාගිය බවත් සෙසු සැකකරු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවැසීය.
පැනගිය සැකකරු කලක් යුද හමුදා විශේෂ බළකායේ සේවය කර ඇති බළංගොඩ උඩුමුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙක් බවට හඳුනාගත් බව පොලීසිය පවසයි.
මොවුන් දෙදෙනා රාත්‍රී කාලයේ යතුරුපැදියක ගමන් කරමින් දිවයින පුරා ලංකා විදුලි බල මණ්ඩලය මඟින් සවිකර ඇති වොල්ට් 33000 විදුලි ට්‍රාන්ස්ෆෝමරවල සවිකර ඇති (බිම් කම්බි) තඹ සහිත අර්ත් වයර් හොරෙන් කපා සොරාගැනීමේ ජාවාරමක නිරතව සිටින අයවලුන් බවත් පොලීසිය පැවසීය.
බණ්ඩාරවෙල, බදුල්ල මාර්ගයේ පිහිටි එවැනි විදුලි ට්‍රාන්ස්ෆෝමර 6ක අර්ත් වයර් මොවුන් දෙදෙනා හොරෙන් කපා සොරාගෙන ඇති බවට දැනට සිදු කළ ප්‍රශ්න කිරීමේදි තොරතුරු අනාවරණය විනැයි උසස් පොලිස් නිලධාරියකු සඳහන් කර සිටියේය. මොවුන් මෙම වයර්වල ඇති තඹ කම්බි ශුද්ධ කර කිලෝ ගණනට ගැනුම්කරුවන්ට වැඩි මිලට විකුණන බවත් පොලීසිය පවසයි.
මොවුන් සම්බන්ධයෙන් දිවයින පුරා පොලිස් ස්ථානවලට දැනුම් දී තිබෙන බව පොලීසිය පවසයි. කපා සොරාගත් මෙම වයර්වල වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැත.
සොරණාතොට සමූහ – සී. ගමගේ