Home » වරකාපිටියේ මහසොහොන්කාලි දේවාලයේ කපුවා තාත්තාගේ මරණෙටත් නෑ

වරකාපිටියේ මහසොහොන්කාලි දේවාලයේ කපුවා තාත්තාගේ මරණෙටත් නෑ

-පාංශුකූලයේදී මේ බව පැවැසූ විහාරාධිපතිට කපුවා පහරදීලා

by sachintha
March 31, 2025 4:26 pm 0 comment

පියා සතු සියලු දේපොළ ලියාගෙන දේවාලයක් ද පවත්වාගෙන යනු ලබන පුතෙකු එම පියාගේ අවසන් කටයුතු සඳහා සහභාගි නොවීම පිළිබඳව ගමේ විහාරස්ථානයේ විහාරාධිපතින් වහන්සේ පියාගේ පාංශුකූල අවස්ථාවේ අනුශාසනාවක් පවත්වමින් පැවසුවැයි උරණ වූ පුතෙකු ස්වාමීන් වහන්සේට පහර දීමෙන් උන්වහන්සේ ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇතැයි පරීක්ෂණ පවත්වන ගම්පොළ ඇත්ගාල පොලීසිය පවසයි.

මෙසේ රෝහල්ගත කර ඇත්තේ වරකපිටිය බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ විහාරාධිපති දික්වැල්ලේ ශ්‍රී නාරද හිමියෝයි. මෙම ස්වාමීන් වහන්සේට පහර දීම සම්බන්ධ මෙම පුද්ගලයා වරකාපිටිය මහසොහොන්කාලි දේවාලය නමින් දේවාලයක් පවත්වාගෙන යනු ලබන අතර දේවාලයට මරණ කිල්ල අහුවෙනවා යැයි පවසා සිය පියාගේ අවසන් කටයුතු සඳහා සහභාගි නොවී ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. මිය ගොස් සිටි 86 හැවිරිදි පියාට මෙම එකම පුතු හා දියණිවරු දෙදෙනකු සිට ඇත. මියගිය අයගේ බිරිය ද බොහෝ කාලකට පෙර මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

පියා සතු නිවස, ඉඩම් ඇතුළු සියලු දේපොළ මෙම පුතා පවරාගෙන ඇති අතර මොහු මෙම වරකාපිටිය ප්‍රදේශයේම මහසොහොන්කාලි දේවාලය නමින් දේවාලයක් පවත්වා ගෙන පියාටද නොසලකමින් සිට ඇත.

මෙම දියණිවරු දෙදෙනාද විවාහවී වෙනම පදිංචිව සිට ඇත.

වයෝවෘද්ධ පියා මිය යාමෙන් පසුව දියණියන් දෙදෙනා හා බෑනාවරු පැමිණ එහි කටයුතු සිදු කළ ද මෙම එකම පුතු එහි පැමිණි තිබුණේ නැත.

පාංශුකූල අවස්ථාවේ ගමේ විහාරස්ථානයේ විහාරාධිපතින් වහන්සේ මේ පිළිබඳව බලවත් දුකට පත්වී ඔහු විවේචනය කර සමාජයට පණිවිඩයක් ලබාදෙමින් මතක බණ දෙසුවද දේවාලයේ කපුවා වූ මෙම පුතා එයින් පරලවී ඇත. දියණියන් හා බෑනාවරු මරණයේ අවසන් කටයුතු සිදු කරන අතරතුර ස්වාමීන් වහන්සේ විහරස්ථානයට වඩිනතුරු බලා සිටි මෙම අජාසත් පුතා එහි ගොස් හාමුදුරුවන්ට අසභ්‍ය වචනයෙන් බැණ වැදී පහර දී සිවුරෙන් ඇද තල්ලු කර දමා ඇත. බිම පතිත වූ හැට එක් හැවිරිදි වයෝවෘද්ධ ස්වාමීන් වහන්සේ මෙයින් බරපතළ තත්ත්වයට පැමිණීම නිසා දායක පිරිස් එක්ව එම හිමියන් මෙසේ රෝහල්ගත කර තිබුණි.

පරීක්ෂණ පැවැත් වූ ගම්පොළ ඇත්ගාල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සෙණරත් කැකුළන්දර මහතා මෙම කපුවා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

ගම්පොළ – සුරංග දිල්හාන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT