Home » හොර හරක් මස් මඩුවක් වටලා 6ක් අත්අඩංගුවට

හොර හරක් මස් මඩුවක් වටලා 6ක් අත්අඩංගුවට

by sachintha
March 31, 2025 4:25 pm 0 comment

නීති විරෝධී අන්දමින් මී ගවයන් හා එළ ගවයන් ඝාතනය කිරීමට කටයුතු කළ සැකකරුවන් හය දෙනෙක්, ඝාතනය කළ මී ගවයින් හා ඝාතනයට සූදානම් කළ ගවයින් සමඟ හලාවත සහ තොඩුවාව පොලිස් ස්ථානවල නිලධාරින් විසින් සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී ඊයේ (30) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. නාත්තන්ඩිය ගැමුණු මාවතේ පිහිටි ගව ඝාතනාගාරය තුළ ගවයන් ඝාතනය කරමින් සිටියදී මෙම වැටලීම සිදුකර ඇත. හලාවත පොලීසියේ සහකාර පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතාට ලැබූ තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.

ඝාතනය කළ මී ගවයන් 04ක්, ඝාතනය සඳහා සූදානම් කළ මී ගවයින් 04 දෙනෙක් හා එළ ගවයින් 03 දෙනෙක් සමඟ ඝාතනය සඳහා උපයෝගි කරගත් තියුණු ආයුධ රැසක් මෙහිදී පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට පත් සැකකරුවන් කොට්ටරම්මුල්ල, නාත්තන්ඩිය සහ සිරිගම්පල යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

ගවඝාතන ආඥා පනත යටතේ, ගවඝාතනය කිරීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හෝ පශු වෛද්‍යවරයකුගේ පෙර ඝාතන පරීක්ෂාවක් හා පසු ඝාතන පරීක්ෂාවක් සිදු කිරීම අවශ්‍ය වන බව සඳහන් වන අතර සත්ත්ව පනත යටතේ මී ගවයන් ඝාතනය කිරීම සම්පූර්ණයෙන් තහනම් බව මෙහිදී සිදු කළ විමසීමකදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය. මෙම ඝාතන සිදු කිරීමේදී එම වගන්තිවලට පටහැණිව ඝාතනය සිදු කර ඇති බව පොලීසිය පවසයි.

මාරවිල සමූහ මිහිර විජේසේකර පුත්තලම

දිසා සමූහ ප්‍රසාද් පූර්ණමාල්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT