“පාසලක් ඇරීම යනු සිර ගෙවල් සියයක් වැසීමක් වැනියÓ යනු කියමනක් අප ජනප්‍රවාදයේ ඇත.
වර්තමානයේ ජනමාධ්‍ය තුළ නිතර දැකිය හැකි පුවත් අතර, දිවයිනේ විවිධ ප්‍රදේශවල පාසල් තුළ විවිධ අඩුපාඩු පිළිබඳව පුවත් දැක ගත හැකිය. ඇතැම් පාසල්වලට අවශ්‍ය ගොඩනැඟිලි, මාර්ග පහසුකම්, විදුලිබලය, ජලය යනාදී යටිතල පහසුකම් නොමැති කමින් එම පාසල්වල, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම මවුපියන් ද, අසරණ වන අවස්ථා බොහෝය.
එවන් පහසුකම් සියල්ල සපිරි, පාසලක් දැනට වසර ගණනක සිට ගොඩැනැඟිලි ගරාවැටෙමින්, පාසල් භූමිය වල් බිහිවෙමින්, විනාශ මුඛයට යන පාසලක් ලෙස, මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට අධ්‍යාපන කලාපයේ, හතර ලියද්ද ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ පිහිටි, මාවතගම කනිෂ්ඨ විදුහල හැඳින්විය හැකිය.
1960 දශකයේ ගලගෙදර ප්‍රදේශයේ දීප්තිමත්ම විදුහලක් ලෙස කිරුළු දැරූ මාවතගම කනිෂ්ඨ විද්‍යාලය ආරම්භ වන්නේ 1952 වර්ෂයේදීය.
ඒ මාවතගම ප්‍රදේශයේ ජීවත්ව සිටි, සමාජ සේවකයෙකු වූ, ආර්.ඇම්. මුදියන්සේ මහතාගේ අප්‍රතිහත ධෛර්යේ ප්‍රතිඵලයක් ලෙසය.
එතුමා මාවතගම සහ අවට ප්‍රදේශ වාසීන්ගේ සහයෝගය ඇතිව, කටු මැටි ගසා පොල් අතු සෙවිළි කර අඩි 60 × 20 ප්‍රමාණයේ ගොඩනැඟිල්ලකින් මෙම විදුහල ආරම්භ කර ඇත.
එවකට පාසල් ළමුන් 17ක් සහ එක් ගුරුවරයෙකුගෙන් මෙම පාසලේ ප්‍රථම ගුරු සිසු හවුල ඇරඹී ඇත.
1955 වර්ෂයේ දී, එවකට අධ්‍යාපන ඇමැති වූ ඊ.ඒ. නුගවෙල මහතා, මෙම විදුහලට රුපියල් 75,000ක ප්‍රතිපාදන මුදල් යොදවා අඩි 80 × 20
ප්‍රමාණයේ ස්ථිර ගොඩැනැඟිල්ලක් සහ අංග සම්පූර්ණ ගුරු නිවාසයක් ඉදිකර දී ඇත.
ක්‍රම ක්‍රමයෙන් මෙම පාසල කෙරෙහි ප්‍රදේශවාසීන්ගේ විශ්වාසය තහවුරු වීමෙන් පසුව, මාවතගම, ඉඹුලේතැන්න, බෝගස්හින්න, පට්ට පොළ, කනක්කරපොළ, දුංකුඹුර, පොල්වත්ත හා මිණිගමුව වැනි ප්‍රදේශවලින් පවා, දූ දරුවන් මාවතගම කනිෂ්ඨ විද්‍යාලයට එවීමට මවුපියන් පියවර ගෙන ඇත.
1962 – 1963, වසරවල අපොස සා.පෙළ. විභාගයට ඉදිරිපත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉතා හොඳින් සමත් වීම නිසා තව තවත් මෙම මාවතගම කනිෂ්ඨ විද්‍යාලය ජනප්‍රිය වූ අතර, ගලගෙදර කොට්ඨාසයේ ක්‍රීඩා අංශයෙන් තුන් වතාවක් ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත.
අනතුරුව 1965 වර්ෂයේ දී එවකට ගලගෙදර පාර්ලිමේන්තු මංත්‍රී වූ, ඩබ්ලිව්.ඇම්.ජී.ටී. බංඩා මහතා අඩි 100×20 ප්‍රමාණයේ තවත් ගොඩැනැඟිල්ලක් ලබාදී ඇති අතර, 1975 වසරේ දී පාර්ලිමේන්තු මංත්‍රි ජබිබාර් මහතා, ඊට පෙර තිබුණු අඩි 80× 20 ගොඩැනැඟිල්ල, අඩි 120× 20 දක්වා පුළුල් කර දී ඇත. ඒ අවධිය වන විට මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 200ක් පමණ සිට ඇත.
එකල මෙම ප්‍රදේශයේ ජනප්‍රිය වී තිබුණු මෙම පාසලෙන් අධ්‍යාපනය හැදෑරු බොහෝ දෙනෙක් රජයේ විවිධ උසස් තනතුරු ද දරා ඇත.
එවන් වටපිටාවක් තිබුණ මාවතගම කනිෂ්ඨ විද්‍යාලය සතුව අක්කර දෙකක පමණ විශාල භූමියක් ද, ගුරු නිවාසය ඇතුළු, ගොඩැනැඟිලි ද, ක්‍රීඩා පිටියක් ද, මාර්ග, ජලය, විදුලිය යනාදී පහසුකම්වලින් ද සමන්විත මෙම ස්ථානය මේ වන විට ගොඩැනැඟිලි ගරා වැටී, වහල දිරාපත් වී, පාසල් භූමිය කැලෑවෙන් වැසී ගොස් ඇත.
රජය සතු මෙවන් වටිනා භූමි භාගයක් සහ ගොඩැනැඟිලි, කිසිදු ප්‍රයෝජනයක් නොගෙන විනාශ වීමට ඉඩහැර තැබීම ජාතික අපරාධයකි.
මේ වන විට හතර ලියද්ද පොලීසිය, තැපැල් කාර්යාලය, වැනි රාජ්‍ය ආයතන මාසික කුලී පදනම මත ගොඩැනැඟිලි ලබාගෙන ඇති අතර, එවැනි කටයුතුවලට හෝ මෙම සම්පත් භාවිත නොකරන්නේ මන්දැයි ජනතාව විමසති.
එසේ නැතහොත් මෙම භූමිය සහ ගොඩැනැඟිලි ප්‍රදේශයේ ජනතාවට ජීවනෝපාය මාර්ගයක් සකසා දීමට හෝ, වෙනයම් සේවාවන් සැපැයිය හැකි මධ්‍යස්ථානයක් ලෙසට දියුණු කිරීමට නව රජයේ බලධාරීන්ගේ අවධානය යොමුකරන ලෙසට ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.
ගලගෙදර සමූහ – බණ්ඩාර කේ. සමරතුංග