නිලාවේලි මුහුදේ පුපුරන ද්‍රව්‍ය යොදා මසුන් මැරීමට සුදානම් වෙද්දී නාවික හමුදාව දැක පුපුරන ද්‍රව්‍ය සහිත පාර්සලය මුහුදට විසිකර පලාගිය ධීවර යාත්‍රාවක් පුපුරන ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ තම දෙපාර්තමේන්තුවට භාරදුන් බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.
පුපුරන ද්‍රව්‍ය පාර්සලය මුහුදට විසිකර පලාගිය ධීවරයන් යාත්‍රාව සහ එන්ජිම ගොඩබිම අතහැරදමා තිබියදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමල සහකාර අධ්‍යක්ෂ ඉෂාර ටී. කංකානම්ගේ මහතා පැවසීය. ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා කඳවුරට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කළ අතර මුහුදට විසිකළ පුපුරන ද්‍රව්‍ය පාර්සලය නාවික කිමිදුම්කරුවන් යොදවා ගොඩටගෙන ඒමට නාවික හමුදාව සමත් වී තිබේ.
අත්අඩංගුවට ගත් පුපුරන ද්‍රව්‍ය අතර දෙකට කපන ලද සම්පූර්ණ වෝටර් ජෙල් කරල් 16ක්, ඩෙටනේටර් හා සේවා නූල් සමඟ වැඩිදුර පරීක්ෂණ ධීවර නිලධාරීන් වන ඒ.එම්.එස්. දිල්රුක් සහ ජේ.ඒ.ජේ.එම්. ජයසූරීය යන මහත්වරුන් විසින් සිදු කළහ. යාත්‍රාවේ අයිතිකරු මේ වන විට හඳුනාගෙන ඇති අතර පුපුරන ද්‍රව්‍ය හා යාත්‍රාව සම්බන්ධයෙන් අප්‍රේල් 03 වැනිදා කුච්චවේලි සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට නියමිත බව සහකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවැසූවේය.
ත්‍රිකුණාමලය විශේෂ ඒ.ටී.එම්. ගුණානන්ද