දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බව ප්‍රවාහන, මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
ඒ සඳහා අවශ්‍ය නීති සංශෝධනය කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා කියා සිටියේය.
අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ(30) පලාලි අන්තර්ජාතික ගුවන්තොටුපොළ නිරීක්ෂණට එක්වෙමින් මේ බව පැවසීය.
“දැනටමත් අන්තර්ජාතික ගුවන්තොටුපොළක් වන පළාලි ගුවන්තොටුපොළ භාවිතා කිරීම සදහා දේශීය සහ විදේශීය සංචාරකයන්ගේ ඉල්ලුම වැඩි වී ඇතිබවක් පෙනී යනවා. විශේෂයෙන් ම දැනට කටුනායක ගුවන්තොටුපොළට පැමිණෙන යාපනය ආශ්‍රිත සංචාරකයන්ට එතැන්සිට දේශීය ගුවන්වාර වැඩිදියුනණු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සදහා ලංකාවේ ගුවන්ගමන් පිලිබද නීතියේ සංශෝධන කරමින් දේශීය ගුවන් ගමන් වලට ගැළපෙන පරිදි සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා. පළාලි ගුවන්තොටුපොළ දියුණු කිරීම සදහා තව බොහෝ කාර්යයන් සිදුකළ යුතු අතර ඒ සඳහා ගුවන්තොටුපොළ අධිකාරියට සැලසුම් තියෙනවා. යුද්ධයකින් බැට කෑ යාපනය ආශ්‍රිත ජනතාවගේ ආර්ථිකය ගොඩනැංවීමට පළාලි ගුවන්තොටුපොළ සංවර්ධනය පිටිවහලක් වෙනවා. ගුවන්තොටුපොළ සභාපතිතුමා කියන්නේ මේ සංවර්ධන කටයුතු සදහා අවශ්‍ය මුදල් ගුවන්තොටුපොළ සතුව ම ඇති බව. ඉතා ඉක්මනින් මෙම ගුවන්තොටුපොළ අන්තර්ජාතික වශයෙන් දියුණු කළ යුතුයි. ඒ සදහා කරුණු 2ක් සිදු කළ යුතුව තියෙනවා. එකක්, ගුවන් පථය දික් කළ යුතුයි. අනික ආරක්ෂිතව ගමන් කළ හැකි සුදුසු පර්යන්තයක් සකස්කළ යුතුයි. මෙම සංවර්ධන කටයුතු ශක්‍යතා අධ්‍යයනයක් ඇතුව නව ව්‍යපාරික සැලසුම් සමග ඉදිරියට ගමන් කළ යුතුයි. අපි මේකේ සංවර්ධන කටයුතු ඉතා ඉක්මනින් ආරම්භ කිරිමට බලපොරොත්තු වෙනවා”. යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.