Home » ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය සංවර්ධනය කිරීමට ගුවන් හමුදාවේ සහය

ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය සංවර්ධනය කිරීමට ගුවන් හමුදාවේ සහය

by chanaka
March 31, 2025 3:25 pm 0 comment

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ‘ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය’ සංවර්ධනය කිරීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සූදානම් වේ.

තාක්ෂණික දියුණුව තුළින් ජාතික කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා වන ‘Clean Sri Lanka’ ව්‍යාපෘතියේ අරමුණු සමඟ අනුගත වන මෙම මුලපිරීම, දැනට විවිධ මෘදුකාංග පද්ධති භාවිතා කරන විවිධ අධ්‍යාපන දෙපාර්තමේන්තු වල මෙහෙයුම් කාර්යක්ෂමතාව ඒකාබද්ධ කිරීම, විධිමත් කිරීම සහ වැඩිදියුණු කිරීම මෙමගින් අරමුණු කරයි.

මෙය සැලසුම් කර ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළදී මුහුණ දෙන ගැටලු නිරාකරණය කරගැනීමට සිසුන් මිලියන 4.2 කට අධික සංඛ්‍යාවක්, පාසල් 10,000 ක් සහ රට පුරා ගුරුවරුන් 240,000 ක් සඳහා ප්‍රයෝජනවත් වන මධ්‍යගත වේදිකාවක් ලබා දෙමිනි. එපමණක් නොව, මෙම පද්ධතිය ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ (SLEAS) නිලධාරීන්, විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන උපදේශකයින් ඇතුළු පරිපාලකයින් 15,000 කට අධික පිරිසක් සඳහා සහාය වනු ඇත. මෙම ව්‍යාපෘතිය හරහා සිසුන් ඇතුළත් කර ගැනීම, පාසල් සහ දෙපාර්තමේන්තු අතර සන්නිවේදනය වැඩිදියුණු කිරීම, ප්‍රතිපත්ති තීරණ සඳහා දත්ත සැපයීම සහ අවසානයේදී වඩාත් පලදායි ලෙස සම්පත් භාවිතය සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට හේතු වනු ඇත.

මෙම ව්‍යාපෘතිය පිළිබඳ මූලික සාකච්ඡාවන් පසුගියදා(26) ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ එයාර් කොමඩෝර් අසිත හෙට්ටිආරච්චි මහතා ඇතුළු ගුවන් හමුදා නියෝජිතයින් පිරිසකගේ සහභාගීත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

එමෙන්ම ‘Clean Sri Lanka’ වැඩසටහනේ අතිරේක ලේකම් එස්පීසී සුගීෂ්වර මහතා සහ ‘Clean Sri Lanka’ අධ්‍යක්ෂ ඩී සෝමිරත්න මහතා සංවාදය මෙහෙයවීමට මූලික වූ අතර, මෙම පරිවර්තනීය ව්‍යාපෘතිය සඳහා රජයේ කැපවීම පැහැදිලි කරන ලදි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජිතයින් අතර තොරතුරු තාක්ෂණ සහ ඩිජිටල් අධ්‍යාපනය පිළිබඳ අතිරේක ලේකම් වාසනා එදිරිසූරිය මහත්මිය, තාක්ෂණික අධ්‍යාපන අධ්‍යක්ෂ එච්එච්වීඑම් සංජීවනී මහත්මිය සහ පරිපාලන හා තොරතුරු තාක්ෂණ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් කිහිප දෙනෙකු සහභාගී විය.

ඩිජිටල් ආර්ථික කරණ අමාත්‍යාංශය නියෝජනය කරමින් අමාත්‍යාංශ උපදේශක ඉන්දික ගමගේ මහතා සහ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් ප්‍රියංකර මහතා ඩිජිටල් ක්ෂේත්‍රය පිළිබඳ තම දැනුම ලබා දෙන ලදි. තවද, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජී. මහගමගේ මහතා විවිධ අංශ හරහා මෙම ව්‍යාපෘතියේ පුළුල් සහයෝගය සහ වැදගත්කම ඉස්මතු කළේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ අධ්‍යාපන අමාත්‍යාංශය අතර සිදුවන මෙම ප්‍රයත්නය, අධ්‍යාපන ක්ෂේත්‍රය නවීකරණය කිරීම සඳහා පලදායි පියවරක් සනිටුහන් කරයි. එමෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලුම පාර්ශවකරුවන්ට ප්‍රතිලාභ සැලසෙන ශක්තිමත් හා කාර්යක්ෂම පද්ධතියක් සංවර්ධනය කිරීම සඳහා සිය තාක්ෂණික විශේෂඥතාව ලබා දීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව කැපවී සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT