කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා තමන්ට කොන්දේ අමාරුවක් පවතින බැවින් නිදාගැනීමට පැදුර වෙනුවට මෙට්ටයක් ලබා දෙන ලෙස බන්ධනාගාර අධිකාරිය හරහා ඉල්ලීමක් කර තිබේ.
චාමර සම්පත් මන්ත්‍රීවරයා එම බන්ධනාගාරයේ ‘එම්’ වාට්ටුවේ රඳවා සිටින අතර ඔහුව පරීක්ෂා කළ බන්ධනාගාර වෛද්‍යවරයා නිර්දේශ කර ඇත්තේ ඔහු බන්ධනාගාර රෝහලට මාරු කිරීමට තරම් අසනීප තත්ත්වයක් නොමැති බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පසුගිය 27 දා රක්‍ෂිත බන්ධනාගාරගත කළ අතර ඔහු එම බන්ධනාගාර අධිකාරිවරයා හරහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත්තේ තමන්ට පිටතින් රැගෙන එන ආහාරපාන ලබා ගැනීමට අවසර ලබා දෙන ලෙසයි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසුවේ මෙම ඉල්ලීම් දෙක සඳහා ඊයේ (30) වන තෙක් මන්ත්‍රීවරයාට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් අවසර දී නොමැති බවයි. බොහෝ විට ඒ ඉල්ලීම් සඳහා පිළිතුරු අද (31) දින ලැබෙනු ඇති බවත් එම නිලධාරියා පැවසීය.
බුද්ධිකා ඉඹුලාන