මාතර මහේස්ත්‍රාත් අධිකරණය මඟින් අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කර තිබූ දේශබන්දු තෙන්නකෝන් මහතා අධිකරණය මඟහැර සැඟව සිටීමට ගොස් ඇත්තේ බත්තරමුල්ලේ සිට මොන්ටෙරෝ වර්ගයේ ජිප් රථයක නැඟී බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද විමර්ශනවලින් හෙළි කරගෙන තිබේ. මත්පැන් අලෙවිසල් හිමි කෝටිපති ව්‍යාපාරිකයකු, ඇමැති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල්වරයකු සමඟ එම ජිප් රථයට බත්තරමුල්ලෙන් ගොඩවී ඇති බවට සාක්ෂි රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් හෙළිකරගෙන ඇත. ඒ අතර ආරක්ෂක කැමරා දර්ශනද ඇති බව සඳහන්ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පසුගිය 28 වැනිදා සවස අත්අඩංගුවට ගනු ලැබුවේ ඔවුන් දෙදෙනාවය. පසුගිය පෙබරවාරි 27 වැනිදා සිට මාර්තු 19 වැනිදා දක්වා දේශබන්දු තෙන්නකෝන් මහතාට සැඟව සිටීමට පහසුකම් සැපයීම හා ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ලවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මත්පැන් අලෙවිසල් හිමිකරු වයස අවුරුදු 47ක් වන තලවතුගොඩ ශාන්තිපුර පදිංචිකරුවෙක් වන අතර ඔහුට මත්පැන් අලෙවිසල් 12ක් ඇති බවට තොරතුරු අනාවරණය වන්නේ යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වෙන බව ද එම නිලධාරියා කීය. මෙම ව්‍යාපාරිකයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදීය.
අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා කොස්තාපල්වරයෙකි. ඔහු දීර්ඝ කාලයක් දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි අයෙකි. විශේෂ ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කර ඇති නිලධාරියෙක් වන ඔහු සහ කෝටිපති ව්‍යාපාරිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ පාගමනින් පැමිණ බත්තරමුල්ලෙන් ජිප් රථයට ගොඩවූ දේශබන්දු තෙන්නකෝන් මහතා මද දුරක් ගමන්කර වාහනයෙන් බැස නැවතත් පාගමනින් ගිය බවත් ඒ හැරුණු කොට තමන් කිසිදු දෙයක් නොදන්නා බවය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවත් ආරක්ෂක කැමරා දර්ශන ඇතුළු විද්‍යාත්මක සාක්ෂි රැස්කරමින් ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.
මෙම සැකකරුවන්ගෙන් කෝටිපති ව්‍යාපාරිකයා සම්බන්ධයෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත. එහිදී ඔහුට අධිකරණය විසින් ඇප ලබා දී තිබේ. පොලිස් කොස්තාපල්වරයා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශරීර ඇප මත මුදාහැර ඇත.
ගයාන් කුමාර වීරසිංහ