Home » මෝදි 04 වැනිදා ශ්‍රී ලංකාවට

මෝදි 04 වැනිදා ශ්‍රී ලංකාවට

by sachintha
March 31, 2025 4:13 pm 0 comment

ශ්‍රී ලංකා-ඉන්දියා මිතුදම තවදුරටත් ශක්තිමත් කරමින් නිල සංචාරයක් සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එළඹෙන 04දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණෙන ඉන්දීය අගමැතිවරයා අප්‍රේල් 06දා තෙක් ශ්‍රී ලංකාවේ රැඳී සිටින බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

තායිලන්ත නිල සංචාරයකින් අනතුරුව මෙරටට ළඟාවන නරේන්ද්‍ර මෝදි මහතා සිය සංචාරය අතරතුරදී, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉන්දීය නිල සංචාරය අතුරතුර ප්‍රකාශයට පත්කරන ලද “පොදු අනාගතයක් උදෙසා හවුල්කාරිත්වයන් ප්‍රවර්ධනය කරමින්” යන තේමාවෙන් යුත් ඒකාබද්ධ දැක්මෙහි එකඟ වූ සහයෝගීතා ක්ෂේත්‍රයන්හි ප්‍රගතිය සමාලෝචනය කිරීමට නියමිතය. ඉන්දීය අගමැතිවරයා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ දේශපාලන නායකයන් ද හමුවීමට නියමිතව තිබෙන අතර සංචාරයේ කොටසක් ලෙස ඒ මහතා ඉන්දීය මූල්‍ය සහයෝගය යටතේ ක්‍රියාවට නංවන ලද සංවර්ධන ව්‍යාපෘතීන් විවෘත කිරීම සඳහා අනුරාධපුරයේ සංචාරය කිරීමට නියමිතව තිබේ.

අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අවසන්වරට ශ්‍රී ලංකාවට පැමිණියේ 2019 වසරේ දී වන අතර ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු ඒ මහතාගේ ප්‍රථම විදෙස් සංචාරය ලෙස ඉන්දියාවේ නිල සංචාරයක නිරත විය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ශක්තිමත් සංස්කෘතික සහ ඓතිහාසික සබඳතාවන්ගෙන් යුත් බෙදා හදා ගන්නා ශිෂ්ටාචාරමය බැඳීම් සහිත රාජ්‍යයන් දෙකකි. මෙම සංචාරය දෙරට අතර නිරන්තරයෙන් සිදුවන ඉහළ පෙළේ නියැළීම්හි කොටසක් වන අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බහුවිධ හවුල්කාරිත්වය වඩා ගැඹුරු කිරීම සඳහා තවදුරටත් ජවය ලබාදෙනු ඇත.

අගමැතිවරයාගේ තායිලන්ත සහ ශ්‍රී ලංකා සංචාරය සහ 6 වන බිම්ස්ටෙක් සමුළුව සඳහා ඒ මහතාගේ සහභාගිත්වය ඉන්දියාවේ ‘අසල්වැසියා ප්‍රථමයෙන්’ යන ප්‍රතිපත්තිය, ‘Act East’ ප්‍රතිපත්තිය, ‘මහාසාගර්’ – ‘MAHASAGAR’ (කලාප හරහා ආරක්ෂාව සහ වර්ධනය සඳහා අන්‍යෝන්‍ය සහ සාකල්‍ය අභිවෘද්ධිය) දැක්ම සහ ඉන්දු – පැසිෆික් දැක්ම සඳහා එහි කැපවීම යළි තහවුරු කරන බව ද ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කියයි.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT