පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුතු කණ්ඩායමක් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම අප්‍රේල් 21ට පෙර හෙළිදරව් කිරීමට උත්සාහ දරමින් සිටින්නේ යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ ඉතා විධිමත්ව දියත් වෙමින් තිබෙන බවත් ප්‍රහාරයේ වසර 6ක අනුස්මරණ දිනයට පෙර මේ අනුව ඊට වගකිවයුතු කණ්ඩායමක් හෙළිදරව් කිරීමට හැකි වනු ඇති බවත් දෙයියන්දර පැවති ජන රැලියක් අමතමින් ඊයේ (30) ජනාධිපතිවරයා අවධාරණය කළේය.
“ජනතාවගේ බලාපොරොත්තුවක් තිබෙනවා වංචාවේ, දූෂණයේ යෙදුණු අයට දඬුවම් දෙන්න ඕනෙ කියලා. එය සිදු කළ යුතුයි. දඬුවම් දෙන්න ආණ්ඩුවට බලයක් නැහැ. අපි පරීක්ෂණ කරනවා. ඒ පරීක්ෂණ මත හෙළිදරවු වන කරුණු අනුව නීතිපති දෙපාර්තමේන්තුවට පුළුවන් නඩු ගොනු කරන්න. ඒ නඩු ගොනු කළාට පසු ආණ්ඩුවේ කාර්යභාරය අවසන් වෙනවා.”අධිකරණයේ කාර්ය භාරය ඊට පස්සේ යනවා. අපි අපේ කාර්යය මේ වන විට කරගෙන යනවා. පරීක්ෂණ විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවා. අපි වංචා දූෂණ ගැන පමණක් නොවෙයි. විවිධ අපරාධ ගැනත්, පාස්කු ප්‍රහාරය ගැනත් පරීක්ෂණ විධිමත්ව ක්‍රියාත්මකයි.
මේ වන විටත් හිටපු ඇමැතිවරු 3ක් රිමාන්ඩ්. එක් ඇමැති කෙනෙක් හැංගිලා ඉන්නවා. හිටපු පොලිස්පතිවරයකු රිමාන්ඩ් භාරයේ. මේ රටේ රාජ්‍ය සේවකෙයක් ගස් බැඳලා. නීති විරෝධීව ඉඩම් අල්ලලා. පස් කපලා. මේවා කරලා මේ අය ඉන්නේ. අපිට අවශ්‍යයි පරීක්ෂණ කරන්න හොඳ නිලධාරීන් කණ්ඩායමක්. අපි ඒ අය පත් කර ගත්තා. එවැනි ආණ්ඩුවක් ජනතාවට අවශ්‍ය නැද්ද. වංචා දුෂණවලට එරෙහිව කටයුතු කරන ආණ්ඩුවක් මේක. මේ රට පිරිසිදු රාජ්‍යයක් බවට පත් කිරීමෙ වෑයමට අපි පියවර තබා ඇතැයිද ජනාධිපතිවරයා වැඩිදුරටත් කීවේය.
උපාලි කරුණාරත්න, චමීර ඇල්ලදෙණිය