සමාජ,ආර්ථික සහ දේශපාලන පරිවර්තන රැසක් සමඟ දියුණු ශ්‍රී ලංකාවක් පිළිබඳ මෙරට ජනතාව තැබූ අපේක්ෂා මල්ඵල ගන්වමින් නිදහස, සමානාත්මතාව, සාමූහිකත්වය සහ මානව ගරුත්වය රජයන සමාජයක් ගොඩනැඟීමට තබන පියවරේදී ඉස්ලාම් දහමේ වන ඉගැන්වීම් පරමාදර්ශයක් වනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊදුල් ෆිතර් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.
ලොව පුරා ඉස්ලාම් භක්තිකයන් විසින් මාසයක් පුරා උපවාස ශීලය රැක, ඉන් අනතුරුව නව සඳ බැලීමෙන් පසු සමරනු ලබන ඊදුල් ෆිතර් උත්සවය ඉස්ලාමීය ආගමික දින දර්ශනයේ අතිශය වැදගත් අවස්ථාවක් බව ද එහි සඳහන් වේ. වැඩිදුරටත් එහි මෙසේ ද සඳහන් වේ.
ඉස්ලාම් ධර්මය ගොඩනැඟී ඇති කුලුනු පහෙන් එකක් වන රාමසාන් උපවාසය පිළිබිඹු කරන්නේ ලෞකික ආශාවන්ගෙන් දුරස් වී පරිත්‍යාගය සහ අල්පේච්ඡත්වය සහිත පරමාදර්ශී පිළිවෙතක පිහිටීමේ වැදගත්කමයි. ලොව පුරා කුසගින්නෙන් පීඩා විඳින ජනයා කෙරෙහි පරිත්‍යාගශීලී වීමට මෙන්ම සිත දමනය කර ගැනීමේ හැකියාව වර්ධනය කර ගැනීමටත් මේ සමය මහඟු අවස්ථාවක් ලෙස ඉස්ලාමීය බැතිමත්හු සලකති.එසේම මහජන මුදල් සහ රාජ්‍ය දේපළ විනාශ කරන අශිෂ්ට දේශපාලන සංස්කෘතියක් වෙනුවට අල්පේච්ඡත්වය සහ පරිත්‍යාගය සහිත අනෙකාගේ සංවේදනා හමුවේ සංවේදී වන සහකම්පනීය දේශපාලන සංස්කෘතියක් සහ පුරවැසි සමාජයක් රටේ ගොඩනැඟීමට අප දරන උත්සාහයේදී රාමසාන් සමයේ භාවිතය මහඟු ආදර්ශයක් සපයනු ඇත.
ආගමික සීමා අතික්‍රමණය කරමින් පොදු මිනිසත්කම සහ සාමූහිකත්වය ආමන්ත්‍රණය කරන්නා වූද, ආත්මාර්ථය වෙනුවට පරාර්ථය ප්‍රකට කරන්නා වූද ඊදුල් ෆිතර් උත්සවය සමරන සමස්ත ශ්‍රී ලංකාවාසී සහ ලෝකවාසී ඉස්ලාම් බැතිමතුන්ට මගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි.
පුනරුද යුගයක අපේක්ෂා ඉටුවන සාමය, සංහිඳියාව සපිරි ප්‍රීතිමත් ඊදුල් ෆිතර් සැමරුමක් වේවා !
ඊද් මුබාරක් !