ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය ප්‍රතිශක්තිකරණ න්‍යාය පත්‍රය මඟින් නියම කර ඇති ගෝලීය ප්‍රතිශක්තීකරණ ඉලක්ක 2030 වසර වන විට සපුරා ගැනීමට ශ්‍රී ලංකා රජය සම්පූර්ණයෙන්ම පෙළගැසී සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මෙරට ජනතාවට යහපත් සෞඛ්‍ය ප්‍රතිඵල අත්කර ගැනීමට එන්නත්කරණ ප්‍රවේශය පුළුල් කිරීම, නව තාක්ෂණය ඒකාබද්ධ කිරීම සහ සේවා සැපයීම වැඩි දියුණු කිරීමට අඛණ්ඩව කටයුතු කිරීම සිදු කරන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. ජාතික ප්‍රතිශක්තිකරණ සමුළුවක් වසර දහයකට පසුව මෙරටදී පැවැත්වීම පසුගියදා කොළඹදී සිදුකෙරිණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, වසංගත රෝග විද්‍යා අංශය එක්ව සංවිධාන කළ මේ සමුළුවට ලෝක සෞඛ්‍ය සංවිධානය, GAVI එන්නත් සන්ධානය, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (Unicef) යනාදී ආයතනවල සහයෝගීතාවෙන් සමුළුව පැවැත්විණි.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පැවති ජාතික ප්‍රතිශක්තිකරණ සමුළුවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය. මෙරට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කාර්යක්ෂම, ගුණාත්මක සේවාව හේතුවෙන් පෝලියෝ, සරම්ප, රුබෙල්ලා සහ නවජන්ම පිටගැස්ම යනාදී රෝග මෙරටින් තුරන් කිරීමට හැකි වූ බවත්, හෙපටයිටිස් බී ඇතුළු එන්නත්වලින් වළක්වා ගත හැකි තවත් බොහෝ රෝග සාර්ථකව පාලනය කිරීමට හැකි වූ අතර ඒ තත්ත්වය මෙරට සෞඛ්‍ය සේවාවේ විශිෂ්ටත්වය ලොවට විදහාපාන කරුණක් යැයි පැවසීය.
දරුවන්ට ලබාදෙන එන්නත් මාත්‍රා පිළිබඳව නැවත සමාලෝචනයක් කර එන්නත් මාත්‍රා ප්‍රමාණවල වෙනස්වීම් අවශ්‍ය වේ නම් තාක්ෂණික මට්ටමින් ඒ සඳහා වන කරුණු සාකච්ඡා කර නිගමනවලට එළැඹීම, ඉදිරි වසර පහේ මෙරටට නව ප්‍රතිශක්තිකරණ එන්නත් කුමන ආකාරයකින් කුමන වර්ගයන්ගෙන් හඳුන්වාදිය යුතු ද යන්න පිළිබඳ සාකච්ඡා කර ඉදිරි නිර්දේශ, සැලසුම් සකස් කිරීම මේ සමුළුවේ ප්‍රධාන අරමුණ වේ. සමුළුවෙන් ලබාගන්නා නිර්දේශ, සැලසුම් මෙරට ක්‍රියාත්මක ජාතික එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය ගන්නා තීරණ සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට බෙහෙවින් ඉවහල් වේ. බෝ වන සහ බෝ නොවන රෝග වැළැක්වීම සහ සෞඛ්‍ය ප්‍රවර්ධනයට ශක්තිමත් පදනමක් ලෙස ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීමට වත්මන් රජය කටයුතු කරන බවත් මෙරට ජනතාවට විශ්වීය සෞඛ්‍ය සේවාවක් ලබාදීමට වත්මන් රජය දැඩිව කැපවන බවත් ඇමැතිවරයා පැවසීය.
මෙරට ආර්ථික අර්බුදය හමුවේ එනත්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා GAVI සන්ධානය දුන් දායකත්වය මෙහිදී අගය කිරීමට ලක් කළ ඇමැතිවරයා ඉදිරි වසරවලදී එන්නත් ප්‍රවේශය වැඩිදියුණු කිරීම, සැපයුම් දාම ශක්තිමත් කිරීම සහ මහජන සෞඛ්‍ය සේවා තවදුරටත් වැඩිදියුණු කිරීමට නව එන්නත් හඳුන්වාදීමට GAVI සමඟ අඛණ්ඩ හවුල්කාරීත්වයෙන් ගවේෂණය කිරීමට බලාපොරොත්තු වන බව ද ඇමැතිවරයා පැවසීය.
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ හසිත තිසේරා, යුනිසෙෆ් සංවිධානයේ මෙරට නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං, GAVI එන්නත් සන්ධානයේ වැඩසටහන් කළමනාකරු වෛද්‍ය මසාෆුම් සිං මහත්ම මහත්මීන් ද, විශ්වවිද්‍යාලවල අංශ ප්‍රධාන මහාචාර්යවරුන්, සෞඛ්‍ය විද්වතුන් සහ විවිධ ක්ෂේත්‍රවල විද්වතුන්, ළමා ආරක්ෂණ අරමුදල නියෝජනය කරමින් නියෝජිතයන්, මහාචාර්යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, සිවිල් සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයෝ පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
සන්ධ්‍යා කරුණාරත්න