ජනතාව මේ හැරවුම ගත්තේ දිගු කලකට අත්හරින්න නොවේ
රට බංකොලොත් කළ අය ආණ්ඩු හදන්න හීන මවනවා
මෙරට කඩාවැටුණු ආර්ථිකය ගොඩගැනීමේ මාවතට ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පරිවර්තනය කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
කිසිම විදෙස් බලවේගයකට, රටකට ජාතික ජන බලවේගය ආණ්ඩුව සල්ලිවලට ගත නොහැකි බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා අතීතයේ සිටි බොහෝ නායකයින් විදෙස් සමාගම් සල්ලිවලට ගත් බවද ප්‍රකාශ කළේය. ඕනෑම විදෙස් සබඳතාවක් ශක්තිමත් කරනුයේ රටට, ජනතාවට හිතකරද යන සාධකය මත බවද ප්‍රකාශ කළේය. සැඟවුණ න්‍යාය පත්‍ර නැති බවද කී ජනාධිපතිවරයා පුළුවන් දේට පුළුවන් යයිද, බැරි දේට එය කිරීමට නොහැකි යැයිද ඕනෑම කණ්ඩායමකට පවසන බවද පැවසීය.
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ද මෙරට ජනතාව ශක්තිමත් අන්දමින් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ අදහස් පළ කළේ පෙරේදා (29) ‘ජය නියතයි- ගම අපිටයි’ ජන රැලි මාලාවේ බෙලිඅත්ත ජනතා රැලියට එක්වෙමිනි.
ආණ්ඩුව සකස් කර තිබෙන වැඩපිළිවෙළ ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කිරීමට මැයි 06 ඡන්දය ඉතා වැදගත් ඡන්දයක්යැයිද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
එහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.
මොකද තත්ත්වය. වැඩේ ගොඩද? මේ පළාත් පාලන ඡන්දය තියන්න තිබ්බේ 2023 මාර්තුවල බව ඔබට මතකයි. ඒ ඡන්දය තමයි 2025 මැයි 6 වැනි දිනට තීරණය වෙලා තිබෙන්නේ. එදා පාලන බලය හොබවපු පුද්ගලයන් ඡන්ද නියමිත ලෙස පවත්වනවා වෙනුවට ඡන්ද කල්දැමීමේ උත්සාහයක සිටියා. අවුරුදු දෙකකට පෙර තියන්න ඕනෑ ඡන්දයක් තමයි අවුරුදු දෙකකට පස්සෙ තියන්නේ.
එදා මේ පළාත් පාලන ඡන්දයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන බවට ශක්තිමත් සංඥා පැවැතියා. අපගේ එම ජයග්‍රහණය වැළැක්වීමට එදා සිටි පාලකයන් ඡන්දය කල් දැම්මා. අවසානයේදී අප අධිකරණයට ගිහින්, අධිකරණයෙන් තමයි තීන්දුවක් දුන්නේ පළාත් පාලන මැතිවරණය වහාම පවත්වන්න කියා. හැබැයි තීන්දුව එනවිට අපේ ආණ්ඩුවක්. ඒ නිසා අප කොහොමත් ඡන්දය තියනවා. අපේ රටේ ආර්ථික හා දීර්ඝ දේශපාලන ගමනක හැරවුමක් ගන්න ආණ්ඩුවක් ඇවිත් තිබෙනවා. මේ ආණ්ඩුවට පාලනයට විරුද්ධව ඉතා කුඩා කල්ලි, කණ්ඩායම් එකතුවෙමින් කෑගසමින් ඉන්න අන්දම මේ වන විට අප දකිනවා. ඔවුන් ගමට එනවාද? ගමේ නැහැ. ඔවුන් ඉන්නේ ටී.වී එකේ. ගොවි සංවිධානවල නායකයෝ ටී.වී. එකේ ඉන්නවා දැකල තියෙනවද? හැබැයි ගොවිබිමේ ඉන්න නායකයෝ නොවෙයි. ජනතාවක් එක්ක නැති දේශපාලන නායකයන්ද අප දකිනවා. ඇයි එහෙම වෙන්නේ. ඔවුන් කිසිවෙක් ඔවුන්ගේ ජීවිත කාලයේ අපේක්ෂා කළේ නැහැ මෙවැනි පරාජයක් ඔවුන්ට අත්වෙයි කියා. ඒ නිසා අද ඔවුන්ගේ පරාජයේ වේදනාව, කෝපය, දුක පෙන්වනවා. ප්‍රවෘත්ති බලනවිට එකම ඇඬියාව නේද? මාධ්‍ය ඉස්සරහා මෙහෙම අඬනවා නම් ගෙදර කොහොම අඬනවා ඇතිද?. ඔවුන් කල්පනා කරනවා ඇති මොකක්ද මේ වුණේ. මොකක්ද මේ කරගත්තේ කියලා. ඔවුන් සියලු දෙනා මතක තබා ගන්න ඕනෑ මේ රටේ ජනතාව මේ හැරවුම ගත්තේ දිගු කාලයකට අත්හරින්න නොවන බව අප දන්නවා.
අප මේ වන විට විශාල පරිවර්තන ඇති කරමින් තිබෙනවා. අපේ රටේ දේශපාලනය මුළුමනින්ම වෙළාගෙන තිබුණේ දූෂණය වංචාව. අද අපට කෙළින් හිටගෙන කියන්න පුළුවන් මහජනයාගේ මුදල් හොරකම් කරන්නෙ නැති ආණ්ඩුවක් වර්තමානයේදී හැදී තිබෙනවා. ඒක හොඳ නැද්ද? හොඳයිනෙ. ඒ වගේම ජනතාවගේ ධනය නාස්ති නොකරන ආණ්ඩුවක් මේ වන විට හැදී තියෙනවා. මෙතෙක් අපේ රට ගමන් කරමින් තිබූ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවට අප ස්ථාවර ආර්ථික ගමනකට අවතීර්ණ වෙලා තිබෙනවා. අප සමත් වෙලා තිබෙනවා අපේ ආර්ථිකයේ ප්‍රධාන සාධක ගණනාවක් ස්ථාවරයට ගෙනෙන්න. අපේ ආර්ථිකය තිබුණේ කොතැනද කියා අවුරුද්දකට දෙකකට එහාට ගිහින් බලන්න. ගෑස් පෝලිම්, තෙල් පෝලිම් පැවැතියා. ඩොලර් හිඟයක් පැවැතියා. සියලු නිෂ්පාදන මාවත් කඩාවැටී පැවැතියා. එම අවස්ථාවේ වෘත්තීයවේදීන් රට අත්හැර ගියා. බංකොලොත් වූ රාජ්‍යයක් තමයි පැවතියේ. හැබැයි මේ වන විට යම් ප්‍රමාණයකට අප බංකොලොත් භාවයෙන් මිදී ස්ථාවර ආර්ථිකයකට පාර විවෘත කරගෙන තිබෙනවා. මේ රට බංකොලොත්භාවයට හෙලු අය ඇවිත් කියනවා ආයේ ආණ්ඩු හදන බව. හීන දකින්න කාටත් පුළුවන්. හැබැයි ඒවා හීනම විතරයි. කවදාවත් යථාර්ථයක් බවට පත් වන්නේ නැහැ.
අප මේ වන විට රට ආර්ථික ස්ථාවර භාවයකට යන ගමන ආරම්භ කර තිබෙනවා. එහි ප්‍රතිලාභ ක්‍රමානුකූලව පුරවැසියන්ට ගලාගෙන එන්න පටන් අරන් තිබෙනවා. අවුරුදු 3-4කට ආසන්න කාලයක් අපේ රටේ රාජ්‍ය සේවයට බඳවා ගත්තේ නැහැ. බඳවාගෙන වැටුප් ගෙවන්න මුදල් නැහැ. අප මොකද කළේ. අත්‍යවශ්‍ය පුරප්පාඩු පුරවන්න රාජ්‍ය සේවයට 30000ක් අලුතින් බඳවා ගන්න අප මේ අය වැය ලේඛනයෙන් තීරණයක් ගත්තා. මෙය අවුරුදු 3-4කට පස්සෙ මේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට පැමිණෙමින් තිබියදී ගත්ත තීන්දුවක්. හැබැයි මම දැක්ක සමහර උපාධිධාරී දරුවන් රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින් පාරේ උද්ඝෝෂණයක යෙදෙනවා. 50000- 100000 ලෙස තොග පිටින් බඳවා ගත්තට වැඩක් නැහැ. මොකද අධ්‍යාපනයට වැඩකුත් නැහැ. රස්සාවට වැඩකුත් නැහැ. ආණ්ඩුවට වැඩකුත් නැහැ. ඒ තත්ත්වය රටට බරක්. ඒ නිසා අප බැලුවා අපේ රටේ රාජ්‍ය සේවයේ පුරප්පාඩු තිබෙන්නේ කොතැනද කියා. එම තැන් හඳුනා ගත්තා. දැන් අප රස්සාවට බඳවා ගන්නේ නිශ්චිත තනතුරකට, නිශ්චිත වගකීමකට, නිශ්චිත කාර්යයකට. ඒක හොඳද, නරකද? ඒ වගේම රාජ්‍ය සේවකයාගේ මූලික වැටුප අවුරුදු පහ හයකට පස්සෙ දැනෙන වැටුපක් වැඩි කළා. ඒ මූලික වැටුප ගෙවන්න විතරක් මේ අවුරුද්දේ රුපියල් කෝටි 11000ක් වැය වෙනවා. ඒ වෙනුවෙන් මේ අවුරුද්දේ කෝටි 11000ක් වැය කරනවා. ලබන අවුරුද්දෙ කෝටි 11000ක් වැය කරනවා. ඊළඟ අවුරුද්දෙ කෝටි 11000ක් වෙන් කරනවා. මේ විදිහට 2027 වන විට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට පමණක් කෝටි 33000ක් වෙන් කරනවා. මෙහෙම කරන්න පුළුවන්කම ලැබෙන්නේ කුමක් නිසාද? ආර්ථිකයේ ස්ථාවරත්වයක් නිර්මාණය කර තිබෙන නිසයි. ගිය අවුරුද්දෙ රස්සාවලට ගත්තද? ඊට කලින් රස්සාවලට ගත්තද?. ගත්තේ නැහැ. පඩි වැඩි කළාද? නැහැ.
ඒ විතරක් නොවේ අප අස්වැසුම ලබපු අයගෙ 8500 ගත්ත කෙනාගෙ දීමනාව 10000 දක්වා වැඩි කළා.15000ක් ගත්ත කෙනාගෙ දීමනාව 17500 දක්වා වැඩි කළා. අස්වැසුම සමහරුන්ට ලැබුණෙ නැහැ. මේ ජුනි මාසෙ වන විට අප ලක්ෂ හතරකට ආසන්න අලුත් පවුල් ප්‍රමාණයක් හඳුනාගෙන අස්වැසුම දෙන්න තීරණය කර තිබෙනවා. අය වැය ලේඛනයෙන් සල්ලි වෙන් කර තිබෙන්නේ. ඒ සඳහා තෝරා ගන්න යම් කාලයක් යයි. ආදායම් අහිමි, ජීවත්වීමට අපහසු කණ්ඩායමකට අස්වැසුම දෙනවා. ආර්ථිකය ලබා ගන්නා ස්ථාවරභාවය අප ක්‍රමානුකූලව ජනතාව වෙත ගෙන එමින් තිබෙනවා. අප දරුවන් ලක්ෂ 16කට ආසන්න ප්‍රමාණයකට පාසල් පොත් මිලදී ගැනීමට රුපියල් 6000ක දීමනාවක් දුන්නා. කවදාවත් අපේ රටේ දරුවන්ට පාසල් පොත් උපකරණ මිලදී ගැනීමට උදව් කර නැහැ. අප ඒ උදව්වත් කළා. විශ්‍රාම වැටුප් දීමනාව රුපියල් තුන්දහසකිත් වැඩි කර තිබෙනවා. වැඩිහිටි දීමනාව වැඩි කර තිබෙනවා. වකුගඩු රෝගීන්ට දෙන දීමනාව වැඩිකර තිබෙනවා. පාසල් දරුවන්ගේ ආහාරවේල දීමනාව වැඩි කර තිබෙනවා. මීට ටික දිනකට පෙර කැබිනට් මණ්ඩලය අනුමත කළා පාසල් යන සෑම දැරිවියකටම සනීපාරක්ෂක තුවා මාසයකට අට බැගින් ඉදිරි මාසවලට ලබාදෙන්න. ආණ්ඩුවක් ආර්ථික වශයෙන් ශක්තිමත් වන විට එහි ප්‍රතිලාභ ජීවත් වෙන්න අමාරුකම් තියෙන ජනතාවට ලබා දෙන්න අප සැලසුම හදා තිබෙනවා. රැකියා ලබාදීම, පඩි වැඩි කිරීම, සහනාධාර ලබාදීම, පොහොර සහනාධාරය වැඩි කිරීම, අප සති තුනකට පෙර කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තා. මෙතෙක් පොහොර සහනාධාරය දුන්නේ වී ගොවිතැනට විතරයි. කුඹුරේ වගා කරන අතිරේක භෝග සඳහාත් මේ යල් කන්නයේ සිට අප පොහොර සහනාධාරය ලබා දෙනවා. ආර්ථිකයේ ප්‍රතිලාභ ජනතාව අතරට ගලාගෙන එනවා. ඒ විතරක් ප්‍රමාණවත් නැහැ. අපි අනෙක් පැත්තෙන් අපේ රටේ ජාතික ආර්ථිකය ගොඩගැනීමට සැලසුම හදන්න ඕනෑකම තිබෙනවා. අපි අපේක්ෂා කරනවා මේ 2025 වසරේ ලංකා ඉතිහාසයේ මෙරටට පැමිණි වැඩිම සංචාරකයන් පැමිණි වසර බවට පත් කරන්න. මීට වැඩිය 2026 වැඩි වෙනවා. 2027 තවත් වැඩි වෙනවා. මීට අවශ්‍ය යටිතල පහසුකම් අප වර්ධනය කරන්න ඕනෑ. යාලට ඇතුළුවීමට අනෙත් දොරටුත් ප්‍රතිසංස්කරණය කරන්න ඕනෑ. අනුරාධපුරය විශාල ඵෙතිහාසික නගරයක්. හැබැයි සංචාරකයන්ගේ ප්‍රධාන කේන්ද්‍රයක් බවට පත්වෙලා නැහැ. ඒ සඳහා යටිතල පහසුකම් වර්ධනය කරන්න ඕනෑ.
රැඳවුම් නිවාසවල දරුවන්ට රුපියල් 5000ක් දෙන්න තීරණය කළා. රැඳවුම් නිවාසයට රුපියල් 2000ක් දෙන්නත් හැම මාසෙම රුපියල් 3000ක් බැංකු ගිණුමට දානවා. රැඳවුම් නිවාසයක සිටින දැරියක් විවාහයට පත් වෙනවා නම් නිෙවසක් හදා ගැනීමට ආණ්ඩුව රුපියල් ලක්ෂ දහයක් දෙනවා. මේ සියලු දෙනා අප බලා ගන්න ඕනෑ. කිසිම පුරවැසියෙක් අපට අත්හරින්න බැහැ. මේ වන විට බන්ධනාගාරගත වෙලා සිටිනවා විශාල තරුණ පරම්පරාවක්. ඉන් එළියට පැමිණ පොලිස් සහතිකයක් ගන්න ගියොත් හිරේ හිටිය කියනවා. කිසිම තැනක රස්සාවකට ගන්නේ නැහැ. එසේ බන්ධනාගාරගතව සිටින හැකියාව ඇති කණ්ඩායම් වෘත්තීය පුහුණුවකට යොමු කර එන්.වී කියු සහතිකයක් සමඟ නැවත සමාජයට එවනවා. රැකියාවක් කිරීමට අවශ්‍ය වන වටපිටාව හදනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට අප පොරොන්දු වුණා ඇප තියන්නේ නැතිව ණය මුදලක් ලබා ගන්න පුළුවන් කියලා. එය අපි හදා තිබෙනවා. කුඩා වැව් ප්‍රතිසංස්කරණය කරන්න අප විශාල වියදමක් දරමින් සිටිනවා. කඩා වැටී ඇති ඇළ වේලි සියල්ල ප්‍රතිසංස්කරණය කරනවා. කෘෂිකර්මාන්තයේ නවෝදයක් නිර්මාණය කරන්න අප සැලසුම් කර තිබෙනවා. පොල් වගාවට සහනාධාරයක් සමඟ මිශ්‍ර පොහොර වර්ගයක් ලබා දෙනවා. උතුරේ අලුත් පොල් කලාපයක් හදනවා. ඒ සඳහා අය වැය ලේඛනයෙන් ලක්ෂ 5000ක් වෙන්කර තිබෙනවා. සෑම ක්ෂේත්‍රයක් ගැනම කල්පනා කරමින් රට ගොඩනැඟීමට අප කටයුතු කරනවා. විශාල සෘජු විදෙස් ආයෝජන කැඳවීමට කල්පනා කරමින් සිටිනවා. අවුරුදු 3-4ක් යන විට මේ කලාපයේ අඩුම විදුලිබිල තියෙන රට බවට ශ්‍රී ලංකාව පත් කරනවා. අප මේ වන විට මන්නාරමේ මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාරයකට අවසර දුන්නා. විදුලි ඒකකයක් ඩොලර් ශත 4.57යි. කලින් සුළං විදුලි බලාගාර ලබා දී තිබුණේ ඩොලර් ශත අටටත් වඩා වැඩියෙන්. ඉතින් කොහොමද විදුලි බිල අඩුවෙන්නේ. සියඹලාණ්ඩුවේ මෙගාවොට් 100ක තවත් සූර්ය විදුලි බලාගාරයක් ආරම්භ කරනවා. මේ 4 වැනි දින මෝදි අගමැති පැමිණෙනවා. අපි සාම්පූර්වල මෙගාවොට් 120ක සූර්ය බලාගාරයකට මුල්ගල් තියන්න සැලසුම් කර තිබෙනවා. ක්‍රමානුකූලව පුනර්ජනනීය බල ශක්තිය ඒ සඳහා බලාගාර ගොඩනඟමින් අපේ විදුලි බිල අඩු කරන්න ඕනෑ. එවිට අපේ ආර්ථිකයට ඉදිරියට යා හැකියි. ඩොලර් ශත අටයි, ඒ කියන්නේ රුපියල් විසිහතරක් වගේ ප්‍රමාණය රුපියල් 13ට වගේ ගන්නවා. එකට එකක් ඒ ගොල්ලො අතර බෙදෙනවා. ඔක්කොම නතර කර තිබෙන්නේ. වංචාව දූෂණය නතර කළාම එහි ප්‍රතිලාභ අපේ රටේ පුරවැසියන්ට ගලාගෙන එනවා.මේ අවුරුද්ද වාර්තා රැසක් පෙන්වන අවුරුද්දක් බවට පත්වෙනවා. ලංකාව වැඩිම ඩොලර් අපනයන ආදායම උපයන අවුරුද්ද මේ 2025 අවුරුද්ද. විදෙස් ගත ශ්‍රමිකයන් වැඩ කර වැඩියෙන්ම ඩොලර් එවපු අවුරුද්ද බවට මේ අවුරුද්ද පත් වෙනවා. පසුගිය ජනවාරි මාසය තමයි වැඩිම විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් එවපු මාසය. බැංකු පොලී අනුපාතිකය අඩුවෙන් තබාගෙන සිටිනවා. සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අඩු පොලියට ණය ලබාදීමට අප සාකච්ඡා කරනවා. මේ පිළිබඳව රාජ්‍ය බැංකුවලට උපදෙස් දී තිබෙනවා. මේ වර්ෂයට බිලියන 1400ක් ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කර තිබෙනවා. අය වැය ලේඛනයක් ප්‍රාග්ධන වියදම්වලට වැඩියෙන්ම වෙන් කර තිබෙනවා. දැන් අභියෝගය තිබෙන්නේ දීපු සල්ලි වියදම් කරන්නේ කොහොමද කියන එක. මේ සල්ලි ජනතාව අතරට ගලාගෙන යන්න ඕනෑ. මේවා වැය කරන්න ප්‍රාදේශීය දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. මේ මුදල් නියමාකාරයෙන් රටේ සංවර්ධනයට යොදා ගැනීමට අවශ්‍යයි. එහිදී ප්‍රාදේශීය සභාව, නගර සභාව වැදගත්. අපට විදෙස් සබඳතා නැති වෙයි කියා විරුද්ධ බලවේග ප්‍රකාශ කළාට ඉන්දීය අගමැතිවරයා ලබන මාසෙ ලංකාවට එනවා. රනිල්ගේ ආණ්ඩු කාලේ මොකද වුණේ. අපට හැම රටකටම ආයෝජකයන් එවන්න කියන්න පුළුවන්. වංචනිකයන්ට, දූෂිතයන්ට එරෙහිව කටයුතු කරනවා. මේ මැයි මාසය වන විට ඉතාම ආන්දෝලනයට තුඩු දී තිබෙන නඩු විශාල ප්‍රමාණයක නඩු පැවරෙයි. මම දැක්කා නඩු දානකොට නඩුකාර මහත්වරු මාරු වෙනවා. බලමු මොකද කියලා. ඒවත් ඒ තරම් හොඳ නැහැ කියා මට හිතෙනවා. එම වගකීම් භාර දී තිබෙන්නේ කවුද කියන බේදයකින් තොරව නඩුව අහන්නනෙ. මම හිතනවා නඩුකාර මහත්වරු ඔවුන්ට පැවරී තිබෙන වගකීම් නිසි පරිදි ඉටුකරයි කියලා. නඩුවලට සාධාරණය ඉටුකරන බව අප දන්නවා. පොලිස්පති රිමාන්ඩ් වෙයි කියා කවුරුත් හිතුවේ නැහැ. අපි දන්නවා වෙලේ සුදාලගෙ ගෙවල් ගත්තු කට්ටිය. පොලිස්පතිලා, පොලිස්පතිවරයෙක් තමන්ගේ රාජකාරි ඉටුකරනවා වෙනුවට දේශපාලන අධිකාරියේ ඕනෑ එපාකම් ඉටුකරන්න යනවා නම් දේශබන්දුට වෙච්ච දේ වෙනවා. වැඩියෙන් කෑ ගහන්නේ වැඩියෙන් බයවෙච්ච කෙනා. දැන් හිටපු ඇමැතිවරුනුත් රිමාන්ඩ්. තව ටික දවසක් යන විට පාර්ලිමේන්තුව එහෙ රැස්වෙන්න පුළුවන් වෙයි.
උපාලි කරුණාරත්න සහ චමීර ඇල්ලදෙණිය සහ තංගල්ල සමූහ – පද්මසිරි